අප්‍රේල් 05 ට කලින් විජේවීර පිටගැස්මට බෙහෙත් විදගත්තා

428

ආරක්ෂක ස්ථාන ඇතුළු රටේ ප‍්‍රධාන ස්ථානවලට එක්වර සිදුකරන පහරදීමක් මගින් ආණ්ඩු බලය අල්ලා ගැනීමට කරන ලද උත්සාහයට ලබන 05 වැනිදාට වසර 51 ක් සම්පූර්ණ වේ. 71 කැරැල්ල නායකත්ය දුන් රෝහණ විජේවීරගේ ශරීර ආරක්ෂකයකු ලෙස මෙන්ම සමීපතමයකු ලෙස කටයුතු කළ විමල් රංජිත් වඩුතන්තී‍්‍ර මහතා තම අතීත මතකයන් අවදි කළේ මෙසේය.

ප‍්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීමට පෙර දේශපාලන කටයුතුවල නිරතව සිටියාද?

පිළිතුර – පාසල් යන කාලයේ සිට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වී සිටියා. අපගේ මාමා වූ ඒ. ඩබ්ලිව්. එම්. ජිනදාස කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. ඒ ආභාෂය තමයි අපට තිබුණේ. මාමා පදිංචි වෙලා සිටියේ මහ පන්සල පාරේ. කොමියුනිස්ට් පක්ෂයේ කාර්යාලයක් තිබුණේ ඒ පාරේ. අද කඩයක් දාල තිබෙන්නේ එම ස්ථානයේ තමයි. එම කාර්යාලයේ චීන සඟරා ඇතුළු සඟරා පත්තර තිබුණා. අපි ‘ඇත්ත’ පත්තරය අලෙවි කරන කටයුතුවලටත් සම්බන්ධ වූවා. පක්ෂ කාර්යාලයට නිතරම යන්න අපි පුරුදු වෙලා සිටියා. ඒ පක්ෂයේ අදහස්වලට වැඩකටයුතුවලට අපේ හිත ඇදිල ගිහින් තිබුණේ. පියසේන පෙදුරුසේවා ඇතුළු පිරිසක් එදා ඒ පක්ෂයේ සිටියා.

ප‍්‍රශ්නය – කොමියුනිස්ට් පක්ෂයේ සිටින ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ කෙසේද?

පිළිතුර – අපේ අයියා තමයි සිසිල් චන්ද්‍ර. අයියා මහ නඩුවේ විත්තිකාරයෙක්. 1971 න් පස්සේ අයියා වසර කිහිපයක් සිරගත වෙලා සිටියා. අපේ අයියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීමට පෙර විවිධ සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ පිළිබඳව මත ගැටුම් තිබිල තිබෙනවා.

කෙසේ වුවත් ඒ අවස්ථාවේදී සංවිධානය පිළිබඳව මම දැන සිටියේ නැහැ. ඒ දිනවල අපේ අයියා සිරිපාදෙ යන්න කියලා ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තා. නමුත් මම දැක්කා අයියා කතරගම යන බස් එකේ නැගල ඉන්නවා. සිරිපාදෙ යන්න කතරගම යන්න අවශ්‍ය නැහැනේ. එම නිසා මම ඒ ගැන විමසුවා. අයියා කිව්වා උඹ කෑ නොගහ ඉඳින් කියලා. නමුත් මම ඒ පිළිබඳව සොයා බැලූවා. එහෙම සොයා බලනකොට තමයි සංවිධානය පිළිබඳව දැනගත්තේ.

අම්බලන්ගොඩ, එඬේරමුල්ලේ මගේ යාළුවෙක් සිටියා එඞ්වඞ් කියලා. දවසක් අපි දෙන්නා ගාලූ ගියා බස් එකේ. අපි දෙන්න බස් එකේ ඉඳගෙන ගියේ. ඒ යනකොට මහත්තයෙක් කරේ බෑග් එකක් එල්ලගෙන හිටගෙන ගියා. මගේ යාළුවා එඞ්වඞ්, ඒ මහත්තයට සීට් එක දුන්නත් ඒ මහත්තයා ඉඳගත්තේ නැහැ. මම ඒ කවුද කියලා ඇහුවා. යාළුවා කිව්වා නෑ මම පස්සෙ කියන්නම් කියලා. මගේ යාළුවා ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ පංතිවලට සහභාගි වෙලා තිබුණා. එම පංති කරලා තිබුණේ විජේවීර. රදා අපිත් එක්ක බස් එකේ ගමන් කළේ රෝහණ විජේවීර. ඒ විදියට තමයි ක‍්‍රමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණේ.

අප්‍රේල් 05 ට කලින් විජේවීර පිටගැස්මට බෙහෙත් විදගත්තා

ප‍්‍රශ්නය – ඔබට පංති පැවැත්වුවෙත් රෝහණ විජේවීර ද?

පිළිතුර – නැහැ. බටපොල චන්ද්‍රරේ තමයි මට පංති කළේ. සුනන්ද දේශපි‍්‍රය මූලික සාකච්ඡාවක් කළා. ලියා ගත්ත එකක් බලාගෙන තමයි එම පැහැදිලි කිරීම කළේ. පංති පහම කළා. බද්දේගම ප‍්‍රදේශයේ තිබුණ කඳවුරකටත් සහභාගි වූවා. මම පාසලෙන් අස්වීමේ සහතිකය ලබා ගත්තේ 1966 දී. 1968 පමණ සිට සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළා.

ප‍්‍රශ්නය – සංවිධානයට සම්බන්ධ වීමෙන් පසුව ඔබට පැවරී තිබුණ වගකීම් මොනවාද?

පිළිතුර – මම කටයුතු කළේ ප‍්‍රචාරක අංශයේ. මොන ප‍්‍රදේශයක රැස්වීම් තිබුණත්, අපි එම රැස්වීම්වලට සහභාගි වූවා. රැස්වීම්වලට අනුරාධපුරයේ පවා ගිහින් තිබෙනවා.විජේවීර පළමුවෙන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව නිදහස් කළා. එම නිදහස් කිරීමෙන් පසුව විජේවීරට සංවිධානයේ කටයුතු හොඳින් කරගෙන යෑමට සුදුසු ස්ථානයක් තිබිලා නැහැ. ඉන් පසුව විජේවීර අපේ ගෙදර තමයි නැවතුනේ. එක් අවස්ථාවක සංවිධානයේ දෙවැනියා ලෙස සැලකූ සනත් මහත්තයා සහ ඩබ්. ටී. කරුණාරත්න මට කිව්වා විජේවීරගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන්න කියලා. සංවිධානයට සම්බන්ධ වැඩි පිරිසක් අම්බලන්ගොඩ සිටීමත් විජේවීර අපගේ නිවසේ නැවතීමට එක් හේතුවක් වූවා.

ප‍්‍රශ්නය – රෝහණ විජේවීරගේ ශරීර ආරක්ෂකයකු ලෙස සිදු කළ කටයුතු මොනවාද?

පිළිතුර – අපේ අයියා සංවිධානයේ වැඩවලට යනවා. එම නිසා විජේවීර අපගේ නිවසේ සිටි අවස්ථාවලදී පවා මම ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වූවා. විජේවීර ඔහුගේ තංගල්ලේ නිවසට යනකොට මම අනිවාර්යයෙන්ම යනවා. සමහර අවස්ථාවලදී ලක්ෂ්මන් මාදුවගේ සහෝදරයත් මමත් සමග ගියා. තවත් අය ගියපු අවස්ථා තිබෙනවා.

ප‍්‍රශ්නය – ආරක්ෂාව සඳහා ආයුධ භාවිතා කළාද?

පිළිතුර – ගෙදර යනකොට මාතරට කොච්චියෙන් ගිහිල්ලා එතැන සිට බස් එකෙන් ගියා. අපි සන්නද්ධ අරගලයකටනේ සූදානම් වූයේ. එම නිසා ආයුධ තියෙන්න ඇති. සමහරු ආයුධ අරන් යනවා ඇති. එක් අවස්ථාවකදී මම දුටුවා එක් අයකු ළඟ පිස්තෝලයක් තිබෙනවා. නමුත් ඒක කුරුල්ලෙකුටවත් වෙඩි තබන්න බැරි එකක්. නමුත් මම නම් අවි ආයුධ පරිහරණය කළේ නැහැ.

ප‍්‍රශ්නය – සන්නද්ධ අරගලයක් සඳහා නායකත්වය ලබා දෙමින් සිටි රෝහණ විජේවීරගේ ඒ දිනවල දිනචරියාව කෙසේද?

පිළිතුර – අවි ආයුධ ඔහු ළඟ මොකුත් තිබුණේ නැහැ. කාමරයේ ඉඳගෙන කළේ පත්තරේට ලියන එක සහ සාකච්ඡා කරන එක තමයි. අපේ අයියා තමයි, සංවිධානයෙන් ප‍්‍රකාශයට පත්කළ ජනතා විමුක්ති පත්තරේ කර්තෘවරයා ලෙස කටයුතු කළේ.

ප‍්‍රශ්නය – ආයුධ රැස් කිරීමේ කටයුතු සිදු කළේ කවුරුන් විසින්ද?

පිළිතුර – ලොකු අතුල ඇතුළුව වෙනම පිරිසක් ඒ සඳහා සිටියා.

ප‍්‍රශ්නය – සන්නද්ධ ප‍්‍රහාරය සඳහා සූදානම් වීමට සිදු කළ විශේෂ කටයුතු මොනවාද?

පිළිතුර – අපි කට්ටිය සූදානම් වූයේ සටනට යන්නනේ. එම නිසා පිටගැස්මට බෙහෙත් විද්දා. ටී. ජේ. රාජපක්ෂ දොස්තර මහතා තමයි බෙහෙත් විද්දේ. මමත් සමග අපේ අයියත්, සුබසීල කොඩිකාර අයියත්, රෝහණ විජේවීරත් බෙහෙත් විදගත්තා.

ප‍්‍රශ්නය – වෛද්‍යවරයෙක් හේතුවක් නැතිව පිටගැස්ම සඳහා බෙහෙත් විදිනවද?

පිළිතුර – ටී. ජේ. රාජපක්ෂ වෛද්‍යවරයාගේ නිවස පිහිටා තිබුණේ බටපොල. එම වෛද්‍යවරයාත් වාමාංශික අදහස් තිබුණ කෙනෙක්. මම හිතන්නේ බෙහෙත විදගන්න හේතුව කුමක්ද කියලා ඒ මහතා දන්නවා ඇති.

ප‍්‍රශ්නය – රෝහණ විජේවීර පිළිබඳව මේ වනවිට විවිධ මත පළවී තිබෙනවා. ඔබ විජේවීර දකින්නේ කෙසේද?

පිළිතුර – ඔහු නිහඬ චරිතයක්. වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් හොඳ කථිකයෙක් සහ සංවිධායකවරයෙක්. අපේ නිවසේ නතර වී සිටි කාලයේදී ලියන එකයි සාකච්ඡා පවත්වන එකයි තමයි කළේ.

ප‍්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය පිළිබඳව කතා කිරීමේදී සුබසීල කොඩිකාර පිළිබඳව සඳහන් නොකරම බැහැ. ඔහු පිළිබඳව සඳහන් කරනවා නම්

පිළිතුර – ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීමට පෙර සුබසීල අයියා අපත් සමඟ කොමියුනිස්ට් පක්‍ෂයේ සිටියා. ඔහු අම්බලන්ගොඩ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කළා.

සුබසීල අයියා සටනේ දී මියගියා. අපේ‍්‍රල් 05 වැනිදායින් පසුව ඔවුන් කැලේ ඉන්නකොට සුබසීල අයියාට කහ උණ හැදිල තිබෙනවා. ලී වලින් ඇඳක් හදලා ඒකෙ තියාගෙන තමයි ඔවුන් පිරිස ගමන් කරලා තිබෙන්නේ.

එම කණ්ඩායමේ සිටිය එක් අයෙක් කැලෙන් එළියට ඇවිත් පාරෙ ගිය ළමයකුට රුපියල් 100 ක් දීලා තිබෙනවා. පිටි ටිං එකක් ගෙනත් දෙන්න කියලා. ඒ ළමයා කඩයට ගිය විට එම කඬේ මුදලාලි අහල තිබෙනවා උඹට රුපියල් 100 ක් කොහෙන්ද කියලා. ඒ ළමය කියල තිබෙනවා කැලේ ඉඳල ආපු මහත්තයෙක් දුන්න කියලා. එම තොරතුර පිළිබඳව ඒ මුදලාලි පොලිසියට දැනුම්දී තිබෙනවා. ඒ අනුව පොලිසියෙන් ඇවිත් එම ප‍්‍රදේශය වට කරලා වෙඩි තියන්න පටන් අරන්. මම අහල තිබෙන විදියට ඒ අවස්ථාවේදී උස්සගෙන යන්න බැරි නිසා සුබසීල අයිය කියල තිබෙනවා එයාව දාල ඔවුන්ට පලා යන්න කියලා. ඉන් පසුව සුබසීල අයියා ඇල්පිටිය පැත්තෙ පොලිසියක අත්අඩංගුවට පත් වී තිබෙනවා. එහිදී තමයි ඔහු ඝාතනය වෙලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණේ ගීතය රචනා කළේ සුබසීල කොඩිකාර මහතා බව කියනවා. ඒක ඇත්තද?

පිළිතුර – ඔව්. ඔහු තමයි රචනා කළේ. එම ගීතයේ සඳහන් වෙනවා. දණින් වැටී ජීවත්වෙනු වෙනුවට හුරුවව් දෙපයින් සිට මිය යන්නට යනුවෙන්. විප්ලවයේ රණ ගී අධිරදේ අවමගුල් ගී යනුවෙන් තමයි එම ගීතය ආරම්භ වන්නේ.

ප‍්‍රශ්නය – ඔබ අපේ‍්‍රල් 05 වැනිදා සිදු කළ පහරදීමට සහභාගි වූවාද?

පිළිතුර – අපේ‍්‍රල් 05 වැනිදාට පෙර විජේවීර අම්පාරේ දී අත්අඩංගුවට පත්වූවා. ඒ සමගම අපේ අයියා සැඟවී කටයුතු කළා. ඒ දිනවල දවසක් මම කොළඹ ගිහින් සිටින අතරේ පොලිසියෙන් අපේ ගෙදරට ඇවිත් තිබෙනවා. පොලිසියෙන් මම ගැනත් අහල තිබෙනවා. එම නිසා ඉන් පසුව මමත් ගෙදර සිටියේ නැහැ. එම අවස්ථාවේදී තාත්තා මට කිව්වා රත්නපුරේ යන්න කියලා. ඒ යනකොට මම සුබසීල අයියටත් කතා කළා රත්නපුරේ යන්න. නමුත් ඔහු කිව්වා ඔයගොල්ලො විතරනේ සොයන්නේ කියලා. ඔහු ගියේ නැහැ.

රත්නපුරේ ගුණදාස අයියලාගේ ගෙදර තමයි මම නතර වී සිටියේ. එහි සිටියදී තමයි අපේ‍්‍රල් 05 වැනිදා පහරදීම සිද්ධ වුයේ. එම පහරදීමට එක් පිරිසක් කැමති වෙලා නැහැ. අපේ අයියත් කියලා තියෙන්නේ එම අවස්ථාව සුදුසු නොවන බව තමයි. පසුව තමයි වැඩි දෙනකු පහරදීමට කැමති වෙලා තිබෙන්නේ. එම සිදුවීම් නිසා පහරදීමට සම්බන්ධ වීමට නොහැකි වූවා, නමුත් පසුව රත්නපුරේ පිරිසත් මා පිළිබඳව පොලිසියට දැනුම් දී තිබුණ නිසා මට රත්නපුරේ පොලිසියට භාරවීමට සිදුවූවා. එම පොලිසියෙන් අම්බලන්ගොඩ පොලිසියට දැනුම්දී තිබෙනවා. අම්බලන්ගොඩ පොලිසියේ සිටියා පද්මනාදන් කියලා මහත්තයෙක්. ඒ මහතා කොණ්ඩය කපන්නේ අපේ බාබර් සාප්පුවෙන්. අපේ තාත්තා පද්මනාදන් මහතාගේ කොණ්ඩය කපන පුද්ගලයාත් සමඟ පොලිසියට ගිහින් පද්මනාදන් මහතා මුණගැසී තිබෙනවා. එම නිසා මා සිරගත වුයේ නැහැ. මම තමයි අයියා නිදහස් කර ගැනීමට කටයුතු කළේ.

ප‍්‍රශ්නය – 1971 අපේ‍්‍රල් 05 වැනිදායින් පසුව රෝහණ විජේවීර මහතා මුණගැසුණාද?

පිළිතුර – සිරගෙදර දී හමුවී තිබෙනවා. දවසක් මම අයිය බලන්න ගියාම අයියා කිව්වා අන්න විජේවීරට ඔයාව බලන්න ඕනි කියනවා කියලා. එම නිසා මම ගියා බලන්න. අපි දෙන්න කතා කරන විට අපි දෙදෙනා කතා කරන දේ එම ස්ථානයේ සිටිය නිලධාරියා ලියනවා. ඔහු අපි දෙස බැලූවේ නැහැ. එම අවස්ථාවේදී කතා කරමින් සිටින අතර විජේවීර මට යටින් රොල් කරපු කොළ කෑල්ලක් දුන්නා. මම ඒක අරගෙන ඉණේ ගහගත්තා. අපිට කතා කරකර ඉන්න දෙන්නේ විනාඩි 15 ක පමණ කාලයක් තමයි. එම කාලය අවසන් වීමෙන් පසුව විජේවීර ඇතුළට ගියා. වෙනදා මට යන්න කියන නිලධාරියා එදා මාත් සමඟම එළියට ආවා. මට ඒ පිළිබඳව සැක සිතුණා. මාත් සමඟ එළියට ආපු එම නිලධාරියා මාව කාමරයකට දැම්මා. තවත් ජේලර් කෙනකුට කතා කළා. එම කාමරේ දොර වහල මගෙන් ඇසුවා විජේවීර මොකක්ද දුන්නේ කියලා. මම මොකුත් කතා කළේ නැහැ. නමුත් බඩෙන් අල්ලලා හෙල්ලූවා. ඉණේ ගහන් සිටිය රොල් කරපු කොළ කෑල්ල කලිසම යටින් වැටුණා. ජේලර්ලා එක අහුලගෙන මට කිව්වා, මේක සී. අයි. ඞී. එකට දුන්නොත් ඔහුට උසස් වීමක් ලැබෙන බව. නමුත් අයියාගේ නඩුවේ වැඩ කරන්නේ ඔයා විතරක් නිසා එහෙම කරන්නේ නැහැ කිව්වා. අපේ අයියට ඒ පිළිබඳව කියන බවත් සඳහන් කළා.

පසුව මට විජේවීර වෙන අයකු මාර්ගයෙන් යළි පණිවුඩයක් එවල තිබුණා. එම පණිවුඩයේ සඳහන් කරලා තිබුණේ මහරගම පැත්තේ තිබුණ කඳවුරක සිටිය අයකුට එම පණිවුඩය දෙන්න කියලා. කලින් දුන්නු කොළ කෑල්ලේ තිබිලා තිබෙන්නෙත් එම පණිවුඩයම තමයි.

ප‍්‍රශ්නය – එදා කළ දේශපාලනය ගැන දැන් මොකද හිතෙන්නේ,

පිළිතුර – සාර්ථක වුවා නම් හොඳයි කියලා සිතෙනවා. නමුත් අපේ ව්‍යාපාරයේ සිටියේ ශිෂ්‍යයන් සහ තරුණයන් පමණයි. විප්ලවයක් සාර්ථක වෙන්න කම්කරුවන් සහ ගොවියන් සම්බන්ධ විය යුතුයි. අපේ මාමා 71 අපේ‍්‍රල් සන්නද්ධ නැ`ගිටීම හැඳින්වුයේ ගොළුවන්ගේ විප්ලවය කියලා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment