අපිට අකැප සාෆ් අද ඇරඹේ

331

දකුණු ආසියානු කලාපීය රටවල් අතර පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය ලෙස සැලකෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන තරගාවලිය (සාෆ්) ඉහිහාසයේ පළමු වරට ශ්‍රීලංකාව නොමැතිව අද ඉන්දියාවේ දී ( 21වැනිදා ) ආරම්භ වේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් ශ්‍රී ලංකා පාපන්දු සාමාජිකත්වය පසුගිය ජනවාරි මස සිට තහනමකට ලක් කිරීම හෙතුවෙන් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කොට ඇත.

සාෆ් තරගාවලිය ආරම්භ වූ 1993 වසරේ සිට 2021 දක්වා ශ්‍රී ලංකාව අඛණ්ඩව තරගාවලිය නියෝජනය කළේය.

ඉන්දියාවේ බැංගලෝර්හි ශ්‍රී කන්ටීරවා ක්‍රීඩාංගණයේදී අද සිට ලබන මස 4 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය ආරම්භ කරමින් කුවේටය සහ නේපාලය අද තරඟ වැදීමට නියමිත අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ද අද දිනයේ දෙවනුව පැවැත්වේ.

‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් අයත් වේ. එම කණ්ඩායම් හතර අතරෙන් මූලික වටයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. ජූලි මස 01 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර අවසන් මහා තරඟය ජූලි 4 වැනිදා පැවැත්වේ.

‘ඒ’ කාණ්ඩය – ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, කුවේට්

‘බී’ කාණ්ඩය – ලෙබනනය, මාලදිවයින, භූතානය, බංග්ලාදේශය

advertistmentadvertistment
advertistmentadvertistment