අපිට මේ වෙලාවේ අසංවේදීව ඉන්න බැහැ – රත්න ශ්‍රී විජේසිංහ

605
රත්න ශ්‍රී විජේසිංහ

කවියකු සහ ගීත රචකයකුට ඇති සමාජ කියවීම සුළු පටු එකක් නොවේ. එය සෙසු කලා මාධ්‍යයන් සමග සම කළ හැකි ද නොවේ. ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් වර්තමානයේ රටේ පවතින තත්ත්වය තුළ කලාවට ඇති ඉඩ පිළිබඳ අප සමග මෙසේ කතා කළේය.

මේ දිනවල රටේ පවතින වතාවරණය උඩ කලාකරුවෙකුට තියෙන කාර්යභාරය කුමක්ද?

කලාකරුවෙකුට කියලා විශේෂ කාර්යභාරයක් නෑ. කලාකරුවෝ ඉන්නේ ඇත්තටම කලා නිර්මාණ කරන්න. කලාකරුවා කියන්නේ මේ පුරවැසියාගේම සමකාලීන සාමාජිකයෙක්නේ. එතකොට ඒ ප්‍රශ්නවලට කලාකරුවනුත් මුහුණ දෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට බඩු මිල වැඩී, ඉන්ධන මිල වැඩී සහ ඉන්ධන අවශ්‍ය තරම් නැහැ, ගෑස් නැහැ, විදුලිය විසන්ධි කරනවා ඊට සාපේක්ෂව කෑම බීම අගහිඟකම් ඉහවහා ගිහිල්ලා. එය කලාකරුවන්ටත්, සාමාන්‍ය ජනතාවටත් එකසේ බලපානවා. එතනින් එහාට ගියාම කලාකරුවා ඒ අයගේ නිර්මාණවලට මේ පීඩනේ මේ අත්දැකීම් වස්තුවිෂය කර ගන්න ඕනේ. එයාලගේ විරෝධයත් පෙන්වන්න ඕනේ. මේකෙන් ගැලවෙන්න නම් පොදු ජනතාවගේ හඬට කලාකරුවන්ගේ හඬත් එකතු කරන්නම ඕනේ.

ඔබ විද්වත් සාහිත්‍යවේදියෙක් විදියට රටේ පවතින මේ අරගලය සම්බන්ධව මොනවගේ අදහසක්ද තියෙන්නේ?

ශ්‍රී ලාංකීය මුළු මහත් ප්‍රජාවම තමන්ගේ ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමකට මුහුණ දීලා නැහැ. මටත් දැන් වයස හැට ගානක් වෙනවා. මම අත්දැකපු ඉතිහාසය තුළ අපි මෙතරම් දුර්භික්ෂයකට, මේ තරම් අර්බුදයකට ඒ කියන්නේ ආර්ථික, සංස්කෘතික හා දේශපාලන අර්බුදයකට ඉතිහාසයේ කවමදාවත් මුහුණදීලා හිටියේ නෑ. එහි උච්චතම අවස්ථාවට තමයි අද මේ එළඹිලා තියෙන්නේ. මිනිස්සු අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳිනවා, පීඩා විඳිනවා. වයස භේදයකින් තොරව බාල – මහලු සියලු දෙනාම එකම ඉරණමකට මුහුණ දීලා ඉන්නේ. ඉතිං ඒ නිසා මේ වගේ අවස්ථාවක කලාකරුවන්ට විශේෂයෙන්ම සාහිත්‍යකරුවන්ට මේ ප්‍රශ්නයේදී අසංවේදීව ඉන්න කිසිම යුතුකමක් නැහැ. ඒ අයත් එළියට ඇවිත් තමන්ගේ හඬ අවදිකරන්න ඕනේ. එමෙන්ම පොදුජන අරගලයට එකාවන්ව එකතුවෙන්න ඕන. පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් විදියට අද මහජනතාව මහ මඟට වැටී ඇති තත්ත්වයක් තමයි දැන් උද්ගතවී තියෙන්නේ.

දැනට පවතින ආණ්ඩුව පත්කිරීමට කලාකරුවෝ විශාල මෙහෙවරක් ඉටු කළා. කලාව වෙනුවෙන් ඔවුන්ගෙ යුතුකම් ඉටුවෙලා තියෙනවද?

කලාකරුවන්ගේ ප්‍රශ්න තියා මහජනතාවගේ ප්‍රශ්න වලටවත් විසඳුමක් නැති වෙලාවක් මේක. ඒ අය කිසිම වෙලාවක කලාවට සැලකුවේ නැහැ. මම නම් මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරලා නැහැ. මොකද මට පූර්ණ විනිශ්චයක් තිබුණා මේ අයගේ හැසිරීම් පිළිබඳව. මොකද අවුරුදු ගානක් තිස්සේ මේ කරපු දැවැන්ත සොරකම්,

ගසාකෑම් ඒ සියල්ල දැන ගෙන සිටියා. ඉතිං ඒවා දැන දැනමයි අපේ සමහර කලාකරුවන් තමන්ගේ වාසියට මෙයාලට එකතු වුණේ. මම නම් ඒ පවට කර ගැහුවේ නෑ.

  • පාරමී කෞෂිකා
advertistmentadvertistment
advertistmentadvertistment