අපි අත්සන් කළේ රටට වාසිදායක ගිවිසුමක්…බලශක්ති අමාත්‍ය – නීතිඥ උදය ගම්මන්පිල

238

වෘත්තීය සමිති කියන්නේ පට්ටපල් බොරු…

වරදක් නම් උසාවි යන්න…

තෙල් ටැංකි ගිවිසුමට ආණ්ඩු විරෝධී බලවේග පමණක් නොව ජාතිකවාදී බලවේගයන් ද විරෝධය පා ඇත. එම විරෝධයන් පිළිබඳව මෙන්ම විදුලිය කැපීමට සිදුවීම පිළිබඳව තෙල් සංස්ථාවට එල්ල වන චෝදනා පිළිබඳව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – සුසිල් ඇමැතිතුමාට ඇදුනු ස්වීප් එක ඊළඟට ඇදෙන්නේ ඔබතුමාට කියන්නේ ඇත්තද?

පිළිතුර – ඒක අහන්න ඕනෑ මගෙන් නොවේ. ජනාධිපතිතුමාගෙන්.

ප‍්‍රශ්නය – ඔබතුමාලා දිගු කාලයක පටන් ආණ්ඩුව විවේචනය කරනවා. ලෝක වාර්තාවක් තබමින් තමන්ගේ ඇමැති මණ්ඩලයට එරෙහිව උසාවි ගියා. හරි නම් සුසිල් ඇමැතිතුමාට කලින් ස්විප් එක ඇදෙන්න ඕනෑ ඔබතුමාලටනෙ.

පිළිතුර – අපි ආණ්ඩුව විවේචනය කරන්නේ නිශ්චිත රාමුවක් ඇතුළේ ඉඳන්. හේතු දෙකක් උඩ පමණයි. පළමු හේතුව වන්නේ ඇමැති මණ්ඩලය තුළ සාකච්ඡාවකින් තොරව දෙයක් සිදු කළොත් ඒ පිළිබඳ අපි එලියේ විවේචනය කරනවා. ඇමැති මණ්ඩලයේ අදහස් දක්වන්න අවස්ථාව නොලැබුණොත් ඇමැතිවරුන්ට පිටත දී විවේචනය කරන්න පුළුවන් කියා ගාමිණි දිසානායක එදිරිව කලීල් නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළි අරගෙන තිබෙනවා. මීට නිදසුන් විධියට විසිවන සංශෝධනය, යුගදනවි ගිවිසුම සහ අගෝස්තු මාසයේ දී රට අගුළු දමන මෙන් ඉල්ලීම පෙන්වන්න පුළුවන්. දෙවන හේතුව තමයි ජනතාව සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම වන සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පටහැනිව තීන්දු ගැනීම. ඊට නිදසුනක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම පෙන්වන්න පුළුවන්. ආණ්ඩුව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පිට පැන්නොත් ආණ්ඩුව ඇතුළේ විපක්ෂය වෙමින් ඊට එරෙහිව සටන් කරන බවට විමල් ඇමැතිතුමාත් මමත් 2020 ජූලි 18 දා ලිඛිත ප‍්‍රතිඥාවක් දුන්නා. අපි දැන් ඉටු කරමින් ඉන්නේ ඒ ප‍්‍රතිඥාවයි.

ප‍්‍රශ්නය – මේ දිනවල විදුලි කප්පාදුව සිදු වන්නේ තෙල් සංස්ථාව විසින් තෙල් නොදුන් නිසා කියා ලංකා විදුලි බල මණ්ඩලය චෝදනා කරනවා නේද?

පිළිතුර – විදුලිබල මණ්ඩලය තමන්ගේ වරද වසා ගැනීමට අනුන්ට චෝදනා කරනවා. විදුලි බල මණ්ඩලය අපෙන් දැවිතෙල් ඉල්ලූවේ ජනවාරි 7දා. ඞීසල් ඉල්ලූවේ ජනවාරි 11දා. අඩුම ගණනේ ජනපතිතුමන් ජනවාරි 10 කැඳවපු රැස්වීමේදීවත් ඞීසල් ඉල්ලා සිටියේ නෑ. ඒ අය ඉල්ලූ පමණින් ඉන්ධන ලබා දෙන්න දැවිතෙල් සහ ඞීසල් උනන ළිං අප සතුව නෑ. ඒවා ටෙන්ඩර් කැඳවලා ආනයනය කරන්න අවමය සති 7ක් ගත වෙනවා. අපට විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබුණේ ජනවාරි අග වන තුරු ඒ අයට ඉන්ධන අවශ්‍ය නෑ කියා. ඒ වගේම අපි දැවැන්ත ඩොලර් අර්බුදයක ඉන්නේ. ඒ නිසා අපි තෙල් අවශ්‍ය නම් ඊට අවශ්‍ය ඩොලර් ද සපයන්න කියා ඔක්තෝබර් මාසයේ දී දැනුම් දුන්නා. නමුත් ඒ අයට ඩොලර් ආදායමක් නැති බව අපට දැනුම් දුන්නා. අපිත් රුපියල් වලින් ජනතාවට විකුණලා ඩොලර් වලින් ආනයන කරන නිසා අපටත් ඩොලර් නැති බව ඒ අයට දැනුම් දුන්නා. දැන් ලංවිම තමන්ට ආනයනය කිරීමට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් සැපයීමට එකඟ වී තිබෙනවා. ඩොලර් දුන්නොත් ඉන්ධන දෙන්න පුළුවන්.

එහෙම නොදීත් අපි මේ දිනවල දවසකට ඞීසල් ටොන් 1,500ක් සහ දැවිතෙල් ටොන් 2,500ක් ලංවිමට ලබා දෙනවා. ඒ වගේම තෙල් සංස්ථාව කියන්නේ විදුලි බල මණ්ඩලය පෝෂණය කරන ආයතනය. ලංවිම අපට රුපියල් බිලියන 91ක් ණයයි. අපි මෑතක් වන තුරු රුපියල් 140ට ගත්තු දැවිතෙල් ලීටරය ලංවිමට දුන්නේ රු. 70ට. එහෙව් අපට මෙහෙම චෝදනා කරන එක වැරදියි.

ප‍්‍රශ්නය – හොර ගිවිසුම් පිළිබඳ ඉතිහාසය පුරා විවේචනය කරපු ඔබ අවසානයේ දී ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ හොර ගිවිසුමක් අත්සන් කළ බවට විපක්ෂය චෝදනා කරනවා නේද?

පිළිතුර -ඒක පට්ටපල් බොරුවක්. ඉන්දියාව සමග කරන සාකච්ඡාවල ප‍්‍රගතිය පිළිබඳ තුන් වරක් වෘත්තිය සමිති දැනුවත් කළා. තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය දැනුවත් කළා. සාකච්ඡාවල ප‍්‍රගතිය පිළිබඳ ඇමැති මණ්ඩලය වරින් වර දැනුවත් කළා. 2021 ඔක්තෝබර් 14 දින වෘත්තීය සමිති සමග රූපවාහිනි විවාදයකට මම සහභාගි වුණා. 2021 ඔක්තෝබර් 6දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය මතු කළ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඒ වගේම ඇමති මණ්ඩල පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා රටේ ජනතාව දැනුවත් කළා. ජාතික සංවිධාන රැස් කර ඒ සංවිධාන දැනුවත් කළා. අත්සන් කළ වහාම අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. ඊට පසු දින ගිවිසුම මාධ්‍ය වලට නිකුත් කළා. ගිවිසුම අත්සන් කලාට පසු ලැබෙන පළමු අවස්ථාවේම ඒ කියන්නේ ජනවාරි 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ තරම් විනිවිද පෙනෙන අයුරින් වෙනත් කිසිම ගිවිසුමක් සම්බන්ධයෙන් ආණ්ඩුවක් කටයුතු කර නෑ.

ප‍්‍රශ්නය – ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් යළි ලබා ගත් බවට ඔබ කියනවා. නමුත් සමහරු කියන්නේ ඉන්දියාවට දුන්නු බවයි. ඇත්ත මොකක්ද?

පිළිතුර – මම කියන හැමදේටම සාක්ෂි ඉදිරිපත් කරනවා. මම සඳහන් කරන ගිවිසුම් සියල්ල අඩංගු කරලා පොතක් ගහලා මාධ්‍ය වලට දුන්නා. වෙබ් අඩවි වලත් දැම්මා. මට විරුද්ධව කතා කරන අයටත් එසේ කරන්න කියන්න. එතකොට ජනතාවට ඇත්ත දැන ගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – මේ ගිවිසුම අපට වාසිදායක බවට ඔබ පවසන්නේ ඇයි?

පිළිතුර – 2003 ගිවිසුමෙන් ටැංකි සියල්ලම ඉන්දියාවට වසර 35කට බදු දී තිබුණේ. ඒ වගේම 2017 දී ටැංකි 99ම වසර 99කට බදු දෙන්න එකඟ වී තිබුණේ. අපේ

ගිවිසුමෙන් ඉන්දියාවට බදු දුන්නේ ඒ අය අලූත්වැඩියා කර භාවිත කරමින් සිටි තෙල් ටැංකි 14 පමණයි. ටැංකි 24ක් පළමු වතාවට ඉන්දියාවෙන් මුදා ගෙන තෙල් සංස්ථාවේ සෘජු පාලනයට ගෙනාවා. ඉතිරි ටැංකි 61 පාලනය කරන්නේ ලංකා – ඉන්දියානු හවුල් සමාගමක් වුවත් ඒක රාජ්‍ය සමාගමක්. ඒ නිසා ආණ්ඩුවේ පාලනයට යටත්. ඒක විගණකාධිපතිට ගිණුම් විගණනය කරන්න පුළුවන් කෝප් කමිටුවට අධ්‍යක්ෂවරු කැඳවා ප‍්‍රශ්න කරන්න පුළුවන් මන්තී‍්‍රවරුන්ට විෂය භාර ඇමැතිගෙන් ප‍්‍රශ්න ඇසීමට යටත් සමාගමක්. ඒ අනුව බලන විට ඉන්දියාවේ පාලනයේ තිබුණු ටැංකි 99න් 85ක්ම අපේ පාලනය යටතට ගත්තා. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පසු ප‍්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් තිබුණු ටැංකි 85ක් ලෙසත් ඒක හඳුන්වන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඉන්දියාවෙන් ණය ලබා ගන්න ඔබ තෙල් ටැංකි ඉන්දියාවට දුන් බවයි විපක්ෂය කියන්නේ?

අපි අත්සන් කළේ රටට වාසිදායක ගිවිසුමක්…බලශක්ති අමාත්‍ය - නීතිඥ උදය ගම්මන්පිල

පිළිතුර – අමාත්‍යවරුන්ගේ විෂය පථයන් සහ වගකීම් ගැසට් මගින් ප‍්‍රසිද්ධ කළේ 2020.08.09. ඒ කියන්නේ මම ඇමැති තනතුරට පත් වෙන්නත් කලින්. බලශක්ති ඇමැති ප‍්‍රමුඛතාව ලබා දිය යුතු ව්‍යාපෘති අතරේ ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම තිබෙනවා. මම ඇමැති ධුරයට පත් වුණේ 2020 අගෝස්තු 12දා. සාකච්ඡා ඇරඹුවේ 2020 අගෝස්තු 17දා. අපි සාකච්ඡා වාර 22ක් පවත්වනවා. අවසානයේ දී ගිවිසුම අත්සන් කරන්නේ 2022 ජනවාරි 6දා. මාස 16කට පස්සේ. නමුත් අපි තෙල් සඳහා ණයක් ඉල්ලන්නේ 2021 අගෝස්තු. මහ බැංකු අධිපති විසින් විනිමය හුවමාරු පහසුකමක් ඉල්ලන්නේ 2021 සැප්තැම්බර්. මුදල් ඇමති විසින් ආහාර ආනයනයට ණය පහසුකමක් ඉල්ලන්නේ 2021 නොවැම්බර්. එහෙම බලන විට තෙල් ටැංකි යළි ලබාගන්න අපි සාකච්ඡා ඇරඹුවේ ණය ඉල්ලන්න වසරකටත් කලින්.

ප‍්‍රශ්නය – තෙල් ටැංකි ගිවිසුමෙන් රටට ලැබුණු වාසි මොනවාද ?

පිළිතුර – අපිට අයිති ටැංකි ඉන්දියාවට දීලා ඒ අයත් මුකුත් නොකර දිරාපත් වෙමින් තිබුණේ. ඒ අතරේ අපි රුපියල් බිලියන ගණන් වැය කරමින් අලූතින් ටැංකි ඉදි කරනවා. මේක හරියට වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගේ වැඩක්. දැන් තෙල් සංස්ථාවට ලැබුණු ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24 අලූත්වැඩියා කර භාවිත කරන්න පුළුවන්. එතකොට අපට උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත, බදුල්ල සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක යන ප‍්‍රදේශ වලට ත‍්‍රි’මලේ සිට තෙල් බෙදන්න පුළුවන්. ඒ ක‍්‍රියාවලියෙන් අපට වසරකට රුපියල් මිලියන දහසක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම තෙල් මිල අඩු කාලයට මිල දී ගෙන ගබඩා කරන්නත් පුළුවන්.

ඒ වගේම වසර සීයකට ආසන්න කාලයක් ප‍්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් තිබෙන මේ තෙල් ටැංකි හරියට භාවිත කරලා තිබෙන්නේ දෙවන ලෝක යුද සමයේ දී විතරයි. දැන් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මේ ටැංකි භාවිතා කරන්න යන්නේ. ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඞ් කියන්නේ තෙල් සංස්ථාවට 51%ක් කොටස් හිමි රාජ්‍ය සමාගමක්. මේ සමාගම යටතේ ටැංකි 61ක් සංවර්ධනය කරනවා. ඒ ටැංකි තෙල් ගබඩා කිරීමට අවශ්‍ය අයට කුලියට දීමෙන් විදේශ විනිමය උපයන්න පුළුවන්. තෙල් ටැංකි කුලියට දීම සිංගප්පූරුවේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක්.

ප‍්‍රශ්නය – ඉන්දියාව තෙල් ටැංකි අපෙන් ලබා ගන්න තිබුණු උනන්දුව සංවර්ධනය කරන්න තිබුණේ නැත්තේ ඇයි? මේ සම්පත දිරාපත් වෙන්න දීලා ඒ අය වසර 19ක් බලා සිටියේ ඇයි?

පිළිතුර – ලංකා අයි ඕසී සමාගමට ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය වුණේ ටැංකි 14යි. ඒ සඳහා ටැංකි 14ක් අලූත්වැඩියා කර භාවිතා කළා. අපි ඉන්දියාවට වසර 50කට බදු දුන්නේ ඒ ටැංකි 14 විතරයි. ඉතිරි ටැංකි 85 වසර 19ක් පුරා ඉන්දියාව භාවිත නොකර දිරන්න හැරලා බලාගෙන හිටියා.

ඉන්දියාවට ඇත්තටම තෙල් ටැංකි සම්බන්ධයෙන් තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ උනන්දුවක් මිස වාණිජමය උනන්දුවක් නොවේ. මේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් බැරල් ලක්ෂ 80ක් ගබඩා කරන්න පුළුවන්. ඒ නිසා මේ ටැංකි ඉන්දියාවේ සතුරෙකු අතට පත් වුණොත් ඒ සතුරාට අඛණ්ඩව ඉන්දියාවට පහර දෙන්න හැකි වන පරිදි ගුවන් යානා, නැව් සහ සබ්මැරීන වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයා ගන්න පුළුවන් වෙනවා. ඒක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි ඉන්දියාව දකින්නේ.

1980 දී අපේ ආණ්ඩුව විසින් මේ තෙල් ටැංකි සිංගප්පූරු – ඇමෙරිකානු හවුල් ව්‍යාපාරයකට බදු දෙන්න සැලසුම් කළා. ඒ කාලයේ ඉන්දියාවේ පරම සතුරා ඇමෙරිකාව. ඒ නිසා තමයි ඉන්දියාව විසින් කොටි සංවිධානය පුහුණු කරලා අවි ආයුධ දීලා අපට එරෙහිව සැඟවුණු යුද්ධයක් කළේ. අවසානයේ දී කොටි මර්දනය තමන් භාර ගන්නා බවට පොරොන්දු වෙලා 1987 දී තෙල් ටැංකි ඉන්දියාව සමග පමණක් හවුලේ සංවර්ධනය කරන බවට ගිවිසුමක් අත්සන් කර ගත්තේ.

ප‍්‍රශ්නය – ඔබ මොනවා කිව්වත් රටේ ප‍්‍රධාන භික්ෂුන් වහන්සේ දෙදෙනෙක් මේ ගිවිසුම අභියෝගයට ලක් කර නඩු පැවරීම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – උන්වහන්සේලාට මම බොහොම ගරු කරනවා. මම තවම පෙත්සම දැක්කේ නෑ. නමුත් මා දන්නා නීතිය හැටියට නම් ගිවිසුම අවලංගු කිරීමට කිසිම නීතිමය පදනමක් නැති බව බය නැතුව කියන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඔබ සටන් සගයා වන විමල් වීරවංශ ඇමැතිතුමා පවසන්නේ මේ ගිවිසුමේ වරදක් දැකිය හැක්කේ ඉන්දියාව පැත්තෙන් බලන කෙනෙකුට පමණයි කියා. ඒ ප‍්‍රකාශය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – එතුමා හරි. මේ ගිවිසුම අවාසිදායක බවට පේන්නේ ඉන්දියාවේ පැත්තෙන් බලන අයට පමණයි. ඒ මීට ඉහත දී තෙල් ටැංකි පිළිබඳ අත්සන් කළ ගිවිසුම් තුනම ඉන්දියාවට වාසිදායක ඒවා. නමුත් මේ ගිවිසුම ලංකාවට වාසිදායකයි. ඒ නිසා විරුද්ධවාදීන් මේ ප‍්‍රදර්ශනය කරන්නේ දේශපේ‍්‍රමය ද නැතිනම් ඉන්දියානු පේ‍්‍රමය ද කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

සාකච්ඡා කළේ – එරික් ගාමිණී ජනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment