අපි ඉල්ලුවේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ ටිකක් දාල හදන මහජන කවුන්සිලයක් නෙමෙයි

89

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

අපි සමීක්ෂණයක් කළා. නව වැනිදා අරගලයට ආව අයගෙන් සියයට 46 ක් පොහොට්ටුවේ අය

අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට පත්වෙමින් තිබෙන පසුබිමක ජනාධිපතිවරයා පවසා තිබෙනවා වෘත්තීය සමිතිවලින් එන විරෝධය තමන් නොතකන බව. අරගල කළත් තේරුමක් නැති වැඩක් වගේ දැන් ජනතාවට හැඟෙන්නෙ. කෝ දැන් මොනවා කළත් වැඩක් නෑනෙ. හිතෙන් නැද්ද තිබුණට වඩා පවතින තත්ත්වය නරකයි කියල?

අරගලය අවසන් කියල අපි දකින්නෙ නෑ. ගොඩක් අය තිබුණට වඩා දැන් තියෙන තත්ත්වය නරකයි කියල උපකල්පනය කරන්නෙ අරගලය ඉවරයි කියල හිතන අය. අරගලය අවසන් නෑ අරගලයේ යම් පරිච්ඡේදයක් අවසන් වුණා. අරගලය පසුබිම වුණ ආසන්න වශයෙන් පැන නැගුණ ප්‍රශ්න තමයි තෙල්, ගෑස් වගේ ප්‍රශ්න. නමුත් මූලික ප්‍රශ්නය ආර්ථික අර්බුදය. අරගලය පටන් ගද්දි තිබ්බෙ ‘ගෝඨා ගෝ හෝම්’ විතරයි. නමුත් අරගලය අවසන් වෙද්දි ඉල්ලීම් කිහිපයක්ම තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, අලුත් ව්‍යවස්ථාවක් ගේන්න, ඒ වගේම ජනතාව මේ රාජ්‍යයත් එක්ක මැදිහත් වෙන්න පුළුවන් ජන සහභාගී ව්‍යුහයක් ඇති කරන්න වැනි යෝජනා. අනෙක් පැත්තෙන් පසු ගිය කාලේ මේ රටේ ජනතාවගෙන් හොරා කාපු සල්ලි නැවත ගේන්න, රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් වෙන්න වගේ යෝජනාත් ඒ අතරත් තිබුණා. ඒ වගේම වෘත්තීය සමිති විදියට අපි කිව්වා අයි. එම්. එෆ්. එකේ කොන්දේසි ජනතාව තවත් කබලෙන් ලිපට දාන යෝජනා නම් තවත් අපි ඒකට එකඟ වෙන්නෙ නෑ කියල. මෙන්න මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ආර්ථික සාධාරණත්වයත් එක්ක ආව යෝජනා එක්ක තමයි අරගලය එසවෙන්නෙ. ඒත් එක්ක ආව මහජන නැගිටීමෙන් තමයි ගෝඨාභය රාජපක්ෂට යන්න සිද්ධවුණේ. ඉතින් ගියාට පස්සෙ ආව මේ ජනාධිපතිවරයාට ඇත්තටම ගත්තොත් කිසිම ආකාරයක ජනවරමක් නෑ. එක්සත් ජාතික පාක්ෂිකයන් පවා ඔහුව පැරද්දුවා. එහෙම කෙනෙක් තමා මේ කියන්නෙ කව්රුත් ගණන් ගන්නෑ මට එක්කෙනෙක්වත් ගාණක් නෑ කියල. බොහොම කෙටි කාලයකට කරන හාස්‍යජනක ප්‍රකාශන මේ. ඔහු තමයි මේ රටේ ආර්ථික ඝාතනයේ ඊළඟ පරිච්ඡේදය ලියන්න සූදානම් වෙන්නෙ. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ කියන්නෙ කව්ද කියල මේ රටේ ජනතාවට තේරෙයි. එදාට ජනතාව නැවත පෙළ ගැසෙනවා.

හැබැයි ඉතින් අරගලය ඉවර නෑ කිව්වට අරගලය හිත්වල තිබිල වැඩක් නෑනෙ. වත්මන් ජනාධිපතිවරයාට ජනවරමක් නෑ කියල කිව්වට ඔහු ව්‍යවස්ථානුකූලව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන්නෙ. ඔහුට තව වසර දෙකහමාරක් මේ රටේ ව්‍යවස්ථාවට අනුව බලය හිමියි. එවැනි තත්ත්වයක යළි මහජන නැගිටීමක් වෙයි කියල කොහොමද කියන්නෙ?

අපි එහෙම කියන්නෙ මේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ ගැඹුර සහ ආර්ථික අර්බුදයේ දිග පළල ගැන හොඳ අවබෝධයක් අපිට තියන නිසා. මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න හදන විදිය සම්බන්ධව අපිට අවබෝධයක් තියෙනව. දැන් උද්ධමනය හැම මාසයකම සියයට පනහ හැට මට්ටමකට ඇවිත් තියෙන්නෙ. රටේ ජනතාවගෙන් ලක්ෂ පනහක් නැත්නම් හතරෙන් එකක් දවසට එක වේලක් නැතිව ජීවත් වෙන්නෙ. විශාල ලෙස රැකියා නැතිවීමේ අවදානමක් ඒ අතර තියෙනවා. භූමිතෙල් මිල ඉහළ යනවා කියන එක සරල නෑ. ඉතින් මේකට වන්දිය ගෙවන්න සිදුවෙන්නෙ මේ රටේ මැද පංතියේ ජනතාවට. මේ ප්‍රශ්නයට වගකිවයුතු අයට කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන තමයි මේ ගැටලුවට වග කියන්න ඕන නැති අය මත මේක පටවන්නෙ. ඒක ඉතාම අයුක්ති සහගතයි. දැන් කියන්නෙ මිනිස්සු වැඩකරන්නෙ නෑ කියලනෙ. ඒත් ඇත්තම ගත්තොත් වැඩ කරන මිනිස්සුන්ගෙ සාරය උරා බීපු හොරු ටිකක් ඉන්නවා. එයාල තමයි මේ කියන්නෙ තව වැඩ කරන්න කියල. මේ අර්බුදය අස්සෙත් විශාල ධනයක් කීප දෙනෙක් අතරේ ගොඩ ගැසෙනවා. ඒක වෙනස් කරන්න අඩු තරමේ බදු ප්‍රතිපත්තියවත් වෙනස් කරන්නෙ නෑ. එතකොට සල්ලි අච්චු ගැහුවම මේ අර්බුදය තව වැඩි වෙනවා. ඉතින් මේ අර්බුදයේ වගකීම වග නොකියයුතු පිරිස මත පටවනකොට අනිවාර්යෙන්ම ඊට එරෙහිව ඔවුන් නැගිටිනවා.

මාධ්‍ය ඉස්සරහ මයික් එකක් දැක්ක ගමන් කරන ප්‍රකාශ නැවතුනා. නමුත් දැන් ටිකෙන් ටික පරණ තත්ත්වයටම මේ දේශපාලකයන්ගෙ හැසිරීම පත්වෙමින් තිබෙනවා. මේ තත්තවය ඔබ දකින්නෙ…?

ඉර පායල ඉර බැහැල ගියාම හඳ පායනවා. හඳ තියෙනකොට බල්ලො උඩු බුරනවා. බල්ලෝ උඩුබුරලනකොට කව්රුත් කියන්නෙ නෑනෙ ඉර නැවත පායන්නෙ නෑ කියල. ඉර ඒකාන්තයෙන්ම නැවත පායනවා. ඉතින් ඉර පායනකොට බල්ලො උඩු බුරන එක නතර වෙයි.

අරගලයෙන් ඉදිරිපත් වූ මහජන කවුන්සිලය පිහිටුවීමේ යෝජනාව ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. අරගලයේ ඉල්ලීම් දෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇහුන්කන් දී තිබෙන බව මෙයින් පෙනෙන්නෙ. එය සාධනීය පියවරක් නේද?

අපි ඉදිරිපත් කළ මහජන කවුන්සිලය කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ ටිකක් දාල හදන එකක් නෙවෙයි. ඔය හදන්න හදන්නෙ රනිල් වික්‍රමසිංහගේ පෙනී සිටින සිවිල් සමාජයක් තියෙන්නෙ. අන්න ඒ නියෝජිතයෝ දාල මේක කරන්න ඔය හදන්නෙ. අපි කියන්නෙ, අපි ඉල්ලන මේ ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාව ජන වරම ඇතුළෙත් තිබුණා. ගෝඨාභයට ඡන්දය දෙන්න කියල කිව්ව ගොඩක් අයගේ අදහස වුණෙ මෙතෙක් හිටිය දේශපාකයෝ හරියන්නෙ නෑ. දේශපාලනයට පිටින් කෙනෙක් ගේන්න කියන එකනෙ. ඒ තර්කය තුළ තියෙන්නෙ මේ දෙසිය විසි පහේම ප්‍රශ්නයක් තියනවා කියන එකනෙ. ගොඩක් අය කිව්වේ සර් එක්ක ඔය සෙල්ලම් බෑ කියලනෙ. ඒකෙ තේරුම වෙනදා හොරකම් කළ අයට සර් යටතේ හොරකම් කරන්න බෑ කියන එකනෙ. ඒගොල්ලන්ගෙ කඳවුර තමා මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම දූෂිතයි කියන මතය වෙන ආකාරයෙන් ගෙනාවේ. පාර්ලිමේන්තුවේ ඉන්න නඩයට මේ ප්‍රශ්නය විසඳන්න බෑ තනි පුද්ගලයෙක් හරි ගෙනල්ල මේක විසඳන්න ඕන කියන උත්තරය ජනතාව ගෙනාවේ එකයි. ඒකාධිපතියෙක් ගෙනල්ලා හෝ මේ දූෂිත තන්ත්‍රයෙන් ගැලවෙන්න ඕන කියන එක ජනතාවට තිබ්බෙ. මේ ව්‍යාපෘතිය තමා අසාර්ථක වුණේ. ඉතින් අපි යෝජනා කරන්නෙ ඊට සමීප අදහසක්. මේ වෙනුවට ජනතාවගේ බලයක්, ජනතාවගේ ව්‍යුහයක්. ඒ ජනතා ව්‍යුහයත් එක්ක වැඩ කරන්න සූදානම් වෙන පාලනයක් ගොඩනගන්න ඕන කියන එක. ඉතින් ඒ හදන ව්‍යුහය එයාලම භෞතීස්ම කරල හැදුවොත් විහිළුවක්. ඒ වෙනුවට මහජනතාවත් එක්ක මේ අභිලාශයන් වෙනුවෙන් වැඩ කරන නියම කම්කරුවන්, ධීවරයින්, ශිෂ්‍ය නායකයින්, සමාජ ක්‍රියාකාරීන් වැනි හැම කෙනාම සම්බන්ධ වෙච්ච ව්‍යුහයක් හදන්න ඕන කියලයි අපි කියන්නෙ. ඒක බලයක් තියෙන ව්‍යුහයක් වෙන්න ඕන.

මහජන කවුන්සිලයට බලය ලැබෙන්න ඕන කොහොමද? ව්‍යවස්ථාව මගින්ද?

මහජන බලයක් ඒකට තියෙන්න ඕන. දැන් ගෝඨාභය රාජපක්ෂ ගියේ ජනාධිපති මන්දිරයේ ඉන්න බැරිවුණ නිසා නෙවෙයිනෙ. මහජනතාවගේ පණිවිඩය ඔහු තේරුම් ගත්තා. ඒ බලය තේරුම් ගත්තා. අපි දැක්කනෙ මහජනතාවගේ මේ බලයට රජයත් එක්ක කතා කරන්න පුළුවන්. රාජ්‍ය බලයත් එක්ක මේ මහජන බලය කතා කරානෙ. අපි උත්සහ කරන්නෙ විධිමත් ලෙස එම බලය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ දිනා ගන්න තැනට ගොඩනගන්නයි. ඒක තමයි මේ මහජන කවුන්සිලය කියල කියන්නෙ.

වසන්ත මුදලිගේ වැනි අරගලයේ ඉදිරියෙන්ම සිටි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන දීර්ඝ රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන තිබෙනවා. ඔවුන්ගෙ නිදහස වෙනුවෙන් ඔබලා කරන්නෙ මොනවද?

මුලින්ම කියන්න ඕන මේක මහ බියගුලු ක්‍රියාවක්. ඒකට හේතුව සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියකට යන්න මේ පාලනය බය වුණා. ඒකට හේතුව අධිකරණයක් ඉස්සරහට ගිහින් මේ අය හිරකරන්න බෑ කියන පූර්ව නිගමනයක් තියෙන්න ඇති. අධිකරණයක් ඉස්සරහට ගිහින් වාද විවාද කරල ඒ තමන්ගෙ අභිලාශෂය ඉෂ්ට කරගන්න බෑ කියන එකෙන්ම තේරෙන්නෙ ඔවුන් කොතරම් දුර්වල තැනකද ඉන්නෙ කියලා. දෙවැනි කාරණය ඔවුන් හිතනවා නැවත වතාවක් නව වැනිදාවක් එයි කියන බිය. අන්තරේ එන එකටයි මේ බය. මේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස රඳවා තබා ගන්නෙ පාර්ලිමේන්තුව ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ විමර්ශනයකට කියා කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළා?

බන්දුල ගුණවර්ධනටම කියන්න පුළුවන් මේ ගොල්ලන් හිටියෙ මහ බැංකුව ගිනි තියන්න. නැත්නම් රටේ සියලුම බැංකු කඩන්න. වරාය කුඩු කරන්න. මේ වගේ එයාලගේ හිතේ තියෙන දේ අධිකරණය ඉදිරියේ කියන්න බෑ. අධිකරණය සලකන්නෙ වෙච්ච දේවල්. ඒ නිසා වෙච්ච දේවල්වලට අදාළව එහෙම දෙයක් කිසිම තැනක නෑ. ඒක පළවෙනි කාරණය. පොහොට්ටු මන්ත්‍රීවරු දැන්වත් තේරුම් ගන්න කියල මම කියන්නෙ ඕක මනස්ගාතයක්. නව වැනිදා ප්‍රහාරය එල්ල කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයවත් ජනතා විමුක්ති පෙරමුණවත් නෙවෙයි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment