අපි කවුරුද?

631

දිනපතා ‘දිවයින’ 41 වන වියට පත්ව සිටී. අපේ වැඩිමහලු සහෝදරිය වන ‘ඉරිදා ‘දිවයින’ අපට වඩා සිව් මසක් වැඩිමහළුය. අවුරුදු 41 ක් යනු මැදි වියේ ඇරඹුමය. එහෙත් ඒ කාරණය ‘දිවයින’ ට අදාළ නොවේ. අපි තවමත් තරුණ පුවත්පතක් වෙමු. ගතින් තරුණ වුවද පරිකල්පන ඥානයෙන් සහ ප්‍රඥාවෙන් බෙහෙවින් මෝරා යෑමට අපට හැකිව තිබේ. වයෝවෘද්ධ මනුෂ්‍යකු හා සමාන සමාජ අත්දැකීම් අපට ඇත. මේ රටේ පාලකයන් විසින් අවස්ථා කිහිපයකදී ගුටි දෙන ලදුව එම ගුටි විඳ දරාගෙන තුවාල සුවපත් කරගෙන කෙළින් සිට ගැනීමටත් අපේ ගමන එසේම යෑමටත් අපට හැකිව තිබේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික පුවත්පත් කර්මාන්තය තුළ නොනැසී සිටින වියපත්ම පුවත්පත ‘දිවයින’ ය. අප මරණයෙන් ගැලවුණේ අපේ පාඨකයන් නිසාය. එසේම මේ පුවත්පතට මුදල් වියදම් කරන පාලන අධිකාරිය නිසාය. ‘දිවයින’ මැරී එම්බාම් කොට පෙට්ටියක බහා තබනු බැලීම දේශපාලනඥයන් බොහෝ දෙනකුගේ අවශ්‍යතාව විය. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාව ඔවුන්ගේ හිස මතම හෙළා අපි අදත් අපේ ගමන යමු. එය හෙටත් එසේමය.

1981 දී උපාලි විජයවර්ධන විසින් ‘දිවයින’ පටන්ගන්නේ ජාතික ව්‍යාපෘතියක් හැටියටය. ඒ වනවිට ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකය, Globalization නමැති ධනවාදී සංකල්පය හරහා ශ්‍රී ලංකාවට කාන්දු වී තිබිණ. මෙය Infiltration තත්ත්වයක් ලෙස හඳුන්වනු ලැබේ. සැබවින්ම මේ කාන්දුව පටන්ගන්නේ ඊට පෙර පැවති සමගි පෙරමුණු රජයේ අවසාන අවුරුදු දෙකේ සිටය. සමගි පෙරමුණු රජය කුඩුපට්ටම් වී පාර්ලිමේන්තු ආසන ගණන අටට බැස විශාල ව්‍යසනයක් 1977 දී සිදුවිය. ඊට දෑවුරුද්දකට පමණ පෙර සමගි පෙරමුණ තුළ සිටි වාමාංශික බලවේග වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී ගියහ. මේ ඉවත්වීමෙන් ස්වල්ප කලකට පසු මැද පෙරදිග රටවල ධනවත් වැසියන්ට ගෙදර දොරේ වැඩ කිරීමට කම්මැලි සිතින. ඒ අනුව ලංකාව ඇතුළු ආසියාවේ විවිධ රටවලින් House Maid ලා රට තුළට ගෙන්වා ගැනීමට එම රටවල් උත්සුක වූහ. මෙයට සමගාමීව මැදපෙරදිග ඉදිකිරීම් කර්මාන්තයද පුළුල් වූ අතර ලංකාවේ පිරිමින් එම ඉදිකිරීම්වල වැඩ කිරීම සඳහා සෞදි, ඩුබායි, බහරේන්, අබුඩාබි, සාජා, කටාර් යනාදී රටවලට යන්නට පටන් ගත්හ. එසේ ගිය අය ඒ රටවල ඇති සුඛෝපභෝගී ද්‍රව්‍යය තම පවුල්වල අය පුදුම කිරීම සහ සතුටු කිරීම සඳහා ලංකාවට එවූහ.

ජේ. ආර්. ජයවර්ධන 1977 දී බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික චින්තනය සම්පූර්ණයෙනුත් ආණ්ඩුවේ චින්තනය භාගෙටත් ලිබරල් වී තිබිණ. ජේ. ආර්. ජයවර්ධන කළේ ඉතිරි භාගය සඳහා අවශ්‍ය ලිබරල් ටැප් එක ඇරීම පමණි. ලෝකය නවීන වන විට සමාජවාදය අතුරුදන්ව යයි. නවීන ලෝකයේ ඇති දේශපාලන දර්ශනය වූකලී ධනවාදයයි. එහි දේශපාලන ස්වරූපය හෙවත් දේශපාලන වේශය වූකලී ප්‍රජාතන්ත්‍රවාදයයි. ලෝකය දියුණු වන කල ප්‍රජාතන්ත්‍රවාදයෙන් සහ ලිබරල් චින්තනයෙන් ගැලවීමට උත්සාහ කිරීම සමාන වන්නේ නැවත වතාවක් ගල්යුගය බලා ගමන් කිරීමටය. අර්ථපති උපාලි විජයවර්ධන ද ලිබරල්වාදියෙකි. ඒ නිසා ඔහු ‘දිවයින’ පටන්ගන්නා විට එය ගල් අච්චුවේ මුද්‍රණය කරන පත්තරයක් බවට පත් නොකොට පරිගණක මාර්ගයෙන් සිදුකරන අති නවීන කර්මාන්තයක් බවට පත්කළේය.

වැඩිදෙනා නොදන්නවාට පරිගණක තාක්ෂණය යොදාගෙන අග්නිදිග ආසියාවේ මුද්‍රණය කෙරුණු ප්‍රථම පුවත්පත ‘දිවයින’ ය. උපාලි විජයවර්ධන ‘දිවයින’ ට කොතරම් හොඳ යන්ත්‍ර සූත්‍ර මිලදී ගත්තේද යත් ‘දිවයින’ පළමුවෙන්ම මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය අදටත් හොඳටම වැඩ කරයි. මේ නවීන යන්ත්‍ර සූත්‍ර යොදාගෙන උපාලි විජයවර්ධන කළේ සිය ප්‍රධාන කතුවරුන් වූ එඩ්මන්ඩ් රණසිංහ සහ විජිත යාපා (The Island) යොදාගෙන ජාතික සංස්කෘතිය ආරක්ෂා කිරීමය. ‘දිවයින’ හැමවිටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේද සඳහන් වන පරිදි බුදු දහමට මුල් තැන දුන්නේය. සෙසු සියලු ආගම්වලට සමතැන දුන්නේය. මේ නිසා ‘දිවයින’ ක්‍රමයෙන් විප්ලවීය පුවත්පතක් බවට පත්වූ අතර සියලු ආණ්ඩුවලට තර්ජනයක්ද විය. විවිධ ආණ්ඩුවල සිටි පල් හොරුන් හොරාකන අයුරු අපි නොබියව හෙළිකළෙමු.

1983 දී මේ රටේ ජනවාර්ගික යුද්ධය පටන්ගත් විට ශ්‍රී ලංකා යුද හමුදාව සමග පෙරමුණේ ගමන් කළ මතවාදී කාලතුවක්කුව බවට ‘දිවයින’ පත්විය. ‘දිවයින’ තරම් බලවත් මාධ්‍යයක් එකල තිබුණේ නැත. එක්තරා වකවානුවකදී මේ රටේ වැඩිදෙනා කල්පනා කළේ ප්‍රභාකරන් සමග කෙරෙන යුද්ධය ජයගැනීමට යුද හමුදාවට නොහැකි බවය. අන්තිමේදී යුද බිමේ ඉතුරු වුණේ ශ්‍රී ලංකා යුද හමුදාවත්, ‘දිවයින’ත්, බෞද්ධ භික්ෂුන් වහන්සේ පිරිසකුත් පමණි. යුද ජයග්‍රහණයෙන් පසු මහ පාරට පිවිසුන ජනයා පාර මැද ළිප් බැඳ කිරි බත් පිසිද්දී අපි නැවතත් පුරුදු පරිදි අපේ කර්මාන්තය කරගෙන යෑම සඳහා පත්තර පිටු අතරට වැදුනෙමු.

මුල් කාලයේ සිට මේ පුවත්පතට ආණ්ඩුවල දැන්වීම් ලැබුණේ නැත. මේ වනවිට පුවත්පත් දැන්වීම් කියා දෙයක් මේ රටේ කොතැනකවත් නැත. එබැවින් මේ පුවත්පතේ වර්තමාන අධිපතීන් වන ලක්මණි ආර්. වෙල්ගමත්, නිමල් වෙල්ගමත් පුවත්පතේ පැවැත්ම උදෙසා අප්‍රමාණ කැපකිරීම් කරති. ‘දිවයින’ට අවුරුදු 41 පිරෙන මේ අවස්ථාවේදී උපාලි විජයවර්ධනගෙන් පසු උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතීත්වය දැරූ නැසීගිය වෛද්‍ය සීවලී රත්වත්ත කිසිසේත්ම අමතක කළ නොහැක. එසේම මේ පුවත්පත සංවිධානය කර දුන් නැසීගිය දොන් ලෙස්ලි මැදගොඩ ධර්මරත්නද අමතක කළ නොහැක.

කොවිඩ් 19 විසින් මේ රටේ පත්තර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමන ලදී. එහිදී මේ පුවත්පත නැවතත් කෙළින් කර දෙන්නේ අපේ අලෙවි නියෝජිත මහත්වරුන්ද, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද, පාඨකයන්ද විසිනි. අපි හැම අවුරුද්දකදීම මේ පිරිසට පින් දෙමු. ලබන අවුරුද්දේදීත් එය එසේම වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment