අපි ගමට උදව් කළා ඒත් ඇතැමුන්ගේ මනුස්සකම නෑ – එස්. එස්. පී. ලොකුහෙට්ටි කියයි

589

කැබිතිගොල්ලෑව පොලිස් සැරයන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
සැරයන් එස්අයි තනතුරට උසස් කරයි

උද්ඝෝෂණයක් අවස්ථාවේ කැබිතගොල්ලෑව පොලිසියේ සැරයන් (12601) ඒ. පී. සුනිල් මහතාට පොලු පහරක් දී ඒ මහතා ඝාතනය කළ බවට සැක කරන ප්‍රධාන සැකකරු පොලිසිය මගින් පෙරේදා (01 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදාව හැර ගිය පුද්ගලයකු බව කියන මෙම සැකකරු කැබිතිගොල්ලෑව රඹකැපුවැව තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු පොලිස් සැරයන්වරයාගේ හිසට පොල්ලකින් පහර දෙනු ඇසින් දුටු සාක්‍ෂි කීපයක් ලැබී ඇති බව ද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ සැරයන් සුනිල් මහතා උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

මේ අතර ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු පොලිස් ගෞරව මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

ඝාතනයට ලක්වූ සුනිල් මහතා ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිතව සිටියේය. මෙම නිලධාරියා සම්බන්ධයෙන් කළ විමසීමකදී කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා කියා සිටියේ එම නිලධාරියා ඉතාම අවංකව රාජකාරි කළ හොඳ නිලධාරියකු බවයි.

ලොකුහෙට්ටි මහතා මෙම නිලධාරියා සම්බන්ධයෙන් මෙසේ ද කියා සිටියේය. සැරයන් සුනිල් කැබිතිගොල්ලෑව පොලිසියේ රාජකාරි කළ ඉතාම අවංක නිලධාරියෙක්. ඔය සිද්ධිය වෙන වෙලාවෙ සුනිල් රාජකාරි ඉඳලා නැහැ. ඒත් මේ නිලධාරියා ඇතිවෙලා තිබුණු තත්ත්වය පාලනය කිරීමට සහෝදර නිලධාරීන් එක්ක යන්න ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා.

ගම්වාසීන් පාර වහගෙන කරපු විරෝධතාව නතර කරන්න යන්නෙ තරුණ පොලිස් නිලධාරීන් පිරිසක් නිසා මමත් ඊට සම්බන්ධ වෙන්නම් යැයි පවසා ඔහු ඊට සහභාගිවෙලා තියෙනවා.

මේ නිලධාරියා ඝාතනය කරපු මිනිස්සු පදිංචි ගම්මානයට පොලිස් නිලධාරීන් මීට සති කීපයකට උඩදී වියළි ආහාර ඇතුළු නොයකුත් ආහාරපාන බෙදා දුන්නා. ඒ කටයුත්තට මූලිකත්වය අරන් කටයුතු කළේ ඝාතනයට ලක්වෙච්ච සැරයන් සුනිල්.

ඒ වගේම මේ සිද්ධියේ සැකකාරයෙක් වන විහාරාධිපති හිමියන් වැඩවසන පන්සලටත් පොලිසිය දිගට ම ආධාර උපකාර කරලා තියනවා. ඒත් ඒ කිසිකෙනකුගේ මනුස්සකම නැහැ.

හැම දේට ම ගමේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින පොලිසියට ම පහරදීලා පොලිසියේ හිටිය හොඳම නිලධාරියා මරා දැම්මා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලොකුහෙට්ටි මහතා කියා සිටියේය.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment