අපි ඡන්දය පවත්වනවා – රාජ්‍ය පරිපාලන ලේකම් කොමිසමට කැඳවනවා – මැකොස කියයි

221

මාර්තු 19 පෙර උසාවි නියෝගයක් ආවොත් ඇරෙන්න
බෙදීමක් නැහැ අපි ඔක්කොම එකටයි

අධිකරණමය තීරණයක් නොවන්නට කුමන බාධක පැමිණියත් ලබන මාර්තු මස 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභා පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම, තේරීම්භාර නිලධාරීන් කැඳවීම, ඇප මුදල් භාර ගැනීම ඇතුළු සියලු කටයුතුවලට අයත් ගැසට් නිවේදන නිකුත් කරනු ලැබුයේ කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනාගේම එකඟතාව හා අත්සන් සහිතව බවද ඊයේ (11දා) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා කියා සිටියේය.

අපි ඡන්දය පවත්වනවා - රාජ්‍ය පරිපාලන ලේකම් කොමිසමට කැඳවනවා - මැකොස කියයි

කොමිෂන් සභාවේ සාමාජිකයන් පස්දෙනා එක මතයක නැති බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද ඒකමතික අනුමැතිය සහිතව මැතිවරණයට අදාළ සියලු කටයුතු සිදුවන බවද ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඇප මුදල් තැන්පතු භාර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය මේ වනවිට ඉවත් කරගෙන ඇති බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මේ වනවිට අඛණ්ඩව මැතිවරණ රාජකාරි කටයුතු සිදුකරන බවද පුංචිහේවා මහතා සඳහන් කළේය.

හදිසියේම නිකුත් වූ චක්‍රලේඛය පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිෂන් සභාවට වහාම කැඳවා කරුණු විමසන බවත් ගතයුතු නීත්‍යානුකූල පියවරයන් ඉදිරියේදී ගන්නා බවත් සභාපතිවරයා කීය.

මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාවේදී තේරීම්භාර නිලධාරීන්ට නියෝග කිරීමට හෝ මැතිවරණය වළක්වා යම් පියවරක් ගත හැක්කේ අධිකරණයට පමණක් බවත් එම නිසා මැතිවරණ කොමිසම හැර වෙන කිසිවෙකුට මැතිවරණයකට අදාළ කිසිම පියවරක් ගත නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
රනිල් ධර්මසේන
ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment