අපි ජන වර්ග අනුව බලය බෙදන්නේ නෑ – ජ.වි.පෙ. විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත

251

පොදු සංකල්පය බලය බෙදන්න ඕන කියන එකයි

ජ.වි.පෙ. දේශපාලන වේදිකාව මේ දවස්වල උණුසුම් බව පේනවා. ඇත්තටම කුමක්ද සිදුවන්නෙ?

පළාත් පාලන මැතිවරණය ගැන තමයි අපේ අවධානය තියෙන්නෙ. ඒත් අපිට තාමත් සැකයි ආණ්ඩුව ඡන්දය කල් දාගන්න මොකක් හෝ කරයිද කියල. මැතිවරණ කොමිසම ඒ අයට තිබෙන බලතල අනුව තමයි මේ වැඩසටහන ඉදිරියට යන්නෙ. ඒ අය ඒක කරන්න ඕන. මොකද ඒක ඒ අයගෙ වගකීම. හැබැයි ජනතාව සමහර වෙලාවට හිතන් ඉන්නවා ඡන්දය තියන්නෙ ආණ්ඩුව කියල. එහෙමනෙ අපේ රටේ අදහස. හැබැයි ඡන්දය තියන්නෙ දැන් ආණ්ඩුව නෙමෙයි. ඡන්දය තියන්නෙ මැතිවරණ කොමිසම. ආණ්ඩුවට ඕන ඡන්දය කල් දාන්න. ආණ්ඩුව මේ වෙලාවේ ඡන්දයකට යනවා කියන්නෙ බෙල්ලෙ වැල දාගන්නවා වගේ වැඩක්.

නාමයෝජනා භාර ගැනීම දැන් ආරම්භ කර තිබෙන්නෙ. ආණ්ඩුවට හැකියාවක් තිබෙනවද ඡන්දය තවත් කල් දාන්න?

නාමයෝජනා භාර ගැනීම 18 සිට 21 දක්වා සිදුවෙන බව ප්‍රකාශ කරල තියෙන්නෙ. එතනින් පස්සෙ 21 වෙනිදාට ඡන්දය පවත්වන දිනයක් ප්‍රකාශයට පත් කරයි. ඒ අතරතුර අධිකරණයට ගිහින් යම් කිසි උත්සාහයක් ගනියි ඡන්දය අත්හිටුවන්න. ඒ කියන්නෙ මැතිවරණ කොමිසමට වාරණයක් ගන්න වගේ. නැත්නම් හදිසි නීතිය දාන්න ඕන. ඒවා තමයි එයාලගෙ උත්සාහය. හැබැයි ඉතින් ඒවා එයාලට වාසි වෙන්නෙ නැ. ඉතින් හොඳම දේ දැන් ඕක තියෙන එක.

ඡන්දයක් තිබ්බොත් වී මිලදී ගැනීමවත් කරන්න වෙන්නෙ නෑ කියල ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා?

වෙන මොකක්හරි එකක් නැද්ද දන්නෙ නෑ කියන්න. ඡන්දයට සල්ලි දුන්නොත් මන්ත්‍රීලට පඩි ගෙවන්න වෙන්නෙ නැ. විශ්‍රාම වැටුප් ගෙවන්න බෑ. ඔය ජනාධිපතිලට වගේ හිටපු අයට, හිටපු අයගෙ අම්මලට විශ්‍රාම වැටුප් ගෙවන්න වෙන්නෙ නෑ කියල කියන්නෙ නෑ කියල වගේ එකක් කියන්නෙ නැතිව මොකද දන්නෙ නෑ වී ගැන කියන්නෙ. ඒකෙන්ම අදහස් වෙනවා මේ මොකක්ද කියල. අපි යෝජනාවක් කරමු මේ ගෙවන ඒවා ඔක්කොම නතර කරල ඡන්දය තියන්න කියල. මටත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා මෙහෙම හිටියට. අපි ලෑස්තියි ඒකත් අත්හිටුවල මේ වැඩේ කරන්න.

ඔබට ලැබෙන විශ්‍රාම වැටුප යන්නෙ පක්ෂයට ද නැත්නම් පුද්ගලික පරිහරණයටද?

විශ්‍රාම වැටුප් කියන ඒවා කාටවත් පවරන්න බෑ රටේ නීතියට අනුව. පාර්ලිමේන්තුවේ තියෙන අපේ එකවුන්ට් එකට ඒක එන්නෙ. මම කරන්නෙ ඒක චෙක් පතකින් පක්ෂයට පවරනවා. ඒක මම ළඟ තියෙන්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුප කීයක් වගෙ ලැබෙනවාද?

මේක කිව්වට විශ්වාස කරන එකක් නෑ. මම නම් ඒක කීයක්ද කියල බලපු කාලයක් මතක නෑ. මොකද ඒක පොදු දේකට දීල තියෙද්දි ආයේ ඉතින් පෞද්ගලිකව ගණන් බල බල ඉන්න ඕන නෑනෙ.

ජාතික ජන බලවේගයට මේ වන විට සමාජයේ වැඩි අවධානයක් තියනවා කියල පේන්න තියෙනවා. මේ තියෙන්නෙ ඇත්ත ජනමතයක්ද? නැත්නම් ඡන්දයකට ගිහාම මේක වෙනස් වෙයිද? කොහොමද මේක ඔබලා කියවාගෙන තියෙන්නෙ?

සරල උදාහරණයක් කියන්නම්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර ඡන්දය අපි දිනුවා. ඒ දිනුවෙ නිකන් නෙවෙයි. ස.ජ.බ. නලීන්ලා, එක්සත් ජාතික පක්ෂයේ අය, ජොන්ස්ටන්ලා ඇවිල්ලා ලොකු තරගයක් දුන්නා. අපි ඇත්තටම ඒක ජාතික වශයෙන් සැලකිල්ලට අරන් කරපු මැතිවරණයක් නෙමෙයි. සමුපකාර ඡන්ද අපි පක්ෂයක් වශයෙන් මුදුනින් මැදිහත් වෙලා කරන ඡන්දයක් නෙමෙයි. ඒ ඒ ආසනවල අය මැදිහත්වෙලා මේ වැඩේ කරනවා. ඒ කරපු තැන්වල ජයග්‍රහණ ගොඩක් තියෙනවා. අනිත් ඔක්කොම තැන්වල එකතු කරල ගත්තත් අපේ ජයග්‍රහණ වැඩියි. ඒ ඡන්ද දායකයෝ අපි මීට කලින් අපේ කියල හදාගත්ත එය නෙවෙයි. ඒකෙන් පොඩි අදහසක් තියෙනවා බිම් මට්ටම වෙනස් වීමක් තියෙනවා කියල. ඒ වගේම අපේ දැන් කොට්ඨාස සභා කියල වැඩසටහනක් යනවා. ඒක ගොඩක් සාර්ථකයි. ඒවගේ සභාපති, ලේකම් භාණ්ඩාගාරික වගේ තනතුරු සෑහෙන ප්‍රමාණයක් මීට කලින් පොහොට්ටුවට, ශ්‍රී ලංකා එකට, සජබට සම්බන්ධ වෙලා වැඩ කරපු අය.

ඒ අයගෙ පැටිකිරිය බලල ද සම්බන්ධ කරගත්තෙ?

ගමේ ඉන්න ශ්‍රී. ල. නි. ප. වේවා එක්සත් ජාතික පක්ෂය වේවා ඒ අය ඒවයේ ශාඛා සමිතිවල සභාපතිල ලේකම්ලා. ඒ මිනිස්සු මේ රටට විරුද්ධව කරපු දෙයක් නෑ. ඒ මිනිස්සුත් වැඩ කරේ නායකයෝ මේ රටට හොඳ දෙයක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ අයවත් රැවට්ටුව එකනෙ වුණේ. ඔබ කලින් ඇහුව විදියට මීට කලිනුත් මේ වගේ තිබිල තියෙනවා. හැබැයි ඒ කලින් තිබුණ සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නෙ. ඒක මුළුමනින්ම අර්බුදයකට ගිහින් තියෙන්නෙ. ඒකත් එක්ක විශ්වාසය බිඳ වැටීම් එක්ක මිනිස්සු ජීවත් වෙන්නෙ. ගෝඨාභය එන වෙලාවෙත් ඒක තිබ්බා. හැබැයි එයා දේශපාලනය කරපු කෙනෙකුත් නෙවෙයි, වෙනම හැඩයක් තියෙන කෙනෙක් කියල කිව්වාම එයා මොනවා හරි කරයි කියන බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නා. ඒවා බිඳවැටුණනෙ. දැන් බලාපොරොත්තුවක් ඉතුරුවෙලා නෑ. ඇත්තම තත්ත්වය ගත්තොත් අපිට සියයට තුනයි නෙ ගිය වතාවේ. අපි කරේ මුළු සමාජයක්ම එක පැත්තකට ගහගෙන යද්දි අමාරුවෙන් අල්ලගෙන ඉන්න එක. හැබැයි දැන් අපි කාලයක් හොඳ දෙයක් අල්ලන් හිටියා කියන මතයකුත් ගොඩනැගිල තියෙනවා. ඒත් එක්කම අනිත් අය ගැන කලකිරීමකුත් තියෙනවා. මේ සාධක දෙකත් එක්ක රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක වෙනසක් වෙන්න ඕන.

ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් වැටුප් ගන්නෙ නැතිව වැඩ කරනවා කියල කාලයක ඉඳන් ප්‍රකාශ කරනවා. ජාතික ජනබලවේගයේ නියෝජිතයොත් ඉස්සරහට වැඩ කරන්නෙ එහෙමද?

උදාහරණයකින් කියන්නම්. අපේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය වැටුප් ගන්නෙ නෑ. ඒක එයා කරන වැඩක්. හැබැයි අපි පක්ෂය පැත්තෙන් කොයි වෙලාවකවත් යෝජනා කළේ නැ වැටුප් නොගෙන ඉන්න කියල. මොකද එතුමිය විශ්වවිද්‍යාලයෙන් ලක්ෂ තුන හතරක වැටුපක් අරන් පහසුකම් ඇති ජීවිතයක් ගත කරපු කෙනෙක්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉඳන් ඔයගොල්ලො ඔක්කොම කැප කිරීම් කරද්දි මම කොහොමද ගන්නෙ තැන ඉඳන් පොදු අරමුදලට වැටුප ලබා දෙනවා. මේකෙ පදනම මේකයි අපි දේශපාලනය තමන්ගෙ ජීවන පැවැත්ම වෙනුවෙන් කරන වෘත්තියක් විදියට සලකන්නෙ නැති ව්‍යාපාරයක්.

ස්වෙච්ඡාවෙන් වැඩ කරන්නම ජනතා විමුක්ති පෙරමුණට එන ජනතා නියෝජිතයෝ සූදානම්ද?

එහෙම කරන්න සූදානම් අයනෙ එන්නෙ. දැන් උනත් වේදිකාවේ ගත්තොත් ඔක්කෝම ගත්තොත් ඇවිත් ඉන්නෙ ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න. අපි තාම ඒක පවත්වාගෙන යනවා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා ඔබලාට සම්බන්ධ කර නොගන්නෙ ඇයි?

ඇත්තටම එතුමගෙන් තමා ස.ජ.බ. ට පොඩි හරි වෙනම හැඩක් නැවුම් බවක් එකතු වෙලා තියෙන්නෙ. අනිත් ඔක්කොම අර පරණ සම්ප්‍රදායික මේ රටේ ඇතිවෙච්ච ජඩ දේශපාලනයේ හැඩයේම අය තමයි. එතුමගෙ විතරයි පොඩි වෙනසක් තිබ්බෙ. ඒත් එතුමා කියනවනෙ කැබ් එකක් මදි මන්ත්‍රීවරයකුට ඊට වඩා දෙයක් ඕන. ජේ.වී.පී. එකේ අය ඩබල් කැබ් සීමාවෙන් එහාට යන්නෙ නෑ. ඒක හරියන්නෙ නෑ කියල. අපි කියන්නෙ රට ටිකක් දියුණු වුණාට පස්සෙ නම් එහෙම ගත්තට කමක් නෑ. අපි බලන්නෙ දැන් තියෙන තත්ත්වය අනුවනෙ. එතුමා සම්බන්ධ කර ගන්නවාද නැද්ද කියන එකට මට තනියෙන් උත්තරයක් දෙන්න විදියක් නෑ. එතුමත් එක්ක අපි තාම එහෙම සාකච්ඡාවක් වෙලත් නෑ. එහෙම එකක් තියෙනව නම් අපේ ජාතික ජන බලවේගයේ විධායක සභාව තියනවනෙ. ඒකෙ කතා කරල බලන්න පුළුවන්.

ජාතික ජන බලවේගය නිතර කියනවා හොරකම් නවත්වනවා. හොරකම් කරපු සල්ලි පවරා ගන්නවා කියල. එහෙම කරල විතරක් රටක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්ද?

බෑ… හොරකම් වංචා, දූෂණ නතර කරපු පමණින් අපිට රටක් විදියට ඉස්සරහට යන්න බෑ. හැබැයි හොරකම්, වංචා දූෂණ නතර කිරීම අත්‍යවශ්‍යයි. ඊට පස්සෙ මේ වැහිල තියෙන ඩොලර් මාවත් ටික විවෘත කරගන්න ඕන ඔක්කොටම කලින්.

රාජ්‍ය සේවයේ දේශපාලන පත්වීම් බහුතරයක් තිබෙනවා. ජ.වි.පෙ. ආණ්ඩුවකදි මේ අය ඔක්කොම ඉවත් කරනවද?

දේශපාලන පත්වීම් ගොඩක් තියෙන්නෙ අනියම් කම්කරු, තාවකාලික වගේ නම්වලින් හඳුන්වන අය. ඒ වගේ අර්ධ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවට දාන අය සභාපතිල වගේ අය දේශපාලන පත්වීම්. එතකොට උඩමයි අඩියෙන්මයි තමයි දේශපාලනයෙන් රස්සාවලට දාල තියෙන්නෙ. මේකෙ උඩම කොටස පාලනයක් මාරු වෙද්දි නිකන්ම ගැලවිලා යනවා. හැබැයි අර අඩියෙන්ම ඉන්න අය අපිට එකපාරට විසි කරන්න බෑ. ඒ ඉන්නෙ අහිංසක මිනිස්සු. අපිට බලන්න වෙනවා ඒ අය පලදායි වැඩකට සම්බන්ධ කරගන්න.

පළාත් සභාවලට එදා ජ.වි.පෙ. විරුද්ධ වුණා. දැන් පළාත් සභා ගැන ජාතික ජන බලවේගයේ මතය මොකක්ද ?

පොදු සංකල්පය බලය බෙදන්න ඕන. මූලික වශයෙන් අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා පරමාධිපත්‍ය බලය ජනතාව සතුයි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය භාර දීල තියෙන්නෙ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියල. මේ තුනම ජනතාවගේ බලය. ඔය ආයතන තුනම හරියට ඒක මතයක තියාගෙන නෑ. ඔය බලය බෙදනවා කියන්නෙ එම බලය මිනිස්සුන්ට දෙන්න ඕන. පළාත් ඒකක, දිස්ත්‍රික් ඒකක, ප්‍රාදේශීය සභා ගම් සභා වගේ බලය බෙදන්න ඕන. ගමකටත් බලය දෙන්න ඕන. ඒක දෙන්න ඕන ව්‍යවස්ථාවෙන්. ඒකනෙ අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන්නෙ. බලය බෙදන එක නරක එකක් නෙවෙයි. හැබැයි අපි ජන වර්ගවලට කුලවලට බලය බෙදන්නෙ නෑ. ඒවා කිසිසේත් රට කැඩෙන වෙන් වෙන ඒවා නෙවෙයි.

උගත් අය මෙන්ම මේ රටේ බොහෝ දෙනෙක් රට හැර යමින් ඉන්නවා. මේ ගැන ඔබට යමක් කිව හැකිද?

යන්න එපා කියන්න විදියක් නෑ. ඉඳල මොකද කරන්නෙ. දුප්පත්කම දරිද්‍රතාවය වැඩි වෙලා කර කියාගන්න විදියක් නැතිවනෙ මේ යන්නෙ. අපි කියන්නෙ ඒ ගිය අය ඡන්දයක් තියෙන වෙලාවකදි එන්න. අර අතින් වියදම් කරගෙන ගෝඨාට දෙන්න ආවේ. අපි කියන්නෙ මේ දේශපාලනය වෙනස් කරන ඡන්දයකදි එන්න. මේක වෙනසක් කරන්න ඡන්දය පාවිච්චි කරන්න. ඊට පස්සෙ අලුත් බලයක් ගොඩනැගුණාම අපි වැඩක් හදාගමු.

සමහරු කියනවා අනුර කුමාරලගේ ලාල් කාන්තලගෙ ළමයි ඉන්නෙ එංගලන්තයේ. ඒත් උඹලගෙ දරුවෝ තමයි මේ උද්ඝෝෂණවලට පිකට්වලට යවන්නෙ කියල?

මම දන්නෙ නැති මගේ ළමයි ඉන්නවාද දන්නෙ නෑ. එහෙම කියන අයට කියන්න ඕන ඒක පොඩ්ඩක් හොයල බලන්න කියල. මොකද මට ඉන්නෙ එක දුවයි එයාල මෙහෙ ඉන්නවා.

මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව දිවයින ඔන්ලයින් යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකිය.

සකස් කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment