‘අපි තමයි අපිව දන්නේ’ ඩමිය ගිය දුරක්

497

මාධවී ඇන්තනි කලා පවුලකින් පැවැත එන දක්ෂ ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. මේ දිනවල කවුරුත් ඇය ගැන කතා බහ කරන්නේ ඇගේ නවතම ගීතය ”අපි තමයි අපිව දන්නේ’’ නිසාවෙන්.


 * මාධවී, ඔබේ අලූත්ම ගීතය මේ දවස්වල බොහෝ ඇය ගේ දෙතොලතර මිමිනෙන ගීයක් බවට පත්වෙලා?

 ඇත්තට ම මේ අවුරුද්දේ මගේ පළමු වෙනි කලා කටයුත්ත මේක කිව්වොත් හරි. අනිත් අතට මේ ගීතය මගේ ජීවිතේ ම සන්ධිස්ථානයක් වෙනවා. මොකද මගේ පළමු පේ‍්‍රම ගීතය මේක. මේ ගීතයේ පද රචනය සහ රූප රචනා අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින්. ඇත්තෙන් ම මේක කසුන් මං වෙනුවෙන් ලියපු ගීතයක් නෙවෙයි. ඒත් එයා මේක මට දීපුවහ ම මට මේ පද රචනයට ආස හිතුණා. කසුනුත් කිව්වා ඔහු කැමතියි මම මේ ගීතය ගයනව නම් කියලා. ඔහු හැමදා ම කියන්නේ නිර්මාණ කියන්නේ අපේ දරුවෝ කියලා. ඒවාට නිසි ගෞරවය ආරක්ෂාව ලබාදෙන එක අපේ වගකීමක් කියලා. මම හිතනවා මම නොවෙයි වෙනත් ගායිකාවක් ගැයුවත් අපි තමයි අපිව දන්නේ ගීතය හිට් එකක් වෙනවා කියලා. මොකද ඒ ගීතයේ ජනප‍්‍රසාදයට හේතුව ඒ ළයාදර වචන. ඉතිං අපි දෙන්නා එක්වෙලා තවත් බොහෝ නිර්මාණ බිහි කරන්න සූදානමින් ඉන්නවා. අනිත් දේ කසුන් ගේ මුල්ම කෙටි කතා පොතේ කතාවලට අදාළව චිත‍්‍ර ඇන්දේ මම. අපි ඒක මේ වසරේ දී නිකුත් කරන්න සූදානමින් ඉන්නවා.

 * කොහොම ද මේ ගීතයට ලැබෙන රසික ප‍්‍රතිචාර?

 බාල මහලූ තරුණ හැම පරම්පරාවක් ම ඉතාම කෙටි කාලයකින් ඉතා ම ආදරෙන් මේ ගීය වැළඳගෙන තිබෙනවා. මේක අකාලික ගීයක් බවයි බොහෝදෙනා ගේ මතය. සමාජ මාධ්‍යයේ ලක්ෂ 5ට වැඩි දෙනක් ගීතය නරඹා තිබුණත් තාම එක ඩිස්ලයික් එකක්වත් මෙයට ලැබී නැහැ. ඒ ගැන මමත් කසුනුත් නිහතමානීව සතුටු වෙනවා. පේ‍්‍රමයේ අරුමැසිය ගැන ළයාදර මානයකින් ඉදිරිපත් කෙරෙන ”අපි තමයි අපිව දන්නේ’’ සහෘද පේ‍්‍රක්ෂකයන්ට නවමු රෝමාන්තික අත්දැකීමක් වේවි. ලංකාවෙ ප‍්‍රසිද්ධියේ ගහ මරාගන්න, හොරකම් කරන්න, ස්ත‍්‍රි, ළමා අපචාර කරන්න පුළුවන් උනත්, ප‍්‍රසිද්ධියේ ආදරේ කරන්න තහනම් රටක්. ඒ නිසා වෙන්න ඇති බොහෝදෙනා

 ”අපි තමයි අපිව දන්නේ,

 ලෝකය නෑ එය දන්නේ,

 බාධක නම් තව එන්නේ,

 අපි ආදරයෙන් ඉන්නේ’ කියන පද පෙලට සහෘද වුණේ. මොකද අනුන් විනිශ්චය කරමින් දුක්බර ජීවිත ගතකරන මේ දුප්පත් සමාජයේ බහුතරය සමාජ භීතිකාව නිසා හොරෙන් ආදරේ කරන අය වෙන්න ඇති. කසුන් ගේ පද සහ මේ රූප රචනාවේ ඉන්ද්‍රජාලික තේමාව එක රැුයින් රසිකයන් වැළඳ ගත්තේ ඒක නිසා වෙන්නැති.

 * ගීතයේ රූප රචනාව ගැනත් සඳහන් කරමු?

 මෙහි සංගීතය හේමක විජේරත්න ගේ. රූප රචනාවට මාත් සමග සේවියර් කනිෂ්ක තමයි රංගනය මුසුකරන්නේ. සාමාන්‍ය මහා පොළොවේ ඉන්න පෙම්වතාව ඔහු හොඳින් නිරූපණය කළා කියලා මං හිතනවා. මෙහි කැමරාකරණය සජිත වීරප්පෙරුම. ඒ වගේ ම කලා අධ්‍යක්ෂණය මාලින්ද බුලත්සිංහල. වේශ නිරූපණය සිදුකළේ තරිඳු පතිරත්න. සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනාදරයට පත්ව තිබෙන මේ ගීතයේ රූප රචනාව සිනමාත්මක ප‍්‍රවේශයක් සනිටුහන් කරනවා කියලා බොහෝ දෙනෙක් අදහස් ප‍්‍රකාශ කළා, ගීතය සහ රූප රචනය ගැන අපිත් එක්ක කතා කරනකොට. අනිත් එක මට අප්පච්චි ගේ රුව තියෙන නිසා පිරිමි පෙනුමක් තියෙනවා කියලා මම අවලස්සන බව හිතපු අය හිටිය ලූ. ඒ අයටත් මාව ලස්සනයි කියලා හිතෙන විදිහට ස්ත‍්‍රි ලාලිත්‍ය හොඳින් ම මතුවෙන ආකාරයෙන් කසුන් මගේ පෙනුම කැප්චර් කරලා තියෙනවා. කවදාවත් කිසිම නිර්මාණයක මගේ රූ සොබවක් මම එහෙම දැකලා තිබුණෙත් නෑ. කසුන් කියන්නේ එයා මාව දකින විදිහටයි පෙන්නුවේ කියලා. ඒ නිසා ඒ ගෞරවයත් කසුන්ට හිමි වෙන්න ඕන.

 *”අපි තමයි අපිව දන්නේ’’ ගීතය ගැන ඔබට ලැබුණ විචාර මත මොනවා ද?

 මෑතක වැඩි ම ගීත විචාර ලියවුණු ගීතයත් මෙය විය හැකි යි. ”අපි තමයි අපිව දන්නේ’’ ගීතය අපිට අපි ගැන, ආදරය ගැන, සන්සුන් භාවනාවක් සේ රසවිඳින්නට හැකි බවයි සහෘද මතය. මෑතක කිසි ම ගීතයකට නොලියවුණු තරම් විද්වතුන් ගේ රසවතුන් ගේ ලිඛිත විචාරයට ”අපි තමයි අපිව දන්නේ’’ පත්වුණා ෆෙස් බුක් හරහා.

 * මේ, මෙම ගීතයේ පළමු ගැයුම ද?

 ඔව්. මොකද මේ ඔබ අහන්නේ මේ ගීතයේ ඩමිය. මං මුල් වරට ඒක ගායනා කළා ට පස්සෙ මම හිතුවා ඒ නැවුම් හැඟීම්, ගායනය අනුකරණය කරලා යළි ගැයුවත්, මට ඒ විදිහට ෆීල් කරන්න බැරිවෙයි කියලා.

 මේ ගීතයේ තනුව හදලා හේමක මට අහන්න දුන්න අවස්ථාවේ දී මං කොච්චර ආසක්ත වුණා ද කියනවා නම් මේ තනුවට සූදානමකින් තොරව ම මං දවසක් හේමකගෙන් ඇහුවා මං අද එන්න ද පොඞ්ඩක් ඩමි එක කියලා බලන්න කියලා. හේමක එවෙලේ මට එන්න කිව්වම මං ගිහින් තනුව අහමින් මට දැනෙන විදිහට මං ඒ ගීතය ගායනා කළා. ඒ එදා ගැයූ ගීතය තමයි මේ අහන්නේ. නැවත මං ඒ ගීය ගැයුවේ නැහැ. ඉතිං මේ ඩමි එක තමයි දැන් ඇහෙන්නේ.

 ඔබේ හඬ මේ ගීතයට මෙතරම් හොඳින් ගැළපේ යැයි ඔබ සිතුවා ද?

 අපි තමයි අපිව දන්නේ මේ තරම් කෙටි කාලයකින් මේ තරම් රසික ආදරය දිනාගෙන ඒ විදිහට හදවත්වලට සමීප වෙලා තියෙන්නෙ ම මගේ කට හඬ ගැළපෙන්නෙ ම පේ‍්‍රම ගීත නමැති ශානරයට කියලා මං විශ්වාස කරනවා. ඉතිං ඒ හින්දා අපි තමයි අපිව දන්නේ මට ගොඩක් විශේෂයි. මගේ හිතේ ආසාවක් තිබුණා මේ විදිහේ ගීතයක් ගයන්න. දවසක් අපි මේ විදිහේ ගීත ගැන කතා කර කර ඉන්න වෙලාවක කසුන් ඔහු ගේ ගීත ගොන්නේ ඔහු ලියා තිබුණු මේ වචන ටික මට එව්වා. ඒක දැකලා මම ඒ වෙලාවේ තමයි තීරණය කළේ. ඉතිං ඒ වෙලාවේ මං එයාගෙන් ඉල්ලූවා මේ වචන ටික, පද ටික මට දෙන්න කියලා. මට ඒ වචන ටික දැක්කම හරි ලෝබ හිතුණා. මං කිව්වා අනේ කසුන් මට මේක දෙන්නකෝ අපි සින්දුවක් කරමු කියලා. එවෙලේ ඔහු බොහොම කැමැත්තෙන් මට ඒ පද රචනය දුන්නා.

 මේ දවස්වල මොනවාද ඔබේ වෙනත් කලා කටයුතු?

 ප‍්‍රධාන චරිත නිරූපණයෙන් අලූත් ටෙලිනාට්‍ය නිර්මාණ දෙකක් එක්කත් තවත් කලා නිර්මාණ කිහිපයක් එක්කත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා මේ ටිකේ. නමුත් පහුගිය දවස්වල නම් ගීතය වෙනුවෙන් තමයි වෙහෙසුණේ.

 ඉදිරියට එන ඔබේ අනෙක් ගීත නිර්මාණ මොනවා ද?

 ටිකක් වේග රිද්මයේ ගීතයකට සූදානමින් ඉන්නවා. ඊට අමතරව තවත් කසුන්ම මට ලියූ ගීත හතරකුත් ඇතුළුව ගීත කිහිපයක් තියෙනවා කරන්න සූදානමින්. බලාපොරොත්තු වෙනවා රූප රචනයක් සමග ම ඒ ගීත නිකුත් කරන්න.


 යුගාන්ති යශෝධරා

advertistmentadvertistment
advertistmentadvertistment