අපි දන්නේ 5ක් වුනාට කොවිඩ් එන්නත් වර්ග 11 ක් හදලා

2996

නන්දජීව සූරියබණ්ඩාර
ඡායාරූප විස්තර

කොවිඞ් 19 වසංගතයට ඒ සඳහා වන එන්නතක් හැරුණු කොට වෙනත් විසඳුමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ථීරසාරව කියා සිටියේ වසංගතයේ මුල් අවධියේදීමය. ඊට සමගාමීව දියුණු වෛද්‍ය පර්යේෂණ හැකියාවන්ගෙන් යුක්ත රටවල් බොහෝ ගණනක් මෙම වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමේ කටයුත්තට අවතීර්ණව සිටින අතර මේ වන විට සාර්ථක ලෙස අත්හදා බලන ලද එන්නත් වර්ග 11 ක් පමණ ලොව පුරා නිල වශයෙන් භාවිතයට එක්කර තිබේ. එසේ වුවත් අප රට තුළ පොදු ජනයා තවමත් දැනුවත්ව සිටින්නේ ඉන් එන්නත් කිහිපයක් සම්බන්ධයෙන් පමණක් බව පෙනෙන්නට තිබේ. එසේ හෙයින් කොවිඞ් 19 වෛරසයට එරෙහිව ලොව පුරා භාවිතයට ගැනෙන එන්නත් වර්ග පිළිබඳව කථාබහ කිරීමට මෙවර අපි අදහස් කළෙමු. කෙසේ වෙතත් මෙම ලිපිය වෛද්‍ය විද්‍යාත්මක විග‍්‍රහයක් නොවන බව සැලකුව මනාය.


* ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා

ඇස්ට‍්‍රාසෙනෙකා නමින් හැඳින්වෙන කොවිඞ් 19 එන්නත අපට වඩාත් හුරු පුරුදු මෙන්ම ශ‍්‍රී ලංකාවට පළමුවෙන්ම පැමිණි එන්නත ලෙස ද හැඳින්විය හැක. එය බි‍්‍රතාන්‍ය – ස්වීඩන් හවුල් හිමිකාරීත්වයක් සහිත ඇස්ට‍්‍රාසෙනෙකා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි. 1999 වසරේ අපේ‍්‍රල් 6 වන දින ආරම්භ කරන ලද ඇස්ට‍්‍රාසෙනෙකා සමාගමෙහි මූලස්ථානය එක්සත් රාජධානියේ කේම්බි‍්‍රජ්හි පිහිටා තිබෙන අතර එය එක්සත් රාජධානියේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගමකි. ඇස්ට‍්‍රාසෙනෙකා සමග ඒකාබද්ධව කොවිඞ් 19 සඳහා එන්නත සංවර්ධනය කරන ලද ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පවතින පර්යේෂණ විශ්වවිද්‍යාලය මෙන්ම අඛණ්ඩව පැවැත එන ලොව දෙවැනි පැරණිතම විශ්වවිද්‍යාලය ලෙසද සැලකේ.

ඇස්ට‍්‍රාසෙනෙකා සමාගම ඔක්ස්ෆර්ඞ් සරසවිය සමග ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත පළමුව AZD 1222 යන කේතයෙන් හැඳින්වුණ අතර එය දැන් හැඳින්වෙන්නේ ”වැක්ස්වේරියා” යන නමිනි. ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ ”සේරම් ඉන්ස්ටිටියුට් ආයතනය” මෙම එන්නත දේශීයව නිපදවීමේ බලපත‍්‍රයක් ඇස්ට‍්‍රාසෙනිකා වෙතින් ලබාගන්්නා අතර ඒ අනුව ඉන්දියාවේදී නිපදවෙන එන්නත ”කොවිෂීල්ඞ්” යන වෙළඳ නාමයෙන් වෙළඳපළට නිකුත් කෙරේ. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත මාත‍්‍රා දෙකකින් ලබාගත යුතු වන අතර එහි පළමු මාත‍්‍රාව ලබාදීමෙන් දින 22 කට පසු දෙවන මාත‍්‍රාව ලබාදිය යුතු බව නිෂ්පාදකයාගේ නිර්දේශයයි. පළමු මාත‍්‍රාව ලබාගැනීමෙන් කොවිඞ් 19 වෛරසයට එරෙහි 76% ක ප‍්‍රතිශක්තියක් ඇති කරන අතර දෙවන මාත‍්‍රාව ලබාගැනීමෙන් අනතුරුව 81% ප‍්‍රතිශක්තියක් ලැබෙන බව සායනිකව තහවුරු කර ඇත.

ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ”විරාල් වෙක්ටර්” හෙවත් ජානමය වශයෙන් වෙනස් කරන ලද වෛරස ඇතුළත් එන්නත් කාණ්ඩයට අයත් වන එන්නතකි. මෙහිදී චිම්පන්සීන් තුළ සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිකරන සහ සාර්ස් කොව්-2 වෛරසයේ ජානමය ලක්‍ෂණ අඩංගු වන ජානමය වශයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද වෛරසයක් මිනිස් ශරීරයට ඇතුළු කරන අතර එමගින් එන්නත ලබාගත් තැනැත්තාගේ ශරීරය තුළ වෛරසයට එරෙහිව සටන් කළ හැකි ”ස්පයික් ප්‍රෝටීන” නිපදවනු ලබයි. ඉන් අනතුරුව සාර්ස් කොව්-2 වෛරසය ශරීරයට ආසාදනය වුවහොත් ඒවාට එරෙහිව සටන් කිරීමට මෙම ප‍්‍රතිදේහවලට හැකියාව ඇත. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතෙහි විකිණුම් මිල ඇමෙරිකානු ඩොලර් 4 ක් පමණ වන අතර එය ලොව ලාභදායීම කොවිඞ් 19 එන්නතක් ලෙස සැලකේ. සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා පරාසයක වන උෂ්ණත්වයේ සාමාන්‍ය ශීතකරණයක මාස 6 ක කාලයක් ගබඩා කර තබාගත හැකි වීම මෙම එන්නත භාවිතයේ ඇති විශාලතම වාසිය ලෙස සැලකිය හැකිය. අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් ලබාදෙන මෙම එන්නතෙහි අතුරු ආබාධ ලෙස උණ, හිසරදය, ඔක්කාරය, හන්දිපත් රුදාව, එන්නත් කළ ස්ථානයේ කැක්කුම හෝ මද ඉදිමීම ආදී ලක්‍ෂණ මතුවිය හැකි අතර කලාතුරකින් ලේ කැටි ගැසීමේ අවස්ථා ඇතිවූ බව වාර්තා වී තිබේ. කැනඩාව, නෝර්වේ, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ ලේ කැටි ගැසීමේ තත්ත්වයන් වාර්තා වීම හේතුවෙන් ඇතිවූ අනතුරුදායක තත්ත්වය සලකමිනි.


* සයිනොෆාම්

”සයිනොෆාම්” ලෙස අප බොහෝ දෙනා හැඳිනගත්ත ද මෙම එන්නතෙහි සැබෑ නාමය BBIBP-CorV ය. චීන රජයට අයත් ”චීන ජාතික ඖෂධ නිෂ්පාදන සමූහ සංස්ථාව” හැඳින්වෙන කෙටි නාමය සයිනොෆාම් වන අතර එම ආයතනය විසින් කොවිඞ් 19 වෛරසයට එරෙහිව මෙම එන්නත නිෂ්පාදනය කර තිබේ. සයිනොෆාම් ආයතනය විසින් කොවිඞ් 19 එරෙහිව එන්නත් දෙකක් නිෂ්පාදනය කර ඇති අතර අනෙක් එන්නත ”සයිනොවැක්” යනුවෙන් හැඳින්වේ. සයිනොෆාම් එන්නත ආර්ජන්ටිනාව, බහරේන්, ඊජිප්තුව, මොරොක්කෝව, පාකිස්ථානය, පේරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල 60000 කගේ පමණ සහභාගීත්වයෙන් 3 වන අදියරේ සායනික පරීක්‍ෂණ අවසන් කර තිබේ.

සයිනෝෆාම් එන්නත සඳහා භාවිතා කර ඇත්තේ අක‍්‍රීය කරන ලද සාර්ස් කොව් 2 වෛරස් කාණ්ඩයකි. එමගින් බරපතල රෝග අවදානමක් නොමැතිව ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය වෛරසයට නිරාවරණය කිරීම සිදුකරන අතර ඒ සඳහා අක‍්‍රිය වෛරස් අංශු භාවිතා කරයි. මෙම එන්නතෙහි එක් මාත‍්‍රාවක විකිණුම් මිල ඇමෙරීකානු ඩොලර් 30 ලෙස දැක්වෙන අතර එය ඇස්ට‍්‍රාසෙනිකා මෙන් සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා පරාසයක වන සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකිය. එන්නත මාත‍්‍රා දෙකකින් යුක්තව ලබාගැනීම අනිවාර්ය වන අතර පළමු මාත‍්‍රාවෙන් දින 21 කට පසු දෙවන මාත‍්‍රාව ලබාගත යුතුය. මෙම එන්නතෙහි කාර්යක්‍ෂමතා අනුපාතය 79% බව සැලකේ. මෙම එන්නත අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් ලබාදෙන අතර දැනටමත් ශ‍්‍රී ලංකාවේ ජනතාවට ලබාදෙමින් තිබෙන එන්නතකි.

අපි දන්නේ 5ක් වුනාට කොවිඩ් එන්නත් වර්ග 11 ක් හදලා

* සයිනොවැක් (කොරොනාවැක්)

”චීන ජාතික ඖෂධ නිෂ්පාදන සමූහ සංස්ථාව” මගින් නිෂ්පාදනය කෙරෙන දෙවැනි එන්නත වන්නේ ”කොරොනාවැක්” හෙවත් ”සයිනොවැක්ය.” මෙය ද සයිනොෆාම් වර්ගයේම අක‍්‍රීය කාණ්ඩයට අයත් එන්නතකි. එන්නත් වර්ග දෙකම බොහෝ කාරණා සම්බන්ධයෙන් එකිනෙකට සමාන වේ. සයිනොවැක් ඉන්දුනීසියාව, බ‍්‍රසීලය සහ තූර්කිය යන රටවල් පදනම් කරගත් සායනික පර්යේෂණ මත 50% සිට 80% දක්වා වන පරාසයක කාර්යක්‍ෂමතාවයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම චීන එන්නත සඳහා හදිසි භාවිතයට පමණක් මේ දක්වා අවසර ලබාදී ඇති අතර පූර්ණ අනුමැතිය ඉක්මනින් ලැබෙනු ඇති බව නිෂ්පාදකයා විශ්වාසය පළ කරයි. මෙම එන්නත අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් ලබාදේ.

* ස්පුට්නික් වී

කොවිඞ් 19 වෛරසය සඳහා ප‍්‍රතිචාර දැක්වීමට රුසියානු ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ සමාගමක් වන ”වසංගත රෝග සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමාලියා පර්යේෂණ ආයතනය” මගින් නිෂ්පාදනය කරන ලද එන්නත හැඳින්වෙන්නේ ”ස්පුට්නික් වී” යනුවෙනි. මෙය ”ගැම්-කොවිඞ් වැක්” යනුවෙන්ද හැඳින්වේ. මෙම රුසියානු එන්නත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා අයත් වන ”විරාල් වෙක්ටර්” හෙවත් වෛරස් දෛශික එන්නත් කාණ්ඩයට අයත්වන එන්නතකි. මෙහි පළමු හා දෙවන මාත‍්‍රාවන් දින 21 ක පරතරයකින් යුතුව ලබාගත යුතු වන නමුත් අනෙකුත් එන්නත්වලට වඩා වෙනස් ක‍්‍රමවේදයක් ඔවුන් දෙවන මාත‍්‍රාව වෙනුවෙන් භාවිතා කරයි. එනම් ස්පුට්නික් වී හි දෙවන මාත‍්‍රාව ලෙස ලබාගත යුත්තේ පළමු මාත‍්‍රාවට වඩා වෙනස් අනුවාදනයක්ය. මෙමගින් වඩා ඉහළ ප‍්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව විශ්වාස කෙරේ. ස්පුට්නික් එන්නත වියළි ස්වරූපයෙන් සෙල්සියස් අංශක 2-8 අතර සාමාන්‍ය ශීතකරණයක ගබඩා කිරීමට හැකිවන අතර ද්‍රව ස්වරූපයෙන් ගබඩා කරන විට සෙල්සියස් අංශක සෘණ 18.5 උෂ්ණත්වයක ගබඩා කළ යුතුය. මේ නිසා භාවිතයේ සහ ප‍්‍රවාහනයේ පහසුව සලසයි. නිෂ්පාදන සමාගමේ වාර්තාවන්ට අනුව මෙම එන්නත 97.6% ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව කියැවේ.ලෝක වෙළෙඳපළේ මෙම එන්නතෙහි සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 10 ක් පමණ වේ. ප‍්‍රතිඵලදායක බව සහ මිල සම්බන්ධයෙන් සලකා බැලීමේදී ලොව වඩාත්ම සාර්ථක එන්නතක් ලෙස ස්පුට්නික් වී හැඳින්විය හැක. මෙම එන්නත අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් ලබාදේ.
 

අපි දන්නේ 5ක් වුනාට කොවිඩ් එන්නත් වර්ග 11 ක් හදලා

* ජොන්සන් ඇන්ඞ් ජොන්සන් (ජැන්සන්)

ඇමෙරිකානු බහුජාතික සමාගමක් වන ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සමාගමේ ජැන්සන් ඖෂධ නිෂ්පාදන අංශය විසින් නිෂ්පාදනය කර ඇති ජොන්සන් ඇන්ඞ් ජොන්සන් එන්නත මිල අධික ඇමෙරිකානු එන්නත් වන ෆයිසර් සහ මොඬේනා එන්නත් සඳහා ලාභදායී විකල්පයක් ලෙස සැලකේ. ජැන්සන් නමින්ද හැඳින්වෙන මෙම එන්නතෙහි ඵලදායීතා අනුපාතය 66% ක අගයක් ගන්නා අතර එය සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා පරාසයක වන උෂ්ණත්වයේ සාමාන්‍ය ශීතකරණයක මාස තුනක කාලයක් ගබඩා කර තබාගත හැකිය. ජොන්සන් ඇන්ඞ් ජොන්සන් එන්නත විරාල් වෙක්ටර් කාණ්ඩයට අයත් එන්නතක් වන අතර මේ වන විට භාවිතා වන එන්නත් අතුරෙන් එක් මාත‍්‍රාවක් පමණක් ලබාදිය හැකි එන්නත් තුනෙන් එකක් ලෙස සැලකේ. (අනෙත් දෙක වන්නේ ස්පුට්නික් ලයිට් සහ කොන්විඬේෂියා එන්නත්ය.) මෙම එන්නත ද අන් සියලූ කොවිඞ් 19 එන්නත් මෙන්ම අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් ලබාදෙන අතර එන්නතෙහි සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 10 පමණ වේ. එය ස්පුට්නික් එන්නතට සමාන මිලක් වන නමුදු ස්පුට්නික්හි ඵලදායීතා අනුපාතය මෙයට වඩා ඉතා ඉහළ අගයක් ගනී.


* ෆයිසර් බයෝ එන් ටෙක් එන්නත

ජර්මානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ”බයෝ එන් ටෙක්” ඇමෙරීකාවේ ෆයිසර් සමාගම සමග සහයෝගයෙන් නිෂ්පාදනය කරන ලද ෆයිසර්- බයෝ එන් ටෙක් එන්නත ”කොමිනටි” යන වෙළඳ නාමය යටතේ වෙළෙඳපළට හඳුන්වා දී ඇති එම්.ආර්.එන්.ඒ. කාණ්ඩයට අයත් එන්නතකි. මෙම තාක්‍ෂණය එන්නත් නිෂ්පාදනයේ නව ප‍්‍රභේදයක් හඳුන්වා දී ඇත. ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා බොහෝ එන්නත් නිෂ්පාදනයේ දී බහුල ලෙස යොදාගන්නා ක‍්‍රමයක් වන්නේ අක‍්‍රීය හෝ දුර්වල වෛරස කොටසක් ශරීරය තුළට ඇතුළු කිරීමයි. එසේ නමුත් එම්.ආර්.එන්.ඒ. තාක්‍ෂණයේදී සිදුකරන්නේ ශරීරයට ඇතුළු කරන එන්නත මගින් ෙසෙලවලට තමන්ගේම ”ස්පයික් ප්‍රෝටීන” නිපදවා ගැනීමට ඉගැන්වීමයි. මේ සඳහා වෛරසයේ ජානමය කේතයේ කොටස් එන්නතට ඇතුළත් කරයි. මෙසේ නිපදවා ගන්නා ස්පයික් ප්‍රෝටීන මගින් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය ඉහළ නංවන අතර සැබෑ වෛරසය ශරීරයට ඇතුළු වුවහොත් ඒවාට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලබාදෙයි. විරාල් වෙක්ටර් සහ අක‍්‍රීය එන්නත්වලට වෙනස්ව මෙම ක‍්‍රමයේදී එන්නතෙහි ඇති අවදානම ඉතා අඩු බව සැලකෙයි. මෙම එන්නත නිෂ්පාදනය සඳහා සජීවී වෛරස භාවිතා නොකරන බැවින් ලබාගැනීම මගින් කිසි විටෙකත් කොවිඞ් 19 වැලඳීමට ඉඩක් නැත. එසේම එම්.ආර්.එන්.ඒ. අණු කිසිදු විටෙක අපගේ ෙසෙලවල න්‍යෂ්ටියට ඇතුල් නොවන බැවින් ශරීරයේ ඞී.එන්.ඒ. අණුවලට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැත. මෙම ඉහළ ගුණාත්මක බව හේතුවෙන්ම මෙම වර්ගයේ එන්නත් මිල අධික වන අතර ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතක මිල සාමාන්‍යයෙන් ඇමෙරීකානු ඩොලර් 20 පමණ වේ. එසේම මෙම වර්ගයේ එන්නත් සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා පරාසයේ දින 5 ක් දක්වා කල් තබා ගත හැකි අතර සෙල්සියස් අංශක සෘණ 80-60 පරාසයේ මාස 6ක් දක්වා ගබඩා කර තැබිය හැකිය.

එක්සත් ජනපදයේ භාවිතයට අවසර ලද පළමු එන්නත් කාණ්ඩය මෙය වන අතර එම්.ආර්.එන්.ඒ. කාණ්ඩය යටතේ ලෝකයේ මේ වන විට එන්නත් වර්ග දෙකක් නිෂ්පාදනය වේ. ඒ ෆයිසර් බයෝ එන් ටෙක් සහ මොඩෙර්නා යන වර්ග දෙකයි. එන්නත මාත‍්‍රා දෙකකින් යුක්තව ලබා ගැනීම අනිවාර්ය වන අතර පළමු මාත‍්‍රාව ලබාගැනීමෙන් සති තුනකට පසු දෙවැනි මාත‍්‍රාව ලබාගත යුතුය. අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් මෙම එන්නත ලබාදෙනු ලබයි. ෆයිසර් එන්නතෙහි ඵලදායීතා ප‍්‍රතිශතය 95% කි.


* මොඩෙර්නා එන්නත

මොඩෙර්නා යනු ලොව මේ වන විට භාවිතයට අවසර ඇති කොවිඞ් 19 එන්නත් වර්ගවලින් මිල අධිකම එන්නත වන අතර එය සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා පරාසයේ දින 30 ක් දක්වා කල් තබා ගත හැකි අතර සෙල්සියස් අංශක සෘණ 25-15 පරාසයේ මාස 6ක් දක්වා ගබඩා කර තැබිය හැකිය. මොඩෙර්නා එන්නත් මාත‍්‍රාවක සාමාන්‍ය මිල ඇමෙරීකානු ඩොලර් 37 ක් පමණ වේ. ඇමෙරීකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ කේම්බි‍්‍රජ්හි මූලස්ථානය පිහිටා ඇති මොඩෙර්නා සමාගම සීමිත පොදු සමාගමකි. එය 2010 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම සමාගමෙහි එකම වාණිජ නිෂ්පාදනය මොඩෙර්නා එන්නතයි.

මොඩෙර්නා එන්නත ද ෆයිසර් එන්නත මෙන් එම්.ආර්.එන්.ඒ. කාණ්ඩයට අයත් එන්නතක් වන අතර බෙහෙවින් ආරක්‍ෂිත එන්නතක් ලෙස සැලකෙයි. මෙම එන්නත ද මාත‍්‍රා දෙකකින් යුක්තව ලබා ගැනීම අනිවාර්ය වන අතර පළමු මාත‍්‍රාව ලබාගැනීමෙන් සති හතරකට පසු දෙවැනි මාත‍්‍රාව ලබාගත යුතුය. අතේ ඉහළ මාංශපේශීවලට ඇතුල් කිරීම මගින් මෙම එන්නත ද ලබාදෙනු ලබයි. මොඩෙර්නා එන්නතෙහි ඵලදායීතා ප‍්‍රතිශතය 94.1% කි.


* කොවැක්ෂින්

vaccine3ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහයෝගීතාවය සහිතව භාරත් බයෝටෙක් ආයතනය කොවිඞ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නත කොවැක්ෂින් ලෙස හැඳින්වේ. මෙම එන්නත සයිනෝෆාම් එන්නත ද අයත් වන අක‍්‍රීය එන්නත් කාණ්ඩයට ගැනෙන අතර මාත‍්‍රා දෙකකින් යුක්තව ලබාගත යුතුය. තෙවන අදියරේ සායනික පරීක්‍ෂණවලදී මෙම එන්නත 78% ක ඵලදායීතාවයක් පෙන්වා ඇති අතර මාත‍්‍රා දෙකකින් යුක්ත එන්නතෙහි පළමු මාත‍්‍රාවෙන් සති 4 කට පසු එහි දෙවැනි මාත‍්‍රාව ලබාගත යුතුය. 2021 ජනවාරි මාසයේ සිට කොවැක්ෂින් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා ඇති අතර ඉරානය, සිම්බාබ්වේ, මෙක්සිකෝව, මුරුසිය ඇතුළු රටවල් කිහිපයක් කොවැක්ෂින් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ.

කොවැක්ෂින් එන්නත සෙල්සියස් අංශක 2-8 දක්වා වන පරාසයේ සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකිය. භාරත් බයෝටෙක් විසින් ඉන්දීය ප‍්‍රාන්ත රාජ්‍යයන් සඳහා කොවැක්ෂින් එන්නත පළමුව ඉන්දියානු රුපියල් 600 කට අලෙවි කරන ලද අතර පසු අවස්ථා දෙකකදී කරන ලද මිල අඩු කිරීම්වලින් පසුව දැන් එක් මාත‍්‍රාවක් ඉන්දියානු රුපියල් 300 කට ප‍්‍රාන්ත රාජ්‍ය වෙත ලබාදීමට කටයුතු කර ඇත.


* කොන්විඬේෂියා

කොන්විඬේෂියා යනු චීනය විසින් කොවිඞ් 19 වෛරසය සඳහා නිෂ්පාදනය කළ තුන්වන එන්නතයි. මෙම එන්නත ”කැන් සයිනෝ බයොලොජික්ස් ආයතනය” මගින් නිෂ්පාදනය කරනු ලබන අතර ඇස්ට‍්‍රාසෙනිකා එන්නත අයත්වන විරාල් වෙක්ටර් කාණ්ඩයට අයත් එන්නතකි. කොන්විඬේෂියා එන්නත එක් මාත‍්‍රාවක් පමණක් ලබාගත හැකි එන්නතක් වන අතර සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා වන පරාසයේ සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තැබිය හැකිය. කැන් සයිනො බයෝලොජික්ස් ආයතනය ”හමුදා පර්යේෂණ ආයතනය” සමග එක්ව නිෂ්පාදනය කරන ලද කොන්විඬේෂියා එන්නත චීනය පාකිස්ථානය මෙක්සිකොව හංගේරීයාව යන රටවල භාවිතය සඳහා අනුමත කර ඇත. මෙම එන්නතෙහි මාත‍්‍රාවක් එක් ඇමෙරීකානු ඩොලරයක මිලකට ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා ලබාදීමට අදහස් කරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පියරේ මෝගෙන් රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත. කොන්විඬේාෂියා එන්නතෙහි ප‍්‍රතිඵලදායීතා ප‍්‍රතිශතය 90.98% කි.


* නොවාවැක්ස්

ඇමෙරිකාවේ මේරිලන්ඞ්හි පිහිටි නොවාවැක්ස් සමාගම කොවිඞ් 19 සදහා වැඩි දියුණු කරන ලද එන්නත නොවාවැක්ස් නමින් හඳුන්වන අතර එය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් ගිවිසුම්ගතව නිපදවන්නේ ”කොවාවැක්ස්” යනුවෙනි. 2020 ජූලි මාසයේදී නොවාවැක්ස් සමාගම ඇමෙරිකානු ආණ්ඩුව සමග ගිවිසුමකට ඇතුළත් වූයේ එන්නත් මාත‍්‍රා මිලියන 100 ක් 2021 මුල්භාගය වන විට නිෂ්පාදනය කර ලබා දීමටය. මෙම එන්නත මාත‍්‍රා දෙකකින් යුතු වන අතර සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා පරාසයක උෂ්ණත්වයේ ගෘහස්ථ ශීතකරණයක ගබඩා කර තැබිය හැකිය.මෙම එන්නත සබ් යුනිට් නැතහොත් අනු ඒකක එන්නත් යන කාණ්ඩයට අයත්වේ. මෙහිදී එන්නත සඳහා භාවිතා වන වෛරස

අනු අක‍්‍රිය එන්නත්වල මෙන් සම්පූර්ණයෙන්ම මියගොස් ඇති ඒවා වන බැවින් එන්නත වඩාත් ආරක්‍ෂාකාරීය. නොවාවැක්ස් එන්නතක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 16 ක් වන අතර ප‍්‍රතිඵලදායීතා ප‍්‍රතිශතය 89.3% කි.


* ස්පුට්නික් ලයිට්

විරාල් වෙක්ටර් ගණයට අයත් ස්පුට්නික් ලයිට් එන්නත රුසියාවේ ”වසංගත රෝග සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමාලියා පර්යේෂණ ආයතනය” විසින් වැඩිදියුණු කළ එන්නතක් වන අතර එය ස්පුට්නික් වී එන්නතෙහිම අනුවාදනයකි. එක් මාත‍්‍රාවක් පමණක් ලබාගත යුතු මෙම එන්නත 79.4% ක ඵලදායීතාවයකින් යුක්තව ක‍්‍රියාකරන බව නිෂ්පාදකයා කියා සිටී. සෙල්සියස් අංශක 2 – 8 උෂ්ණත්ව පරාසයේ ගෘහස්ථ ශීතකරණයක ගබඩා කර තැබිය හැකි වීම මෙම එන්නත භාවිතයේ පහසුව ඇතිකරයි. මෙම එන්නත ඇමෙරිකානු ඩොලර් 10 ක සාමාන්‍ය මිලකට අලෙවි වේ. ලොව පළමු තනි මාත‍්‍රාවේ කොවිඞ් පාලන එන්නත ලෙස සැලකෙන මෙම එන්නත අප රටෙහි දැනටමත් ලබාදන ස්පුට්නික් වී ද්විත්ව මාත‍්‍රා එන්නත සමග පටලවා නොගත යුතු අතර මෙම එන්නත් දෙක පැහැදිලිවම නිෂ්පාදන දෙකක් ලෙස නිෂ්පාදනය කර තිබේ.


advertistmentadvertistment
advertistmentadvertistment