අපි බිලියන විසිදහස් පන්සිය පනස් අටක් ණයයි!

231

පොහොර හිඟවීමෙන් තේ සහ වී පාඩුව බිලියන 300 ක්..
දේශීය ණය බිලියන 13732 යි (දහතුන් දහස් හත්සිය තිස් දෙකයි)
විදේශීය ණය බිලියන 11786 යි (එකොළොස් දහස් හත්සිය අසූ හයයි)
දැඩි ස්ථාවරයක සිට තීරණ ගත හොත් ලංකාවේ ආර්ථිකය මාස හයෙන් හදන්න පුළුවන්…
මේ ක්‍රමයටම ගියොත් නැවත රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ…
වැස්ස ගැන කියන්න පුළුවන් බිත්තර නැති වෙන එක කියන්න බෑ
මාකට් එකේ බඩු අඩු වෙන හැටි බලලා රටේ ආර්ථිකය හදන්න බෑ
රටේ සෑම පුද්ගලයෙක්ම රුපියල් දොළොස් ලක්ෂ හැත්තෑ දහසක ණයකරුවෙක්..

රටේ සමස්ත ආර්ථික ස්ථාවරත්වය මේ වන විට බිඳ වැටී තිබේ. ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ රටේ සමස්ත ජනතාව ය. ආර්ථිකය බිඳ වැටීමට ප්‍රබලවම බලපා ඇත්තේ රජය විසින් ලබාගත් දේශීය සහ විදේශීය ණය ප්‍රමාණයන් ය. මේ වන විට රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන විසි පන්දහස් පන්සිය දහඅටකි. එය දේශීය ණය රුපියල් බිලියන දහතුන් දහස් හත්සිය තිස් දෙකක් සහ විදේශීය ණය රුපියල් බිලියන එකොළොස් දහස් හත්සිය අසූහයකින් සැකැසී තිබේ. එම ණය මුදල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විසින් ලබාගත් ණය ප්‍රමාණයන් ය. ඒ අනුව රජය එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක ණය මුදලක් ලබාගෙන ඇත. මෙයට අමතරව රාජ්‍ය ව්‍යවසායකයන් ජාතික ජල සම්පාදන මණ්ඩලය විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන මගින් මේ වන විට ට්‍රිලියන 2.6 ක ණය මුදලක් ලබාගෙන තිබේ. ඒ මත ජනතාවට තවත් රුපියල් එක් ලක්ෂ විසිදහසක ණය මුදලක් එකතු වේ.

අපි බිලියන විසිදහස් පන්සිය පනස් අටක් ණයයි!
මහාචාර්ය වසන්ත අතුකෝරාල

ඒ අනුව රටේ වෙසෙන මිලියන 22.2 ජනතාව අතර එක් අයකුට රුපියල් දොළොස් ලක්ෂ හැත්තෑ දහස බැගින් සෑම පුද්ගලයෙක්ම ණයකරුවෙක් කිරීමට මේතාක් සිටි සෑම රජයක්ම පියවර ගෙන ඇත.

තවද රටේ ජනතාව තනි තනිවම බැංකුවකට හෝ සියම් මූල්‍ය ආයතනයකට ස්ව කැමැත්තෙන් ණයකරුවකු වී ඇත. එයටද මූලිකවම හේතු වී ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුදයය. එම ණය ද රාජ්‍ය ණයට අමතරව ඒ ඒ පුද්ගලයා විසින් ගෙවිය යුතුය. සමස්තය සලකා බලන කල ශ්‍රී ලංකාවාසී පොදු මහත් ජනතාවම ණයකරුවෝය.

එය එසේ තිබියදීත් තවදුරටත් රජය කටයුතු කරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරහා ණය ලබා ගැනීමටය. එය සෝද සෝදා මඩේ දමා ගැනීමක් වැනිය.

වසර 1945 පටන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ හා මුල් අවධියේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයේ ලා සිටී. මේ වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් IMF ඔවුන්ගේ සාමාජික රටවල 190 වෙත ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 700 කට ආසන්න මුදලක් ණය වශයෙන් ලබාදී තිබේ.

ඔවුන්ගේ ණය ලැයිස්තුවේ ණය පැහැරහරින ලද රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කොට තිබේ. වසර 2022 මාර්තු අප්‍රේල් වන විට IMF ආයතනය විසින් ශ්‍රී ලංකාවට ණය අනුමත නොකරන්නේ ඒ නිසාය.

සාර්ව ආර්ථික ස්ථායිතාවය පවත්වාගෙන යෑම සහ මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම, මූල්‍ය වංචා හා දූෂණ අවදානම වැළැක්වීමට පියවර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ රට තුළ ක්‍රියාත්මක කිරීම ආදී වූ කරුණු මත ලංකාවට කොන්දේසි පැනවීමට ඔවුහු ක්‍රියා කළහ.

ඒ මත තවදුරටත් කොන්දේසි වශයෙන් රාජ්‍ය මූල්‍ය ආදායම ඉහළ නැංවීමට පියවර ගැනීම. (ඒ ඔස්සේ ජනතාවට දැනෙන ලෙස බදු ආදායම ඉහළ දැමීමට රජය පියවර ගත්තේය.)

රජය සතු වාණිජ ව්‍යවසායයන් මගින් රාජ්‍ය මූල්‍ය අවදානම අවම කිරීම සඳහා පියවර ගැනීම (මේ යටතේ විදුලිය ඉන්ධන ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය පියවර ගත්තේය.)

ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට හා මූල්‍ය අවදානම් ඇති පිරිසගේ වත්මන් ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ක්‍රියාත්මක කිරීම (ඒ අනුව රජය දුප්පතුන්ට කෝටි ගණන් වැය කොට බඩු මළු බෙදා දෙන්නට පියවර ගත්තේය.)

මිල ස්ථායිතාවය නැවත ඇති කිරීම සඳහා දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් උද්ධමනය අඩු කිරීමට සැලසීම (ඒ අනුව වැඩි කළ භාණ්ඩ මිල ගණන් නැවත පහත දමමින් රජය ජනතාවගේ එදා වේල සඳහා සහන සලසන බව ඇඟවීමට කටයුතු කළේය)

විනිමය අනුපාතිකය පාලනය කිරීමකින් තොරව නම්‍යශීලීව ක්‍රියාත්මක කිරීමට ද රජය පියවර ගෙන තිබිණි.

ප්‍රාග්ධනකරණීය වූ බැංකු පද්ධතියක් සඳහා කටයුතු යෙදීම (මේ වෙනුවෙන් කලබල වූ බැංකු සේවකයන් පාරට බැස සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තේය.)

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉහත පනවන ලද කොන්දේසිවලට සාපේක්ෂව රජය ක්‍රියාත්මක වූ අයුරු දැනටත් සමස්ත ශ්‍රී ලංකාවාසීන් අත්විඳිමින් සිටිති.

එම කොන්දේසිවලට අමතරව IMF පවසන පරිදි ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති රටවල් සහ ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල්වලින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවයක් ගත යුතු ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ පුරාජේරු පවසන දේශපාලන අධිකාරිය අර්බුදයකට මුහුණ පාන තවත් ප්‍රබල අවස්ථාවක් වන්නේ එතැන ය.

අප මේ වන විට විවිධ රටවලින් විවිධ ලෙස ණය ලබාගෙන තිබේ. ඉකුත් 2022 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බාහිරින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.422කි. ඉන් 35% ක් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරය. චීනයෙන් සියයට දහනවයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් සියයට දාසයක්, ලෝක බැංකුවෙන් සීයට දහයක්, ජපානයෙන් සියයට හතක්, ඉන්දියාවෙන් සියයට පහක් සහ සෙසු රටවල්වලින් සියයට අටක් සේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.

චීනය හැර අනෙකුත් සියලුම කාණ්ඩවලට අයත් රටවල් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති බවය. නමුත් චීනය දැනුම් දී ඇත්තේ වසර දහයක් වැනි කාලයකට ණය ගෙවීමට එකඟතාවය දැක්විය නොහැකි බවය. නමුත් වසර දෙකකට පසුව ණය ගෙවීම සඳහා සහනයක් ලබාදීමට හැකි බව චීනය ප්‍රකාශ කොට තිබේ. එහෙත් IMF ඊට ප්‍රතිචාර ලෙස පවසා ඇත්තේ ණය ගත් සෑම රටකටම එක ලෙස සැලකිය යුතු බවය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ ණය ගැනීම් පිළිබඳව සලකා බලන කල 1965 ජූනි 15 ශ්‍රී ලංකාවට SDR මිලියන 30 ක් ලබාදීමට කටයුතු කොට තිබේ. 2000 සිට 2021 දක්වා ශ්‍රී ලංකාව වෙත එකොළොස් වතාවකදී ණය ලබාදීමට ඔවුහු පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් IMF මගින් මිලියන 35.85ක ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. බංග්ලාදේශය (මිලියන 2813) නේපාලය (මිලියන 913) පාකිස්තානය (මිලියන 14839) වැනි රටවල් හා සංසන්දනාත්මකව බලන කල එය ඉතා ඉහළ අගයකි.

රටේ සමස්ත ණය ප්‍රමාණයන්ගෙන් සියයට හැත්තෑවකට ආසන්න මුදලක් යළි ගෙවිය යුතුව ඇත්තේ ඩොලර් වශයෙනි. ඩොලර් ඉපැයීම කෙසේ වෙතත් පැවති රජයන් සියල්ලක්ම ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති මත දිගින් දිගටම සිදුවූයේ ආර්ථික ස්ථායිතාව බිඳ වැටීමය.

රටේ මුදල් පරිහරණය සඳහා සෘජුව දායක වන මධ්‍යම බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මේ වන විට ෆේල්ය. බැංකුවේ අරමුණ වන රටක ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම හ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගෙන යෑම ඔවුනට කළ නොහැකි වී තිබේ. එම මුදල් අමාත්‍යාංශයේ අරමුණ වන රටේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය පවත්වාගෙන යෑම පිණිස පියවර ගැනීම ද නිසි ලෙස ක්‍රියාත්මක කරගත නොහැකි බවට සාක්ෂි සහිතවම සනාථ වී තිබේ.

ඒ අනුව පැහැදිලිව පෙනෙන ප්‍රබල කාරණයක් වන්නේ මේ රටේ ආර්ථිකය කාබාසිනියා කිරීමට දේශපාලනඥයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් ඇතුළු බහුතරයක් නිලධාරීන් වගකිව යුතු බව ය.

මන්ද ඔවුන්ගේ තීරණ අනුව අවසානයේ සියලු බර පැටවෙන්නේ ජනතාවගේ කර මතට නිසාය.

නිසි ආර්ථික සැලසුමක් තදබල ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිය හැකිය. ඒ සඳහා නීතිය හෝ සාධාරණත්වය මත සෘජු හා ප්‍රබල තීරණ මත ක්‍රියාත්මක විය යුතුය. ඉකුත් වසර 20 තුළ දේශපාලන අධිකාරිය තුළ කටයුතු කළ දේශපාලනඥයන් සහ ඔවුනට ගැතිකම් කළ පුද්ගලයන්ගේ නාම ලැයිස්තුව සකස් කළ යුතුය. ඒ අනුව ඔවුන් ඉපැයූ වත්කම් ගණනය කළ යුතුය. දත්ත හා සමීක්ෂණ සසඳා බලන කළ දේශපාලනඥයකු සතුව සේවයේ යෙදී සිටි එක් පුද්ගලයෙක් වසර දෙකක් වැනි කෙටි කාලයක දී රුපියල් කෝටි දෙකක වත්කමක් උපයා තිබේ. ප්‍රබල හා සෘජු නායකත්වය යටතේ සොයා බැලිය යුත්තේ එම වත්කම් ය. නිවැරදි නොවන අයුරින් ඉපැයූ සියලු වත්කම් සොයා වෙන්දේසියේ දැමිය යුතුය. එයින් උපයන මුදලින් දේශීය විදේශීය ණය ගෙවා දැමිය යුතුය.

රටක ආර්ථික පුනර්ජීවනය සඳහා ආණ්ඩුවක් පත් වන්නට අරඅදින සෑම මොහොතකම ආර්ථික සංවර්ධනය උදෙසා දේශීය කර්මාන්ත නඟාසිටුවිය යුතු බවට පවසමින් ජනතාව මුළාවේ දැමීමට දේශපාලන අධිකාරිය පියවර ගන්නේ ය. එහෙත් ආර්ථික සංවර්ධනය පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරන සැබෑ ආර්ථික විශේෂඥයන්ගේ දර්ශනය වන්නේ රට තුළ කර්මාන්ත සියයක් ආරම්භ කරනවාට වඩා නිශ්චිත ආදායම් ඉපැයිය හැකි එක් කර්මාන්ත ශාලාවක්වත් නිසි ලෙස ආරම්භ කොට විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ග සෙවිය යුතු බවය. මේ සඳහා සරල සහ හොඳම උදාහරණයක් වසර 1930 ගණන් වල දී සිදුකොට ඇති බවට පෙන්වා දිය හැකිය. එවකට ශ්‍රී ලංකාව යටත් විජිත සමයක්ව පැවතිණි. එකල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි එකසිය එකක් ඉදිකරමින් ඒ ඔස්සේ මුදල් ඉපැයීමට සැලසුම් සකස් කොට තිබිණි. එය අනාගත ආර්ථික ස්ථායිතාවයක් පවත්වාගත හැකි ක්‍රියාමාර්ගයක් බව පැහැදිලිය. අදට වුවද එය වලංගු මුදල් ඉපයීමේ ක්‍රියාමාර්ගයකි.

මේ වන විට ද ඒ ඔස්සේ මුදල් ඉපයීමේ සැලසුමක් සකස් කළ හැකිය. ලෝකයේ තෙල් මිල පහළ යන අවස්ථාවන්වලදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සඳහා තෙල් මිලදී ගනිමින් ලෝක තෙල් මිල ඉහළ යන කාල වල දී සෙසු රටවල නැව් සඳහා සැපයීමට පියවර ගත හැකිය.

රටේ ආර්ථිකය නංවාලීම සඳහා සේවා සපයන මධ්‍යස්ථාන ඉදි කළ යුතුය. අධ්‍යාපනය මුල් කරගනිමින් විදේශීය සිසුන් සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත කළ හැකිය. එයින් රටට ලැබෙන විදේශ විනිමය ඉහළය. දෙවැන්න රට වටා ඇති නාවික හමුදා මධ්‍යස්ථාන මුල්කර ගනිමින් විදේශීය රටවල් සඳහා උපාධි සැපයිය හැකි පාඨමාලා ආරම්භ කළ හැකිය. ලෝකයේ බොහෝ රටවල මුහුද අහිමි රටවල් ඇති බැවින් ඔවුන් මේ සඳහා නොපැකිලිව අයැදුම් කරනවා නියතය. තෙවැන්න සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුත්තේ ද විදේශිකයන්ට කිමිදුම් පුහුණු පාඨමාලා ආරම්භ කිරීමේ ව්‍යාපෘති ද සමගය. සිව්වැන්න වෙරළ තීරයන් යොදාගනිමින් විදේශීය සංචාරකයන් සඳහා රාත්‍රි සැහැල්ලු සහ සුඛෝපභෝගී ජීවන රටාවක් සඳහා වන පහසුකම් ඇති කරමිනි. මේ කිසිවක් කොළඹ මූලික කරගනිමින් සිදු කළ යුතු නොවේ. රට පුරා මුදල් සංසරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් වෙරළ තීරය යොදාගනිමින් විදේශ සංචාරකයන් සඳහා ආකර්ෂණීය ව්‍යායාපෘති ඇති කළ හැකිය.

සම්ප්‍රදායික ලෙස තේ පොල් රබර් හෝ ආනයන අපනයන හෝ වෙනත් ආදායම් ඉපයිය හැකි මාර්ග පිළිබඳ එකම බෙරපදය වයනවාට වඩා නව මං සොයා යෑමේ හැකියාව ඇති නව ව්‍යාපෘති සකස් කළ හැකි බුද්ධිමතුන් රට තුළ වෙසෙයි. එහෙත් ඔවුන්ගෙන් සාධාරණ ලෙස හෝ යාවත්කාලීන ලෙස වැඩ ගැනීමට මෙරට බලධාරීහු කටයුතු නොකරති. රට දිනෙන් දින අරාජික වන්නේ රට මෙහෙයවීම පිණිස තීරණ ගන්නේ කොළඹට සීමා වූ එක්තරා පන්තියක් නිසාය. එම පිරිස කිසිදු හේතුවක් මත රට පුරා විහිදී විසිරී සිටින බුද්ධිමතුන් ගේ සහ විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට කැමැත්තක් නැත. රටේ ප්‍රතිපත්ති සැකසෙන්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ට ගැතිකම් කරන පිරිසක් මතය. දරිද්‍රතාවය පිළිබඳ තීරණ ගන්නේ වායු සමීකරණය කරන ලද කාමර තුළ සිටය. මෙය වෙනස් නොවන තාක් කල් රටේ ආර්ථික සංවර්ධනයක් සිදු වන්නේම නැත.

ගෝඨාභය රාජපක්ෂ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති මත ඇති කළ කාබනික පොහොර වැඩසටහන හේතුවෙන් සම්ප්‍රදායික ගොවියකුගේ මාසික ආදායම රුපියල් දහදාහකින් පහත වැටී තිබේ. ඒ අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂයකින් අහිමිව ගොස් ඇත. කාබනික පොහොර ව්‍යාපෘතියේ ආදීන මේ මත මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් පන් දහසකින් ද වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහහතර ලක්ෂයකින් ද පහත වැටී ඇත. එය රටේ වෙළෙඳපොළ මිල ගණන් අනුව රුපියල් බිලියන තුන්සියයක පාඩුවකි.

මෙයට වසර 5කට පෙර කිලෝ 50 ක පොහොර ගෝනියක් රුපියල් 1500 කට පැවැතිණි. දැන් එහි මිල රුපියල් 18,000 කි. මේ තත්ත්වය මත ගොවීන් හට පෙනෙන තෙක් මානයක වගාවෙන් ගොඩ ඒමක් නැත.

මේ වන විට ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ ණය ලබා ගන්නා, ණය ලබාගැනීමට අවශ්‍ය වන මගක් පාදා ගැනීම නොවේ. ලංකාවට දැන් අත්‍යවශ්‍යව ඇත්තේ ණය ගෙවීමට මගක් පාදා ගැනීම ය. පිළිබඳව මේ දේශපාලනඥයන් හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කොට නැත. ඔවුන් තවදුරටත් සූදානම් වන්නේ නැවත නැවත ණය ගනිමින් රට ණය උගුලේ සිර කර තැබීමට ය.

ඔවුන්ගේ සුඛ විහරණය සඳහා රටේ ආර්ථිකය යොදාගනිමින් ඔවුන්ගේ පාලන තන්ත්‍රය පවතින තාක් විසීම එකම අභිප්‍රාය කරගෙන ඇත. ඔවුන් සිය ධුරවලින් ඉවත්ව ගිය පසුව පත්වන ඕනෑම අයෙක් ණය ගෙවා රට කළ යුතු යැයි ඔවුන් සිතනවා විය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ පරිහානියට මුල සිටම හේතු භූත වූ කාරණාව බව අප අමතක නොකළ යුතුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග සාකච්ඡාවක් ඇසුරෙන්…..

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment