අපි රට වෙනුවෙන් අමාරු තීන්දු ගන්නේ දේශපාලන අනාගතය උගසට තියලයි – අගමැති මහින්ද රාජපක්‍ෂ

211

‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප‍්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය දිවයින නියෝජ්‍ය කර්තෘ උපාලි ද සේරම් මහතා අගමැතිවරයා අතින් රක්‍ෂණාවරණය ලබාගත් අයුරු.

මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදිහට රට හසුරුවන බලවේග ඉන්නවා…

හිටපු ජනාධිපතිනිය මට ‘රිපෝටර්’ කියන විට‘‘නෑ මම එඩිටර්’’ කියලා ඇයට කිව්වා….

මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක‍්‍රියාත්මක වෙනවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන ‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප‍්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව ප‍්‍රකාශ කළේය.

අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදා ගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න ඇතැමුන් උත්සාහ කරනවා යැයි ද අගමැතිවරයා මෙහිදී කීවේය. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි යැයි කී අගමැතිවරයා ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා යැයි ද පැවසීය.

රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස්දෙනකු සඳහා අගමැතිවරයාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප‍්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමැතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප‍්‍රදානයට එක්වූහ.

‘ඇසිදිසි රක්ෂණාවරණය’ ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000 කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබා දීමට මේ වන විට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප‍්‍රදානය කිරීමේ උත්සවයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප වුණේ මාධ්‍යවේදීන්ට.

මට මතකයි එදා, මම මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා ‘ඔන්න රිපෝටර් එනවා’ කියලා. මම කිව්වා මම ‘රිපෝටර්’ නෙවෙයි, ‘එඩිටර්’ කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම ‘එඩිටර්’ කියලා.

මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගේ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඞ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.

මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩ නැගෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.

අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි.

හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප‍්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා ”රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පළ වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි’’ කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

ජනතාවත් එහෙමයි. රූපවාහිනි ප‍්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් පේ‍්‍රක්ෂකයෝ නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප‍්‍රශ්නේ.

මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක‍්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපිට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා.

එදා යුද්ධයේදී මැරුණු සන්නද්ධ ත‍්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.

ජනප‍්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක‍්‍රියා කරයි කියලා අපි හිතනවා.

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා –

මම විකල්ප පත්තරකාරයෙක් විදිහට අද මේ අවස්ථාව හඳුනා ගන්නේ ප‍්‍රතිපත්ති සම්පාදකයෙක්ට වඩා වැඩි බරකින්.

ජීවිත ආරක්ෂාව කියන එක උප ශීර්ෂයක් විදිහට පාවිච්චි කරපු පත්තරකාරයෙක් විදිහට, ජීවිත රක්ෂණය කියන එක උප ශීර්ෂයක් ලෙස පාවිච්චි කරපු යුගයක විකල්ප පත්තරකාරයෙක් විදිහට අපි එදා කටයුතු කළේ ජනතාව වෙනුවෙන් වගකීම් සහගත මාධ්‍ය කලාවක් කියන දේ ශීර්ෂ පාඨය කරගන්න. ජීවිත ආරක්ෂණය උප ශිර්ෂය කරගෙන.

advertistmentadvertistment
advertistmentadvertistment