අපි ෆුට්බෝල් ගහනවට මුළු ලෝකෙම විරුද්ධයි

212

ඉන්ෆැන්ටිනෝ යළි බලයට පැමිණිදා හෙළි වෙයි
රටවල් 208න් 197ක් අපට එරෙහි වුණේ ඇයි?
ෆිෆා එක්ක හැප්පෙන්න අපට පුළුවන්ද?

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (ෆිෆා) සභාපති ධුරය සඳහා හිටපු සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා නැවත වරක් තේරී පත්වූයේය. ඔහු ස්විට්සර්ලන්ත ජාතිකයෙකි. 2016 පෙබරවාරි මස විසි හයවෙනිදා පළමු වරට එම ධුරයට පිවිසි ඉන්ෆැන්ටිනෝ මහතා පසුගිය බ්‍රහස්පතින්දා එම ධුරය සඳහා නැවත තේරී පත්වුණේ තෙවැනි වතාවට ය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නීතිය අනුව තවත් වරක් ඉන්ෆැන්ටිනෝ ට ෆිෆා සභාපති වීමට නොහැක. එම සභාපති ධුරය දැරිය හැකි උපරිම වාර සංඛ්‍යාව තුනකි. ඉන්ෆැන්ටිනෝ මෙවර සභාපති වූයේ නිතරගයෙනි. ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරන රටවල කැමැත්ත තවමත් ඉන්ෆැන්ටිනෝ වෙත පවතින බව ඉන් පැහැදිලි වේ.

ඔහු යළි සභාපති ධුරය සඳහා පත් කරගන්නා ලද්දේ රුවන්ඩාවේ කිගාලි අගනුවර දී පැවැති ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මහ සමුළුවේදීය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිට නැවත වරක් ෆිෆා සභාපති වූ ඉන්ෆැන්ටිනෝ මහතා 2027 වසර දක්වා එහි සභාපති ලෙස කටයුතු කරනු ඇත.

ෆිෆා සභාපති ධුරය තේරූ එම මහ සමුළුවට ශ්‍රී ලංකාවට නම් ආරාධනා නැත. මන්ද අපි ෆිෆා එකෙන් නම කපා ගෙන තිබුණු බැවිනි. සැබැවින්ම එය නම කපා ගැනීමක් නොව, ඉල්ලන් කෑමකි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නීති රීතිවලට පටහැනිව ගිය ශ්‍රී ලංකාව ෆිෆාට එපා වී තිබුණි. ඒ අනුව ෆිෆා විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවූයේ පසුගිය ජනවාරි මාසයේදීය.

අදාළ ජාත්‍යන්තර තහනම පිළිබඳව ජනවාරි 21 වැනිදා දාතමින් යුතුව ෆිෆා ආයතනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදී. එතැන් පටන් අපේ පාපන්දු ජාත්‍යන්තරයට අකැපය. රට ඇතුළේ ඕන ෆුට්බෝල කෙළියක් කළද ඒ පය ජාත්‍යන්තරයට තබන්න අකැපය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලි නැත. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට කොහෙත්ම තහනම් ය.

එහෙත් ඉන්ෆැන්ටිනෝ තෙවන වරටත් බලයට පැමිණි පසුගිය මහ සමුළුවේදී ශ්‍රී ලංකාවත් එක් මාතෘකාවකි. එදින න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවටද තැනක් වෙන්වී තිබුණි.

ශ්‍රී ලංකාව පමණක් නොව එසේ ජාත්‍යන්තර තහනමක් පැන වී තිබුණු සිම්බාබ්වේ ද අපේ පාළුවට එදා සිටියේය. ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ ට ජාත්‍යන්තර තහනමක් පැනවීම පිළිබඳ සාමාජික රටවල මතය විමසීම ඉන්ෆැන්ටිනෝ යළි බලය දිනා ගත් එම මහා සමුළුවේ න්‍යාය පත්‍රයේ අඩංගු වූ එක් කාරණාවකි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීම පිළිබඳව ඒ අනුව සාමාජික රටවල මතය විමසන ලදී. සිදුවූයේ කුමක්ද? එකී සියලු රටවල් පාහේ ෆිෆා විසින් මීට මාස දෙකකට පෙරදී ගත් තීරණය අනුමත කිරීමයි. එනම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීම නිවැරදි බව සහ තමනුත් එය අනුමත කරන බවය. ශ්‍රී ලංකාවට මතු නොව සිම්බාබ්වේ ටද අත්වුණු ඉරණම එයම විය.

එසේම එදින මහ සමුළුවේදී ලැබුණු එම තීරණය පිළිබඳ පුදුම විය යුතුද නොවේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ගන්නා ලද තීරණයකට එරෙහිව යමින් ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවත් කළ යුතු යැයි කියමින් හෝ ඔවුන්ට පාපන්දු තහනමක් පැනවීම අනුමත නොකරන බව කියමින් ෆිෆා සාමාජික රටවල් මහා සමුළුවේදී මොර දෙනු ඇතැයි සිතීම තරම් අනුවණ කමක් තවත් නොවේ. එය හරියට අනාගතයේදී ඇමරිකානු ඩොලරයට වඩා ශ්‍රී ලංකා රුපියල වටිනු ඇතැයි සිතීමට නොදෙවෙනිය.

කෙසේ වෙතත් මහ සමුළුවේදී සිදුවුණේ ෆිෆා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා දෙන ලද තීරණය තව දුරටත් සනාථ කර ගනිමින් අපේ රට අපහසුතාවයට පත්වීමය. එහිදී සමුළුව සඳහා සහභාගි වූ රටවල් 208 න් 197ක් ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනම පැනවීම අනුමත කරමින් ඡන්දය ලබා දී තිබුණි. එක් රටක් විරුද්ධ වී තිබුණි. ඒ අනුව රටවල් 197 ක් ම දැන් අපව එපා කියා හමාරය.

අපි ෆුට්බෝල් ගහනවට මුළු ලෝකෙම විරුද්ධයි

එසේ රටවල් 197ක් අප ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඊට මූලිකම හේතුව ෆිෆා අපට පනවන ලද තහනමයි. ෆිෆා අපට තහනමක් පැනවූයේ ඇයි?

ඊට නම් හේතු බොහෝ ය.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම් හමුවේ ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩවීම මෙන්ම අත්තනෝමතික ලෙස නව රෙගුලාසි පැනවීම ද ඊට හේතු වේ. එපමණද නොවේ, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟවුණු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්විකව කඩ කිරීම මෙන්ම නියමිත කාලය තුළ විධිමත් ක්‍රමවේදයකට අනුව නව පාපන්දු ව්‍යවස්ථාවක් නිර්මාණය නොකිරීමද ඊට හේතු වේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ මෙම හිතුවක්කාරී වැඩපිළිවෙළ දෙස ඕනෑකමින් බලා සිටියේය. ඊට අවශ්‍ය සහ ලබාදුන් කාල සීමා ප්‍රමාණවත් නොවුණු කල ඔවුහු ඒ සඳහා තවත් කල් දුන්නේය. එහෙත් දෙපැත්තට ඇණ කොටා ගනිමින් එකිනෙකාට දොස් පවරමින් සිටි පාපන්දු බලධාරීන්, හිටපු පාපන්දු බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන ලද දෙතුන් පැත්තට ඇදීම නිසා ෆිෆා බලාපොරොත්තු වූ දේ අපෙන් ඉටු වූයේ නැත.

එසේ හිතුවක්කාරී වූ රටක පාපන්දුවක් තහනම් කරන්නට ෆිෆාට ඇති බලය ලෝකයේ කිසිම ක්‍රීඩා ආයතනයකට නැත. අපේ වැරදිවලට දෙතුන් වරක් සමාව දුන් ඔවුහු තවත් වරෙක ලංකාවටම පැමිණ අපේ ප්‍රශ්න ගැන විචාරා සියැසින් දැක බලා ගෙන මාර්ග සිතියම්ද ලබාදී පිටව ගියහ. එහෙත් ඒවායින් පලක් නොවූ කල ෆිෆා ශ්‍රී ලංකාව තහනම් කළේය.

මෙම තහනම පිටුපස සිටින පුද්ගල සාධක ලෙස හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා ද වන බව ඔහුට විරුද්ධ පාර්ශ්ව දක්වයි. එහෙත් ජස්වර් මහතා පවසන්නේ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා සහ අලුතෙන් බලයට පත් වූ ජේ. ශ්‍රී රංගා මහතා මේ ෆිෆා තහනමට වගකිව යුතු බවයි. එසේම ව්‍යවස්ථාවට පටහැනිව නිලවරණයක් පැවැත්වීමට කටයුතු කළ ක්‍රීඩා බලධාරීන් ගේ ක්‍රියා කලාපයන් ද ඊට හේතු බව ජස්වර් මහතා කියයි. ජස්වර් මහතාට තිබෙන ප්‍රධාන චෝදනාව නියමිත කාලයට නව ව්‍යවස්ථාවක් නොගෙන ඒමයි. දැන් කෙසේ හෝ අපි හත්පොලේ ගාගෙන හමාරය. තහනමෙන් මිදෙන්නට අවශ්‍ය දේ කරන්නට හිටපු බලධාරීන් මෙන්ම වත්මන් බලධාරීන්ද කටයුතු කරන බවක් නොපෙනේ. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද කටයුතු කරන බවක් නොපෙනේ.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග, ආසියානු කුසලාන තරග, දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත. එසේ සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරග අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.

මීට අමතරව සාමාජික රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගණන් ශ්‍රී ලංකාවට අහිමි වී ඇත. මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6ක් ලැබී තිබේ. මේ සමඟ රටවල්වලට දීමට තිබෙන ආධාර 30% කින් වැඩි කිරීමට ද මහා සමුළුවේදී අනුමැතිය ලැබී තිබුණි. මෙම ආධාර ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රටවල් දෙකට අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව යනු ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ද ඇතිව ක්‍රියාත්මක වන්නකි. පාපන්දු මතු නොව ක්‍රිකට් හැරෙන්නට සියලු ක්‍රීඩා සංගම් රටේ මුදලින් යැපෙන්නේ ය. සියයට 90 කටත් වඩා ක්‍රීඩා සංගම් රටේ මුදලෙන් යැපෙන කල එම ක්‍රීඩා සංගම් පාලනයේ අයිතිය ද තමන් සතුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය සිතයි. ශ්‍රී ලංකාවට වරදින්නට තවත් තැනක් මෙතනය. ක්‍රීඩාවට මුදල් දුන් පමණින් එම සංගම්වල පරිපාලනය තමන් සතුව ඇතැයි සිතා ක්‍රීඩා ඇමැති සහ අමාත්‍යාංශ බලධාරීන් කරන කටයුතුවලින් සිදුවන්නේ ජාත්‍යන්තරයේ තිබෙන මව් සමාගම සමග මෙරට ක්‍රීඩා සංගමයට ගැටෙන්නට සිදු වීමයි. ව්‍යවස්ථාවෙන් පවා එම දේවල් සිදුවිය හැක. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා නව පාපන්දු ව්‍යවස්ථාවත් ෆිෆා ව්‍යවස්ථාවන් මෙලෙස එකිනෙක ගැටේ. ශ්‍රී ලංකා පාපන්දු ව්‍යවස්ථාව අනුව විධායක සභාවේ ධුර කාලය වසර දෙකකි. ෆිෆා ව්‍යවස්ථාවේ ධුර කාලය වසර 4 කි. මෙවැනි පරස්පරතා තියාගෙන අප ෆිෆා සමග ගැටෙන්නට යනවා නම් එය කළුගලේ ඔළුව ගසා ගැනීමකි. කවදාවත් අපට තහනමෙන් මිදෙන්නට බැරි වනු ඇත. අපි තමයි ලොක්කා යැයි සිතන ළිංමැඩි න්‍යායෙන් මිදෙන තාක් කල් අපට ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණිය නොහැක. අවාසනාවට මෙන් මේ සියල්ලටම වග කියන්නේ අහිංසක ක්‍රීඩකයන් ය. තරග නැති වන්නේ ඔවුන්ට ය. ඉන්දියාවට ද මෙවැනි තහනමක් පැනවුණි. ඔවුහු එයින් මිදුණාහ. එරට අගමැති මෝදි මහතා ද මැදිහත් වී ඔවුහු එම ප්‍රශ්නය විසඳා ගත් හ. මෙම ප්‍රශ්නය විසඳන්න රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් ද ඉන්දියාවට අවශ්‍ය වූයේ නම් අපට ද එවැනි මැදිහත්වීමක් නුවුවමනා වේ යැයි කිව හැක්කේ කාටද?

අප දන්නා පරිදි ලොව ප්‍රීතිමත්ම ජනතාවක් වෙසෙන රාජ්‍යයන් කිහිපය අතරේ ස්විට්සර්ලන්තයට ඉහළ තැනක් හිමිවේ. ජාත්‍යන්තර පාපන්දු ලොක්කා ඒ ප්‍රීතිමත් රටේ පුරවැසියෙකි. ආර්ථික අහේනි කම්වලින් අනේක දුක් විඳිමින් සිටින මෙරට ජනතාවට ද සතුටු විය හැකි අල්ප කාරණා අතරින් ක්‍රීඩාව මුලට ඒ. එහෙත් ඒ ක්‍රීඩාවට ද මේ වෙන්න යන පරිහානිය කෙතරම් කනගාටු සහගතද ? ඉන්ෆැන්ටිනෝ මේ බව නොදන්නවාද නොවේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment