අප මුහුණ දී සිටින අපගේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා මේ වන විට අප විසින් අයිඑම්එෆ් මූල්‍ය පහසුකමක් ඉල්ලා කාලයක් ගත වී ඇත. අප මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් වෙත ගොස් මූල්‍ය පහසුම් ලබාගෙන ඇතත් මෙවර එය වඩාත් දුෂ්කර වී ඇත්තේ කුමක් නිසාද? හේතුව නම් මෙවර අප අයිඑම්එෆ් සහාය පැතුවේ බොහෝ ප්‍රමාද වී වීමත් එම නිසා අපගේ ණය තිරසාරභාවය (ණය ගෙවාගෙන යෑමේ හැකියාව) නොමැති තත්ත්වයක සිට වීමත්ය. මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් වෙත ගොස් මූල්‍ය පහසුම් ලබාගන්නා විට අපගේ ණය තිරසාරභාවය පැවතුණි. අප අයිඑම්එෆ් එකෙන් ලබා ගන්නේ ද ණයකි. ණය ගෙවීමේ හැකියාව නොමැති රටකට අයිඑම්එෆ් එක මූල්‍ය පහසුකමක් ලබා දෙන්නේ ණය තිරසාරභාවය සමබන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අප විසින් අත්කරගෙන එහි ප්‍රගතිය සමබන්ධයෙන් මූල්‍ය අරමුදල සෑහීමකට පත් වන්නේ නම් පමණි. මේ නිසා දැන් ප්රශ්නය තිබෙන්නේ අයිඑම්එෆ් එකේ නොවේ. ඔවුන් ද බලා සිටින්නේ අපට ඉතා ඉක්මනින් මේ ණය පහසුකම ලබා දීමටය. එහෙත් ණය තිරසරභාවය නොමැතිව අයිඑම්එෆ් එකටත් අපට මූල්‍ය පහසුකමක් ලබා දිය නොහැකිය. එසේ නම් ප්රශ්නය තිබෙන්නේ කොතන ද? මේ පසුබිම තුළ අයිඑම්එෆ් ණය පහසුකම අපට ලැබෙන්නේ කවදාද යන ප්රශ්නය අපට බරපතළ ලෙස මතුව ඇත.
අයිඑම්එෆ් එක සමග අප විසින් 2022 අප්‍රේල් අග සිට වත්මන් විනිමය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කළ අතර මේ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස 2022 සැප්තැම්බර් 01 වැනිදා වන විට අපට ලබාදෙන මූල්‍ය පහසුකම ලබා දීම සම්බන්ධයෙන් අප එම අරමුදල සමග නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹියේය. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකමක් යටතේ මාස 48 ක වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඇති කරගෙන ඇත. දැන් තිබෙන්නේ එම මූල්‍ය පහසුකම අපට ලබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමටය. ඒ සඳහා අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති කරගෙන ඒ බව අප අයිඑම්එෆ් එක වෙත දැනුම් දිය යුතු වේ. මේ සඳහා අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබාගත යුතු වේ. අප විසින් ණය ලබාගෙන ඇති ප්‍රධාන ණය හිමියන් වන්නේ චීනය, ඉන්දියාව සහ ජපානයයි. මින් ජපානය සමග වන සාකච්ජා බොහෝ දුරට අවසන් වී ඇත. ප්රශ්නය තිබෙන්නේ චීනය සහ ඉන්දියාව අප වෙත තවමත් මූල්‍යකරණ සහතික ලබා නොදීම නිසාය. මේ ගැන එම රටවල් සමහ මේ වන විට සාකච්ජා ආරම්භ කර ඇත. චීනයේ කොවිඩ් ප්‍රශ්න සහ පසුගිය කාලයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව ඇතුළු නොයෙක් හේතු නිසා මේ සමබන්ධයෙන් චීනය සමග වන සාකච්ජා ක්‍රියාවලිය ප්‍රමාද විය. කෙසේ හෝ ඒ සාකච්ජා දැන් ආරම්භ වී ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති චෙන් ෂෝ මහතා ද ගිය සතියේ අප රටට පැමිණ සාකච්ජා කර තිබේ. මේ ගැන ජනාධිපතිවරයා ද අදහස් දක්වා තිබුණි.
● ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ජා
මේ පසුබිම තුළ අපගේ මීළඟ ලොකුම අභියෝගය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සමබන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කර ගැනීමයි. විශේෂයෙන් චීනයෙන් සහ ඉන්දියාවෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීමයි. ඉන්පසු එය අයිඑම්එෆ් එකට දැනුම් දී අපට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ලබා ගත යුතුව තිබේ. ඒ සඳහා අයිඑම්එෆ් විධායක සභාවට අවශ්‍ය යෝජනාව සැකසීමේ කටයුතු කරන්නේ අප රට වෙනුවෙන් අයිඑම්එෆ් එක විසින් පත් කර සිටින දූත මණ්ඩලයයි. අපට දැනගන්නට ඇති පරිදි ඔවුන් ඒ සඳහා සූදානමින් සිටින අතර අපට තිබෙන්නේ අදාළ ද්විපාර්ශ්වික මූල්‍යකරණ සහතික ලබා ගැනීමයි. දැන් ඒ ක්‍රියාවලියේ අප නිරතව සිටින අතර මේ ගැන පසුගිය ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කීවේය.
‘මේ වන විට අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මෙම සභාවට ප්‍රකාශ කළ හැකියි.
ජනාධිපතිවරයා පවසන පරිදි ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට අප කරන සාකච්ඡාවල සාර්ථකත්වයක් තිබේ නම් ඒ අනුව අපට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ඉක්මනින් ලැබීම සම්බන්ධයෙන් සුබවාදී අපේක්ෂා තබාගත හැකිය. එහෙත් එම ක්‍රියාවලිය සඳහා කෙතරම් කලක් ගතවනු ඇති ද යන්න ගැන අපට තවමත් නිශ්චිතව කිව හැකි නොවේ. එය බාහිර පාර්ශ්වයක් මත තීරණය වන දෙයකි.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති චෙන් ෂෝ මහතා ද අප රටට පැමිණි අතර ඔහු සමග ද රජයේ බලධාරීන් සාකච්ජා කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සමනය කර ගැනීමට උදව් කිරීමට චීනය සහාය වන බවට යළි රජයේ බලධාරීන්ට අවධාරණය කර ඇති බවට ආරංචි තිබේ. එහෙත් චීනය පැත්තෙන් මූල්‍යකරණ සහතික කවදා ලැබෙනු ඇතිද යන්න ගැන තවමත් ස්ථිරව කීමට හැකියාවක් නැත. කෙසේ හෝ ඉතා ඉක්මනින් මේ මූල්‍යකරණ සහතික චීනයෙන් අපට ලැබුණහොත් අපගේ විස්තීර්ණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ලබාගෙන ඉදිරියට ගමන් කරමින් අපට ආර්ථිකය කිසියම් මට්ටමකින් ඉක්මනින් ස්ථාවර කර ගැනීමට හැකි වේ. අප දැන් සිටින්නේ ඒ සඳහා වන උත්සාහයේය.
● චීන ඇමැති අගමැති හමුව
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති චෙන් ෂෝ මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු විය. මේ හමුවෙන් පසු ළඟදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයෙන් හොඳ ආරංචියක් ලැබෙනු ඇති බවට සහ චීන ආයෝජනද ඉහළ යනු ඇති බවට චීන රාජ්‍ය තාන්ත්‍රිකයෝ අගමැති හමුවේ අවධාරණය කරති යන පුවතක් අගමැති මාධ්‍ය අංශය නිකුත් කර තිබිණි. මේ කියන හොඳ ආරංචිය වනුයේ චීනය අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කිරීම ගැන විය යුතුය. ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා පිළිබඳව චීනය ධනාත්මකව සලකා බලමින් සිටින බව චීන නියෝජ්‍ය ඇමැති චෙන් ෂෝ මහතා පැවසූ බව ද අගමැති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන්ව තිබිණි.
‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා හොඳ ආරංචියක් ඉතා ඉක්මනින්ම අසන්නට ලැබෙනු ඇතැයි ඔහු කියා ඇති අතර ඔහු ඇතුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය සතියේ අරලියගහ මන්දිරයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර ඒ අවස්ථාවේදී මේ බව සඳහන් වී ඇත. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනය සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතිකයක් ද මෙහිදී ලැබුණු බව අගමැති මාධ්‍ය අංශය කියයි. ශ්‍රී ලංකාව චීනයේ විශේෂ මිතුරෙකි. වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහය වන්නේ කෙසේදැයි තම රට කරුණු සලකා බලමින් සිටින බව ද එම චීන නියෝජිත පිරිස පවසා තිබේ. මේ හමුවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ අතර ඉදිරි වසරවලදී බොහෝ ක්ෂේත්‍ර වල චීන ආයෝජන ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා චීනයේ සහය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිට ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති චීන කොමියුනිස්ට් පක්ෂයේ චෙන් ෂෝ මහතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය සහයෝගය දක්වන බව අවධාරණය කර ඇත. චීනයේ අමාත්‍යාංශ සහ මූල්‍ය ආයතන කීපයක් මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමීපව ක්‍රියා කරමින් සිටින බව ද ඔහු සඳහන් කර ඇත. එසේ නම් ඒ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැක.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රතිපත්ති යටතේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍රශීලී රටවල් සමග සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම අදහස බව ද චීන ඇමැතිවරයා මෙහිදී කියා ඇත. මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩ බලන චීන තානාපති හූ වෙයි (Hu Wei) යන මහත්තවරු ද ඇතුළු චීන තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
● ආර්ථික අර්බුදයේ පතුල
ඇත්ත වශයෙන්ම අප සිටින්නේ තවමත් ආර්ථික අර්බුදය පතුලේය. ඒ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අදහසකින් ද වඩාත් තහවුරු වේ. එනම් පසුගිය ජනවාරි 17 වැනිදා ‘අප සිටින්නේ කොතැනද?’ යන මැයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ඒකාබද්ධව පැවැත් වූ සංවාදයේ දී ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ අප තවමත් සිටින්නේ ගැඹුරු සහ පුළුල් ආර්ථික අර්බුදයක බවයි. චමින්ද ගුණරත්නගේ ප්‍රශ්නයට මහින්ද සිරිවර්ධන මුදල් ලේකම්වරයා මේ සඳහා ඉතා පුළුල් සහ පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය. එම සංවාදයේ දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ ද සඳහන් කළේය.
‘අප ඉතාම ගැඹුරු ආර්ථික අර්බුදයක ඉන්නේ. කියන්න ඕන මේ අර්බුදය ඉතාම පුළුල් සහ ගැඹුරුයි. එය හරිහැටි අවබෝධ ගැනීමත් ඉතාම වටිනවා. ගිය වසරේ අප්‍රේල් මාසේ හිටපු තත්ත්වයට වඩා සෑහෙන දුරකට අපි වැඩිදියුණු වීම් ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. හැබැයි අපට මෙතනින් එහාට කළ යුතු වැඩකටයුතු රාශියක් තියෙනවා. අපට විදේශ සංචිත ශක්තිමත් කරගන්න වෙනවා. ඒ සම්බන්ධ කටයුතු රාශියක් කරගෙන යනවා.
අයිඑම්එෆ් එකෙන් අපට ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ප්‍රමාණයත් එක්ක අපට වඩාත් වැදගත් වෙන්නේ ඒකෙන් රට ගැන විශ්වාසය තහහවුරු වීමයි. අපි 16 වතාවක් අයිඑම්එෆ් ගිහින් තියෙනවා. මේ 17 වැනි වතාව. ඇයි අපට එහෙම වුණේ? මම පෞද්ගලිකවත් අහනවා. මම රටෙනුත් අහනවා ඇයි අපට 16 පාරක් ගිහින් 17 වැනි වතාවටත් අයිඑම්එෆ් එකට යන්න වුණේ ? අයිඑම්එෆ් එක අප තුළට ආව නෙවෙයි. අපියි අයිඑම්එෆ් සහාය ඉල්ලුවේ. එනම් ආර්ථික තිරසාර මට්ටමින් කළමනාකරණය කරගෙන යෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග හරි හැටි අතීතයෙදී අරගෙන නැහැ. අප පසුගිය වසර 20 – 25 මොකක්ද කරන්න ඕන කියල දැනගෙන හිටිය. අපි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා නැහැ. අපට මේ වන විට ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒ තුළින් අප දිහා බලන් ඉන්න බාහිර පාර්ශ්වයන්ට රට කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවා ද කියල කෙටිකාලීනව පමණක් නොව දිගුකාලීනව ස්ථාවර කරගන්නවාය කියන විශ්වාසය ඇති වෙනවා. ඒ ඇතිවෙන විශ්වාසය තමයි වැදගත් වෙන්නේ.’
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අප සිටිනා ඇත්තම තත්ත්වය සහ අප මේ තත්ත්වයට පත් වීමට හේතුව රටට පෙන්වා දී ඇත. මේ ආර්ථික බලධාරීන් හමුවේ ඇත්තේ බංකොලොත් වූ රටක්, ඝාතනය වූ ආර්ථිකයක් නැවත යථා තත්ත්වයට ගැනීමේ අභියෝගයයි. එය ලෙහෙසි පහසු නැත. ඒ අතරින් මේ කාලයේ ආර්ථිකය කළමනාකරණය ඉතාමත්ම දුෂ්කරම කටයුත්ත බව ද පෙනේ. ඒ අභියෝගයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පමණක් නොව මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ මුළු රජයම මුහුණ දී සිටින බව පෙනේ.
● සහන සැලසීම
ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ විනිමය අර්බුදයේ පතුලේ සිටිමින් ඉන් ගොඩ ඒමට අපි මේ වන විටත් උත්සාහ කරමින් සිටිමු. මේ වන විට පෝලිම් තත්ත්වය නැති වී යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණත් අප තවමත් සිටින්නේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසන පරිදිම ආර්ථික අර්බුදයේ පතුලේය. අප මේ උත්සාහ කරන්නේ අයිඑම්එෆ් සහාය ද ලබා ගනිමින් ක්‍රමයෙන් අප වැටී සිටින ආර්ථික අගාදයෙන් ගොඩ ඒමටය. ඒ ක්‍රියාවලියේ දී කිරීමට සිදුවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයකි. ඒවා ක්‍රියාත්මක කිරීම රජය විසින් දැනටමත් පටන් ගෙන ඇති අතර ඉදිරියට ද එම ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉදිරියට යෑමට සිදුවනු ඇත. මෙය පහසු ගමනක් නොව දුෂ්කර සහ වේදනාත්මක ගමනකි. මේ ගමන යෑමට මේ සම්බන්ධයෙන් මහජන සහාය ද අවශ්‍ය වනු ඇත. එසේම සමාජයේ අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් වෙන අය වෙනුවෙන් සහන සැලසීමට රජය සිදුවෙනු ඇත. ඒ සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කිරීමට රජය විසින් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ මැදිහත් වීමෙන් සියලු සුබසාධක ප්රතිලාභ ලබන්නන් අලුතින් හඳුනා ගැනීමට පියවර ගත්තත් එය සිදු කරන ප්‍රාදේශීය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ එය මේ වන විට ඇණහිට තිබේ. මේ සඳහා වහාම පිළියමක් යොදමින් සුබසාධක ප්රතිලාභ ලබන පිරිස් ඉතා නිවැරදිව හඳුනාගෙන අත්‍යවශ්‍ය සියලු දෙනාට සමාජ ආරක්ෂණය සැලසිය යුතුව තිබේ.
● ඉන්දීය විදේශ ඇමතිගේ පැමිණීම
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මුලින්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමු විය. ඉකුත් ජනවාරි 19 දින රාත්‍රියේ එම හමුව සිදුව ඇති අතර එහිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවල සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරටට ආයෝජන ප්රවාහයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි 19 දින පස්වරුවේ දිවයිනට පැමිණියේය. ආචාර්ය එස්. ජයිශංකර් මහතා සිය මාලදිවයින් නිල සංචාරය අවසන් කරමින් මෙරට සංචාරයට පැමිණ තිබුණ අතර ඔහු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබිණි. මේ හමුවීම්වල දී මෙරටට ලබා දී ඇති ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී ඇත. මේ සමබන්ධයෙන් ඉන්දියාවේ ‘හින්දු’ පුවත්පතේ පළ වූ වාර්තාවක සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඉන්දීය රජය විසින් සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි. එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මේ පිළිබඳව අප රජය දැනුවත් කරනු ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්ව තිබිණි. මෙරටට බලපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලික අරමුණ බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාව පසුගිය වසරේදී විනිමය හුවමාරු පහසුකම් ඇතුළු ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මෙලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් අපට අවශ්‍ය මූල්‍යකරණ සහතික කඩිනමින් ලබා දුනහොත් අපට වහාම අයිඑම්එෆ් එක යොමුව එහි අරමුදල් පහසුකම ලබාගෙන ඉදිරියට ගමන් කළ හැකි වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]