අපූරු පරිකල්පනීය සිතුවම් අඳින තුන් ඈඳුතු සංගීතමය පඨිතයක් – සිම්පල් සයිමන්

228

සංචාරක සාහිත්‍යය (Travel literature ) කියන්නේ පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය සාහිත්‍ය ශානරයකි. එයට හේතුව වන්නේ සංචාරක සාහිත්‍යය අපට නව ස්ථාන, මිනිසුන් සහ අදහස් හඳුන්වාදෙන බැවිනි. ඇත්තෙන්ම විශිෂ්ට සංචාරක සාහිත්‍යයක් අපව පරිකල්පනීය අවකාශය තුළින් ඒ ඒ ස්ථාන හා පුද්ගලයින් ස්පර්ෂ කිරීමට අපට අවස්ථාවක් ලබා දෙයි. ත්‍රාසජනක සහ ගවේෂණ, සංචාරක ලේඛන එකතු කිරීම්, සංචාරක ආශ්‍රිත මතක සටහන් සහ සංචාරක කේන්ද්‍රීය ප්‍රබන්ධ ආදී ප්‍රළුල් ආවරණයක් සිදු කරන අතර ඒ නිසා ම එය පුළුල් සහ ජනප්‍රිය ලේඛන ශානරයක් ලෙස හඳුන්වන්න පුළුවනි.

ස්වයං ලිඛිත චරිතාපදානය (autobiography) යන්නෙන් අදහස් කරන්නේ සාහිත්‍ය ශානරයක් ලෙස වඩාත් නිශ්චිතව, කතුවරයාගේ ජීවිතය හෝ එහි සැලකිය යුතු කොටසක්, ඔහුගේ/ඇයගේ පුද්ගලික චරිත සංවර්ධනය දී බලපෑ ඓතිහාසික, සාමාජීය හා දේශපාලන හේතූන් කිසියම් සංස්කෘතික රාමුවක සිට ප්‍රතිනිර්මාණය කිරීමයි. එය ඇත්තෙන්ම අතීත ආඛ්‍යානයකි.

මීට වඩා වෙනස් ම ආකාරයේ ලිවීමක් වන්නේ ශාස්ත්‍රීය ලිවීමයි. ශාස්ත්‍රීය ලිවීම යන්නට සරලව ම දියහැකි නිර්වචනය වන්නේ සවිස්තරාත්මක ලෙස කරුණු හා තොරතුරු තාර්කික පදනමක පිහිටා ලිවීම යි. ශාස්ත්‍රීය ලිවීමේ වඩාත් පොදු අරමුණ වන්නේ යම් අදහසක් හෝ පර්යේෂණ සොයා ගැනීමක් පැහැදිලි කිරීම සහ එම පැහැදිලි කිරීම හා අදාළ විෂයානුබද්ධ න්‍යාය නිවැරදි බව පාඨකයන්ට ඒත්තු ගැන්වීම යි.

එකිනෙකට වෙනස් ආඛ්‍යාන ශෛලීන් තුනක් හා ඒවායේ අරමුණු ගැන මේ පූර්විකාව සටහන් කරන්නේ විෂ්ණු වාසු ගේ “සිම්පල් සයිමන්” කෘතිය කියවා එයට යම් සටහනක් තබන්නට අවශ්‍ය වූ බැවිනි. එයට බලපෑ ආසන්නම හේතුව නම් මෙම කෘතිය උක්ත ආඛ්‍යාන ශෛලීන් තුනෙහිම සම්මිශ්‍රණයක් ලෙස දැනෙන නිසා ය. එම නිසා මෙම (A fertile birth) යන පදනම් අදහසේ තබා මෙම සටහන ලියන්නට කැමැතියි.

සිය ජීවිතයේ කලාව අතපත ගාන්නට ලැබුණ අවධියෙන් සිය මතක සංචිතය අවධිකරන විෂ්ණු ශ්‍රී ලංකාවේ සමාස්ථාන තූර්යභාණ්ඩ වාදකයකු (Percussion Player ) ලෙස ඝටම් තාලවාද්‍ය භාණ්ඩය සමග සම්මුඛවීම දක්වා දිගු ඉතිහාසයක් පුරා මේ කෘතිය තුළ ආපසු ඇවිද යෑමක් සිදුකරයි. මේ කෘතියේ අපට හසුවන විශේෂත්වය වන්නේ ඔහුගේ සෑම මතකයක් තුළ ම සංචාරකයකු, සිය ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම හෙළිකරන චරිතාපදාන රචකයකු, මෙන්ම සංගීත මානව විද්‍යාව (Anthropology of Music ) පිළිබඳ ශාස්ත්‍රවේදියකු ද යන තිදෙනෙක් එක්වර මුණගැසීම යි.

අපූරු පරිකල්පනීය සිතුවම් අඳින තුන් ඈඳුතු සංගීතමය පඨිතයක් - සිම්පල් සයිමන්

සිම්පල් සයිමන් කෘතිය ඇරඹෙන්නේ විෂ්ණු වාසු ගේ ළමා කාලයේ එක් කාලඡේදයක් සිහිපත් කරමිනි. එහි දී ඔහු, ඔහු ගේ සාහිත්‍ය කලා ලෝලීත්වය හා එය පෝෂණය කරගැනීමට ගනු ලැබූ කටුක උත්සාහය අපට පැහැදිලි කරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නුදුරේ වාසය කරමින් විශ්වවිද්‍යාලයේ කලා සංස්කෘතික ඉදිරිපත් කිරීම් ආස්වාදනය කළ ආකාරය පවසයි. එක් පසෙකින් සිය යාබද නිවසේ භාවිත කළ ගුවන් විදුලියට සවන්දීමේ ඔහු ලැබූ ආස්වාදය විෂ්ණු මෙසේ සඳහන් කරයි.

“අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇනතියා ගත්තේ පන්සලේ බණ මඩුවට ගොඩ වෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.”

මහනුවර ඇසළ පෙරහැර අනතුරුව ඔහුට උත්තේජනයක් සපයයි. පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් ගණන් කිරීම එකල ළමයින්ගේ එක් විනෝදාන්ශයක් වුණි. නමුත් විෂ්ණු පවසන්නේ ඔහු එයින් මිදී පෙරහැරේ වාදනය වෙන සෑම තාල භාණ්ඩ පදයක් ම කටපාඩම් කරගත් බවයි. මතකයේ ඇති බෙරපද තමන්ගේ ගමේ පන්සලේ ඇති බෙර කට්ටලයෙන් වාදනය කරන්නට ගොස් එය වැරදී පන්සලේ හාමුදුරුවන්ගෙන් ටොකු කෑ හැටි ද එයට අඩංගුය. සංගීතය වැනි විශ්වීය විෂයක් හැදෑරීමට නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත යුතු බව අවබෝධ කරගන්නා ඔහු ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉංග්‍රීසි භාෂාවේ අත්‍යවශ්‍යභාවය ළමයින්ට කාන්දු කර නො තිබුණ සමයක තනිව එය හැදෑරීම සඳහා වෙනත් මාර්ග සොයා ගනියි. බටහිර සංගීතය පිළිබඳ ඇල්ම සහ අවධානය ඔහු ලබන්නේ බි්‍රතාන්‍ය කවුන්සිලය පුස්තකාලයෙනි. කර්ණාටක සංගීතය පිළිබඳ සිය ශ්‍රවණේන්ද්‍රිය ඔහු සුසර කරගන්නේ මහනුවර පිල්ලෙයාර් කෝවිලෙනි. අනතුරුව ඔහු මේ දූපතින් අභිනිෂ්ක්‍රමණය කිරීමට සූදානම් වෙයි.

ඔහු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට යන්නේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව හැදෑරීමට වුවත් දෛවෝපගත ලෙස ඔහුට ඔහුගේ සංකේතීය පියා මුණ ගැසී ඔහුගේ ආදරණීය අනුග්‍රහයෙන් කර්ණාටක සංගීතය හැදෑරීමට වාසනාව ලබයි. අනතුරුව මුළු කෘතිය ම ඔහු අතින් රචනාවන්නේ ගුරුකුල ක්‍රමයට ඝටම් වාදන විශාරදයකු වන විද්වාන් වික්කු විනායක්රාම් යටතේ ශිල්ප හදාරන සිසුවකු ලෙස ඉන්දියාවේ ගත කළ ජීවිතය හා ඒ ලද අත්දැකීම් මෙන්ම සංගීතයේ ශාස්ත්‍රීය පසුබිම, සංගීතඥයින්ගේ දැනුම් පරාසය, ජනවාර්ගික සංගීත විද්‍යාව (Ethnomusicology) වැනි ශාස්ත්‍රීය කාරණා දක්වා පැතිරී යයි. ජනවාර්ගික සංගීත විද්‍යාවේ (Ethnomusicology) සංකීර්ණ විචිත්‍රත්වය “කොත්තු”, “පරසුරාමන්”, “අරවාන්”, “සුරේකා”, “යෙල්ලම්මා”, “බාබා”, “ඔබා” වැනි පරිච්ඡේදවලින් අපූරුවට විස්තර කෙරෙන්නේ ඇකඩමියානු ප්‍රවේශයකින් වුවත් සරල පැහැදිලි කිරීමකි.

“මේක එක්තරා ආකාරයක රඟපෑමක්. පොඩි වීදි නාට්‍යයක කොටසක්. ඒ වුණාට සංවේදී මිනිහෙකුට මේ විලාපය අහන් ඉන්න අමාරුයි. අපේ ඇස්වලින් කඳුළු කඩාවැටීම නතර කරගන්න අපහසුයි. ඊයේ පෙරේදා ඇහුණ බෙර සද්දෙට වඩා මේ විලාපය ගැඹුරුයි. ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නකොට මේ විලාපය ඇහෙන්නේ සමුද්‍ර ඝෝෂාව වගේ. එක වරම අඩි ගණන් උසට රළ නැඟෙනවා. ඒත් එක්කම ඒ රළ සමනය වෙනවා. මේ විලාපය ඇතුළේ තෝඩි, චාරුකේෂී, බන්දුරවාලි වගේ පපු කැවුත්ත හිරකරන අතිශය ශෝකී රාග ලක්ෂණ ඇහෙනවා. ” ( අර්වාන් – පිටුව 168 )

“තිණ්ඩිවනම් ගමේ සියල්ලෝ ම වෘත්තීය බෙර වාදකයින්. ඔවුන් ඉතා සංකීර්ණ තාල වාදනයට උපන් හපනුන්. මේ පිරිස කොත්තු කොටන්නේ තාලයට. මේ හැමෝට ම සුවිශේෂී ආරම්භක පදයක් තියෙනවා. තමන්ට ඕඩරයක් ලැබුණු විගස හොඳට අතට බරදාලා ඒ පදය රොටී තැටිය මත වාදනය කළා ම, අවට ඉන්න හැමෝ ම දැනගන්නවා ඔන්න අහවලාට බිස්නස් එකක් ඇවිත් කියලා. මේ කිසි කෙනෙක් තවත් කෙනෙක් අබිබවා තාල වාදනය කරන්නේ නැහැ. ඒ නිසා ම ඉතා අලංකාර ලෙස හඬ උස්පහත් කරමින් එකවර පහළොවක් විස්සක් කොත්තු කොටන මේ හරඹය හරියට ම සංධ්වනියක් වගේ ඇහෙන්නේ. “ (කොත්තු – පිටුව 131)

“සිම්පල් සයිමන්” කෘතියේ ආකර්ෂණීය ම යෙදවුම වන්නේ විෂ්ණු ගේ භාෂා වියමනේ සෞන්දර්යයි. එය සිය කෘතියේ නම ද මූර්තිමත් කරන සරල භාෂා (Simple Language) වියමනක්. විටෙක එය පුරවහරින් පෝෂිතයි. විටෙක ගැමී වහරින්, කථන වහරින් ද පෝෂණය වෙයි. එසේම ශාස්ත්‍රීය කොටසට පිළිපන් සැණින් ඔහුගේ භාෂාව ශාස්ත්‍රීය භාෂා මෙහෙයුමක් බවට පත්කර ගනී. ඔහු මේ සුරුවිරුකම පාන්නේ අති දක්ෂ බස් වඩුවකු පරිද්දෙනි. බස් කෙතරම් සරල වූව ද, ඔහු කිසිම තැනක ඒ බසින් සරසන පඨිතයේ අන්තර්ගතය සරල කරයි. රචකයකු බසෙහි වහලෙකු නොවී, බස තමන්ගේ වහලෙකු ලෙස මෙල්ල කරගන්නේ කෙසේද යන්නට “සිම්පල් සයිමන්” මාහැඟි නිදසුන් වන්නේ ඒ නිසායි. මෙය සංගීතය පිළිබඳ හදාරන්නන් මෙය අත්පොතක් ලෙස පරිහරණය කළයුතු යැයි අප නිර්දේශ කරන්නේ අන්න ඒ නිසා ය. එසේම විෂ්ණු වාසු හුදු සංගීත පර්යේෂකයෙක් පමණක් නොව, රසට ලියන ලියන්නකු බවට අපට දැනෙන්නට ගන්නේත් ඒ නිසා ය.

● කපිල එම්. ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment