අපේකමට මුල්තැනදී රටේ පළමු නිදහස සැමරූ හැටි…

139

වසර දෙදහස් හයසිය ගණනකටත් ඈත ඉතිහාසයේ සිට අප රට විවිධ විදේශීය පහරදීම්වලට ගොදුරු වී තිබුණි. මුල්ම යුගයේ සොලීන්ගෙන් සහ ද්‍රවිඩයන්ගෙන්ද, ඉන්පසුව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන අපරදිග ජාතීන්ගේ පහරදීම්වලට අප රට ලක්විය.

උඩරට රජුට ඉතාමත් කුළුපගව සිටි ඇහැලේපොල අදිකාරම් ඉංග්‍රීසීන්ට එකතුවීම නිසා, ඉංග්‍රීසීන්ට අභියෝගයක්වූ, කන්දඋඩරට රාජධානිය අල්ලා ගැනීමට ඔවුනට හැකිවිය. 1815 පෙබරවාරි 18 දින මැද මහනුවර බෝමුරේ, උඩපිටියරාළගේ නිවසේදී, සපරගමුවේ සිට සිංහල සෙබළුන් පන්සියයක් සමගින් ඉංග්‍රීසි සේනාංකයක් සමගින් පැමිණි එක්නැලිගොඩ මොහොට්ටාල ශ්‍රී වික්‍රමසිංහ රජු සිරභාරයට ගන්නා ලදී.

1815 මාර්තු දෙවන දින එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාවූ රොබට් බ්‍රවුන්රිග් ඇතුළු පිරිසක් සහ සිංහල ප්‍රධානීන් මහනුවර මඟුල් මඩුවට රැස්වී, උඩරට රාජ්‍යය එංගලන්තයේ තුන්වන ජෝර්ජ් රජුට පවරා දෙනු ලබන ගිවිසුමකට අත්සන් කළේය. එදා සිට ශ්‍රී ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයට අයත් යටත්විජිතයක් බවට පත්විය.

වසර එකසිය තිස්තුනක පරාධීන කාලයකට පසු, එක් දහස් නවසිය හතළිස් අටේ ලද නිදහස ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැමරීමට ඩී. එස්. සේනානායක ප්‍රමුඛ එවකට පැවැති රජයට අවශ්‍ය විය.

උත්සවය පැවැත්වීමට තීරණය වූයේ දැනට නිදහස් මන්දිරය පිහිටි ස්ථානයේය. එවකට එය හිස් භූමියක් විය. තුරඟ තරග සමාජයට අයත්ව තිබූ එම බිම් කොටස රුපියල් පන්ලක්‍ෂයක මුදලකට මිලදී ගෙන තිබුණේ එයට ඉතාමත් සමීප කාලයේය.

හිස් පිට්ටනියක්වූ එම භූමියෙහි උත්සව සභාව පැවැත්වීමට තාවකාලික ගොඩනැඟිල්ලක් ඉදිකිරීම අවශ්‍ය විය. එහි බාහිර සැරසිලි අපේ පුරාණ චිත්‍ර සහ මූර්ති සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ යුතුවිය.

ඉදිකිරීම් කටයුතු භාරවූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවටය. දේශීය සංස්කෘතික උරුමයේ අංග ලක්‍ෂණ කියා පාන්නාවූද, අපට ආවේණික ගෘහ නිර්මාණ ශෛලීයයන්ගේ ලක්‍ෂණ මූර්තිමත් කරන්නාවූද ආකාරයෙන් මෙම ස්මාරකය සැලසුම් කරන ලද්දේ එවකට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියාවූ ලී. ඇන්. වින්ජෝන්ස් විසිනි.

එය ආයත චතුරස්‍රාකාර හැඩයකින් යුක්ත විවෘත ගොඩනැඟිල්ලක සැලැස්මක් විය.

අපේකමට මුල්තැනදී රටේ පළමු නිදහස සැමරූ හැටි…

තාවකාලිකව ඉදිකළ නිදහස් මන්දිරයේ සැරසිලි සහ බාහිර අලංකරණ කටයුතු භාරවූයේ එකල ටෙක්නිකල් කොලීජිය යනුවෙන් හැඳින්වුණ රජයේ කලායතනයේ චිත්‍ර උපදේශක ජේ. ඩී. ඒ. පෙරේරා මහතාටය. එකල ඔහුගේ ගෝලයකුවූ කලාසූරී එස්. පී. චාල්ස් මහතා ඇතුළු කීපදෙනෙක්ම අලංකරණ කටයුතු සඳහා පැමිණියහ.

එදින එම අත්දැකීම් එස්. පී. චාල්ස් මහතා පැවැසුවේ මෙසේය.

මුල්ම නිදහස් දින උත්සවය තිබ්බේ නිදහස් චතුරස්‍රයේ අද ඔය නිදහස් මන්දිරය තියෙන තැන පිට්ටනියේ. නිදහස් උත්සවය තියන්න නිදහස් මන්දිරයක් එහෙම හැදුවා. නිදහස් මන්දිරයට ඉස්සරහ දෙපැත්තෙ මකර තොරණ දෙකක් හැදුවා. ඒ නිදහස් මන්දිරයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවා තරුණ ද්‍රවිඩ කෙනෙක්. එච්. ආර්. ප්‍රේමරත්න මහත්මයා තමයි දෙවන ඉංජිනේරුවා. ඉතින් අර මකර තොරණ ගෙනැල්ලා නිදහස් මන්දිරයේ හයිකළොත් ඒකෙ බරට නිදහස් මන්දිරය කැඩිලා රාජ්‍ය නායකයන්ටත් අනතුරු සිද්ධවෙයි කියල ප්‍රධාන ඉංජිනේරුවා කිව්වා. එයා කිව්වා එතැන මකර තොරණ හයිකරන්න එපා කියලා.

ඒ කතාව සිදුවන තැන සෝලියස් මැන්දිස් එහෙමත් හිටියා. ආ ඕක මම පිදුරුවලින් හරි ගස්සලා දෙන්නම්කෝ කියලා. මම ඒ වෙලාවෙ හිතුවෙ සෝලියස් මැන්දිස් උපහාසයට කිව්වාය කියලා. ඒත් අන්තිමෙට සෝලියස් මැන්දිස් අපූරුවට මකර තොරණ දෙකක් හැදුවා. පිදුරුවලින් හැදුවාට ඕනෑම කෙනෙකුට ඒ තොරණයේ සියුම් වැඩ දැක්කම හිතෙන්නෙ තනිකරම සිමෙන්ති බදාමයෙන් හැදුව කියලා. ඔය මකර තොරණට මුරගල් දෙකක් තිබුණා. අපි ඔය මුරගල්වලට ඒ විදියටම අච්චු ගන්න අනුරාධපුරයට ගිහිල්ලා සතියක් විතර හිටියා.

පාර්ලිමේන්තුවේ සෙංකෝලය, සෙනෙට් මණ්ඩල ලාංඡනය, 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ නිල මුද්‍රාව ආදී ඓතිහාසික නිර්මාණ රාශියක් බිහිකර ඇති කලාසූරී එස්. පී. චාල්ස් මහතා වැඩිදුරටත් පවසා තිබුණේ අනුරාධපුර ථූපාරාමයේ මුරගල්වල අනුරූ එසේ පළමු නිදහස් දින උත්සවයේ ප්‍රෞඪත්වය වැඩිකර ගැනීම සඳහා එලෙසින් එක්කර ගත් බවය.

තාවකාලිකව ඉදිකර තිබූ නිදහස් උත්සව මන්දිරයේ ඉදිරිපස උස් වේදිකාවක් ඉදිකර තිබුණි. වේදිකාවේ කැපී පෙනෙන තැනක දැවැන්ත ඇත්දළ ජෝඩු තුනක් රඳවා තිබුණි. වේදිකාව මත සුදු පැහැති පළසක් අතුරා තිබූ අතර, අමුත්තන් වේදිකාවට පිවිසෙන පඩි පෙළට රතු පළසක් එළා තිබුණි.

ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේ උත්සවයට බි්‍රතාන්‍ය කිරීටය නියෝජනය කිරීම සඳහා ග්ලෝස්ටර්හි ආදිපාද හෙන්රි කුමරු සහ එම ආර්යාව පැමිණ සිටියෝය.

කළුපාට පසුබිමේ, රත්රන් පාට ඉරි ඇති රෙද්දෙන් මැසූ සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා සැරසී සිටියේය.

ලංකාවේ එවකට ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මුවර් සහ ඔහුගේ බිරිඳ ප්‍රධාන ආරාධිතයන් අතර විය. එතෙක් ආණ්ඩුකාරවරයා වශයෙන් හැඳින්වුණ හෙන්රි මුවර්ගේ නිල නාමය නිදහස ලැබීමෙන් පසු ආග්‍රාණ්ඩුකාරවරයා ලෙස වෙනස් විය.

ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්, ආගම්, සංස්කෘතීන් නියෝජනය කරන්නන් උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයන් අතර විය. උඩරට පහතරට, සිංහල, ද්‍රවිඩ, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, හින්දු, මහමත් සහ සියලුම ආගමිකයන්ගේ නියෝජනයක් එම ප්‍රභූන් අතර විය. ජී. ජේ. පොන්නම්බලම්, අරුණාචලම් රාමනාදන්, සහ ටී. ජයා ඇතුළු විවිධ ජාතීන්ට අයත් ජනනායකයෝද වූහ.

උත්සවය පැවැත්වූ මන්දිරයෙන් පිටත ආධාරකයක බි්‍රතාන්‍ය කොඩිය ඔසවා තිබුණි. ඒ අසලම අපේ ජාතික කොඩියද විය. ග්ලෝස්ටර් ආදිපාදවරයා බි්‍රතාන්‍ය ජාතික කොඩිය පහත දැමූ අතර, ඩී. එස්. සේනානායක මහතා සිංහ කොඩිය එසවීය.

ප්‍රථම නිදහස් උත්සවයේදී බි්‍රතාන්‍ය නියෝජනය කරමින් ග්ලෝස්ටර්හි ආදිපාදවරයා කතා කළේය.

එවකට ඩී. එස්. සේනානායක රජයේ නියෝජ්‍ය නායකයා මෙන්ම, සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැතිවරයාද, සභානායකවරයාද වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඊළඟට කතා කළේය.

“ඉංග්‍රීසීන්ගෙන් අප ලබාගත්තේ ව්‍යවස්ථාදායක නිදහසක්. මේ අපට ලැබුණු අලුත් නිදහස සාර්ථක වෙන්නෙ මහජනතාවට නිදහස ලැබුණොත් විතරයි. කරුණු හතරක් පිළිබඳව මහජනතාවට නිදහස් ලැබෙන්න ඕනෙ. එහෙම නැතිනම් නිදහස යන්න හුදු දේශපාලන සංකල්පයක් පමණක් වේවි. මහජනතාව නිදහස ලබන්න නම් අවිiාවෙන් නිදහස ලබන්න ඕනෙ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් මිදෙන්න ඕනෙ. බයෙන් නිදහස් වෙන්න ඕනෙ.”

පළමු නිදහස් දින උත්සවයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ කතාවේ ඇතුළත් වූයේ එම අදහස්ය. එය විනාඩි දොළහක් පමණ දීර්ඝ කතාවක් විය.

හතළිස් අටේ පළමු දින උත්සවයේදී ගායනා වූයේ, පී. බී. ඉලංගසිංහ නොතාරිස් මහතා විසින් රචනා කර, ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය” යන ජාතික ගීතය විය. නමුත් එම ජාතික ගීය එදිනට පමණක් සීමාවිය. ජාතික ගීතයක් තෝරාගැනීම සඳහා පැවැත්වුණු තරගයේ පී. බී. ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ විනිශ්චය මණ්ඩලයේ සිට එම ගීතය පළමු තැනට තේරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය. එනිසා ආනන්ද සමරකෝන් පද රචනා කර තිබූ සංගීතවත් කර ස්වර්ණා ද සිල්වා ගායනා කර තිබූ දේශාභිමාන ගීතයක් වූ “නමෝ නමෝ මාතා” ජාතික ගීතය වශයෙන් පිළිගෙන 1949 දෙවන දින උත්සවයේදී ගායනා විය.

ප්‍රථම නිදහස් දින උත්සවයේ තවත් විශේෂාංගයක් වූයේ, ඉංග්‍රීසීන්ට වසර 133 ක් යටත්ව සිට නිදහස ලැබීම සංකේතවත් කිරීමට පරවියන් 133 ක් නිදහස් කිරීමය. එසේම ලංකාවේ සතර දිග් භාගයෙන් තරුණයෝ සතර දෙනෙක්, නිදහස් ලියැවිල්ල ලියැවුණ පුස්කොළ පොත් හතරක් රැගෙන විත් උත්සව මන්දිරයේ මැද තිබූ පෙට්ටියක තැන්පත් කළෝය.

මෙසේ පැමිණි එක් අයෙක් පසු කලෙක විදේශ ඇමැතිවරයා වූ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාය.

එම පුස්කොළ පොත් හතර ඇතුළත් මංජුසාව පසු කාලයක ඉදිකළ නිදහස් මන්දිරයේ තැන්පත් කරන ලදී. අදත් ඒවා එහි නිරුපද්‍රිතව ඇත.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment