අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය

105

ටවර් හෝල් පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. පී. දිසානායක කරුණු දක්වයි

දින 15 ක් පුරා පැවැති අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය 2023 ටවර් නාට්‍ය උළෙල සාර්ථකව අවසන් වූ බැව් ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. පී. දිසානායක මහතා පසුගිය 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

මෙම නාට්‍ය උළෙල අවසන් වනවිට 15,000 කට අධික ප්‍රේක්‍ෂක පිරිසක් නාට්‍ය උළෙල නරඹා තිබූ බවද, පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 24ක්, කෙටි නාට්‍ය 12 ක් සහ ළමා නාට්‍ය 02 ක් ඇතුළත්වූ බැව්ද සඳහන් කළේය.

කොළඹ 10, මරදාන එලිෆින්ස්ටන් හා ටවර් රඟහල කේන්ද්‍ර කරගනිමින් දර්ශන වාර දෙක බැගින් පැවැති මෙම නාට්‍ය උළෙල සඳහා ශිල්පීන්, ශිල්පිනියන් 400 කට අධික පිරිසක් එක්වූ බැව්ද සඳහන් කළේය.

මෙවැනි අභියෝගාත්මක කාලසීමාවක නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම තුළින් අපේක්‍ෂිත අරමුණ ඉටුවේද? යන සැකයක් තිබූ බැවින් අපේක්‍ෂිත සීමාවන්ට වඩා ඉහළයමින් ඉහළ මට්ටමේ ප්‍රේක්‍ෂක සහභාගිත්වයක් සහිතව නාට්‍ය උළෙල අවසන් කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බැව් අධ්‍යක්‍ෂ ජනරාල් දිසානායක මහතා තවදුරටත් සඳහන් කළේය.

මෙම නාට්‍ය උළෙල සඳහා මෙවර නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් “දිවයින” ‘ඔයැ ෂික්බා” පුවත්පත් මගින් ලැබුණු ප්‍රචාරය නාට්‍ය උළෙල සාර්ථක කරගැනීමට මහත් පිටිවහලක් වූ බැව්ද හේ තවදුරටත් සඳහන් කළේය.

ඉදිරි වසරවලද ජනවාරි මාසය නාට්‍ය මාසයක් ලෙස නම්කර නාට්‍ය උළෙල සංවිධානය කිරීමට අපේක්‍ෂා කරන බැව්ද සඳහන් කළ දිසානායක මහතා මෙම නාට්‍ය උළෙලේ සම්පුර්ණ ආදායම එකී නාට්‍ය නිෂ්පාදකයන්ට ලබාදීමට කටයුතු කළ බැව්ද සඳහන් කළේය.

ටවර් හෝල් රඟහල පදනම සහකාර අධ්‍යක්‍ෂ චන්දන විජේසුන්දර බණ්ඩාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්විය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment