අපේක්‍ෂා රෝහලේ රෝගීන් බලන්න පවුල් පිටින් එන්න එපා

361

මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පවුල් පිටින් එන්න එපා. එලෙස පැමිණීම කොවිඞ් වෛරසය විතරක් නෙවෙයි අනෙකුත් රෝග වාහක පැතිරීමටත් හේතුවක්’’ යැයි මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (26 වැනිදා) පැවැසීය.

රෝහලේ සායන කටයුතු, බාහිර රෝගී අංශයේ කටයුතු සතියේ දින 7 පුරාම පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරෙන බව ද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂවරයා මෙසේද කියා සිටියේය.

‘‘අපේක්‍ෂා රෝහලේ මේ වෙනකොට රෝගීන් 500 ක් විතර නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. දරුවෝ 100 ක් විතර ප‍්‍රතිකාර ලබනවා. කොවිඞ් රෝගීන් 35 දෙනෙක් ප‍්‍රතිකාර ලබනවා. පවතින තත්ත්වය හමුවේ රෝහල තුළ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් බලන්න එන පුද්ගලයන් සීමාකරන්න වෙනවා. සියලූදෙනාගෙන් ඉල්ලා සිටින්නේ පවුල් පිටින් රෝගීන් බලන්න එන්න එපා කියලයි. මොකද කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කරන්න කියලා සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා.’’’

රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුම කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙක හා බූස්ටර් එන්නත ලබාගනෙ අවසන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment