අපේ අයිතීන් කතා කරන්න පාර්ලිමේන්තු නියෝජනයක් ඕන – ආදිවාසී නායක වන්නියලා ඇත්තෝ

78

ආදිවාසි නායක වන්නියලා ඇත්තන් මේ රටේ සෑම සමාජ ස්ථරයකම සම්භාවනාවකට පත් චරිතයක් වී තිබෙන්නේ ස්වකීය ප්‍රජාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නායකත්වයේ ගුණාංග සහ ඔහු සතු සෘජු ගතිය හේතුවෙනි. මේ රටේ කවර තරාතිරමක නායකකාරකාදීන්ගේ වත්මන් දේශපාන ක්‍රියාකලාපයන් විවේචනය කළ ඔහු පාර්ලිමේන්තුව නරකාදියක් ලෙස දුටු ඉතිහාසයක් ද තිබේ. එහෙත් වන්නියලා ඇත්තන් පසුගියදා එම ප්‍රකාශයන්ට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආදීවාසී නියෝජනයක් ලබා ගැනීමේ කාලය එළඹ ඇති බවයි. ආදිවාසී නායකයාට හිටි හැටියේ පාර්ලිමේන්තුවේ නියෝජනයක අවශ්‍යතාවක් පැන නැඟීමේ හේතුව කුමක්ද ? අපි ඔහුගෙන් විමසුවෙමු.

ඒ වගේ දෙයක් කියන්න හේතු වුණේ මේ රටට ඡන්ද ක්‍රමය ආවට පස්සෙ කාලයක් තිස්සේ මමත් ඡන්දය දාල තියෙනවා. අපේ පරම්පරාවල මිනිස්සුත් මේ ඡන්දය භාවිතා කරල තියෙනවා. හැබැයි අද දවස වෙනකන්ම මේ රටේ ඉඳල තිබෙන ආදීවාසී මිනිස්සුන්ගෙ අයිතීන් රැකගැනීමට උනන්දු වෙන බවක් පේන්න නෑ. මෙතන තමයි මේ මිනිස් කොට්ඨාශයේ ඉතිහාසය සංස්කෘතිය තියෙන්නෙ. ඒක ආරක්ෂා කරන්න ඕන කියන තැන හැබෑවටම උනන්දුවෙන් කවුරුත් හිටිය බවක් පේන්න නෑ. නමුත් ලෝකයේ වෙනත් රටවල්වල පාසල් අධ්‍යාපනයේදී ඒ ඒ රටවල ජීවත්වෙන ආදීවාසී මිනිස්සු ගැන කතා කරනවා. ඒ අයගේ අයිතීන් ගැන නීති හදන තැන්වලදී කතා කරනවා. ඒත් අපේ රටේ ඒ නීති හදන තැන හැමදාම කතා දමන්නෙ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන කණ්ඩායම් ගැන විතරයි. ඒ අයගේ අයිතිවාසිකම් ගැන විතරයි කතාවෙන්නේ. මම සහභාගි වුණා කොළඹ තිබුණ එක රටක් එක නීතියක් කියන වැඩසටහනකට. මම එතැනට ගියාමත් එතැන කතා වුණේ ආදීවාසීන් ගැන නෙමෙයි මුස්ලිම් ජනතාව ගැන. ඉතින් මට හිතට ආවා අපේ රටේ ආදීවාසී පරම්පරාව තව කාලයකදී අවසන්වෙලා යාවී. හැබැයි මේ කාලෙ වෙනකොට නගරයට ගිහින් හොඳට ඉගෙනගෙන ලෝකය ගැන දන්න මේ පරම්පරාවේ ආදීවාසී තරුණ තරුණියෝ ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි. හැම අදිවාසී ගමකම පැසල් ගිහින් උපාධි ගත්ත දැනුම තිබෙන ආදීවාසී තරුණ කොටස් දැන් ඉන්නාව. ඉතින් මොන එහෙකටද එහෙම තියෙද්දිත් මෙහෙට වෙලා ඉන්නෙ කියල ඒ තරුණයො තරුණියන්ටත් හිතෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයගේ අයිතීන් ලබා ගැනීමටයි මම කතා කළේ. ජාතික ලැයිස්තුවෙන් ඒක ලැබෙන්න ඕන කියන එකයි මම හිතන්නෙ.

ඒත් ඔබතුමා පාර්ලිමේන්තුවත් මේ රටේ දේශපාලනය කරන විදියත් මීට කලින් දැක්කෙ මඩ ගොහොරුවක් වගේ. අයිතීන් ලබා ගැනීමට කියල එහෙම තැනකට යන එක දැන් හොඳයිද ?

කතාවක් තියෙනවා මඩක් තිබෙන්න ඕන මලක් පිපෙන්න. මඩ ගොහොරුවකින් තමයි නෙළුම් මලක් හැදෙන්නෙ. ඒ හින්දා සමහර වෙලාවට එතැනදී ආදීවාසීන් ගැන හඬක් නඟන්න හෝ අවස්ථාවක් තියෙයි.

අපි දන්න ඉතිහාසය අනුව පාරලිමේන්තුවට ගිය සත්ගුණවත් මිනිස්සු පවා කුසලානයට වැටුණ මිදි වුව විස වුව ඒ හැඩය ගන්නවා වගේ එකම හැඩයට හැරෙනවා. පාර්ලිමේන්තුවේදී ආදිවාසී නියෝජිතයාට පුළුවන් වෙයිද එහෙම නොවී ඉන්න. තමන් ආව අරමුණ වෙනුවෙන් සිටින්න ?

ඇත්තටම මේ ඇත්තන්ටත් ඔය සැකය තිබෙනවා. ඉස්සෙල්ලාම අපි හිතන්න ඕන ජාතිය ගැන, රට ගැන, වරිගය ගැන. ඒක කතාවට පුරුද්දට කියවනවා විතරක් නෙවෙයි. හිතින්ම ඒක තියෙන්න ඕන. එහෙම කෙනෙක් ඔතනට ගියොත් මොන තාන්න මාන්න ලැබුණත් ඒ ඇත්තො ජාතිය ගැනම හිතල වැඩ කරයි.

ඒ වගේ නම් කරන්න පුළුවන් ආදිවාසී තරුණයෙක් හිතේ ඉන්නවාද? සමහරු කියන්නෙ වසන්ත මුදලිගේ හිතේ තියාගෙන ඔබතුමා මේ ප්‍රකාශය කළාය කියල?

මම කිව්වෙ අදහසක් විතරයි. ආදිවාසීන්ට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් හරි මන්ත්‍රීකමක් ලැබෙන්න ඕන කියල. කවුරුවත් හිතේ තියාගෙන මේ ප්‍රකාශය කළේ නෑ. කොහොමත් වරිග සභාව කැඳවල තමයි එහෙම නියෝජනයකට කැකුලෙක් නම් කරන්නෙ.

ඔබතුමාට ජාතික ලැයිස්තුවෙන් මේ අවස්ථාව ලැබුණොත් ?

මට නම් එහෙම යන්න අදහසක් නෑ. මම නායකයෙක් හැටියට අනාගත පරම්පරාවට ඒ අවස්ථාව අරන් දෙන එකම තමයි යුතුකම. මගේ නම් බලාපොරොත්තුවක් නෑ ඔය වගේ තැනකට මේ කාලේ ගිහින් බැනුම් අහන් ගුටි බැට හුවමාරු කරගෙන එතනට ගිය ප්‍රශ්නයත් අමතක කරගන්න.

ආදිවාසීන්ගේ ඡන්දය අරගෙන ආදිවාසීන්ට කැලයේ ජීවත් වෙන්න තිබුණ අයිතිය සෑම ආණ්ඩුවකින්ම වගේ අහිමි කළා. සංස්කෘතික අයිතීන් නැති වුණා. හිතෙනවද නැවත ඒ සංස්කෘතික අයිතීන් දිනා ගන්න පුළුවන් වෙයි කියල ?

අපේ තාත්තා මියගියාට පස්සෙ මම ආදිවාසී ගම් එකතු කරගෙන නායකයා හැටියට අපට තියෙන ප්‍රශ්න කතා කළා. ඒවා පැවැති ආණ්ඩුවලට කිව්වා. මගේ තාත්තා කටයුතු කළෙත් ආදිවාසීන්ගෙ උරුමය ආරක්ෂා කරගන්න. එයාට හයියට ආදිවාසී කණ්ඩායම් හිටියෙ නෑ. හැබැයි දැන් එහෙම නෑ. දිස්ත්‍රික්ක හයේම ඉන්න ආදිවාසී ජනයා එකතු වෙලා අපේ ප්‍රශ්නයි මම ආණ්ඩුවට කියන්නෙ. ඒකයි අපි කියන්නෙ අපේ සංස්කෘතික අයිතීන් දිනාගන්න ඒ අයිතීන් වෙනුවෙන් හඬක් නඟන්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු නියෝජනය ලැබෙන්න ඕන කියල.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment