අපේ ආර්ථික අර්බුදයට ඉන්දියාවෙන් උගත හැකි පාඩම්

304

1947 වර්ෂයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගන්නා විට ඉන්දියාවේ වාණිජ කටයුතු අධිරාජ්‍යවාදී පාලකයින්ගේ උවමනා එපාකම් අනුව සැකසී තිබිණි. ආහාර හිඟය නිසා වසරකට ලක්ෂ ගණනක් දිළින්දන් මියයෑම සාමාන්‍ය දෙයක් විය. එහෙත් නිදහසින් පසු මහත්මාගාන්ධි, ශ්‍රීනේරු, ආචාර්ය රාධා ක්‍රිෂ්ණන්, රාජේන්ද්‍ර ප්‍රසාද් වැනි ජාතික නායකයන් දුරදක්නා නුවණින් පිළියෙල කරන ලද ජාතික සැලසුම් ඉන්දියාවේ පැවති මේ අඳුරු යුගය ඉක්මනින් නිම කිරීමට සමත් විය.

මුල් විසිපස් වසරේදී ජාතික සැලසුම් කොතෙක් දුරට සාර්ථක වූයේදැයි කිවහොත් දුර්භික්ෂයෙන් තදින්ම බැට කෑ භාරත ජනතාවට පරිභෝගික අවශ්‍යතා, ආහාර රෙදිපිළි, සීනි, පෙට්‍රෝලියම්, රථවාහන හා කාර්මික නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත වීමට හැකිවිය.

මීළඟ පස් වසරේදී තබන ලද තවක් වැදගත් පියවරක් වූයේ වර්ෂයකට ප්‍රමාණවත් පාරිභෝගික ද්‍රව්‍යයන් ගබඩාකර තබා පසුගිය වසරේ නිෂ්පාදනයන් ජනතාවට නිකුත් කිරීමය. ඇත්තෙන්ම ඉතාම දූරදර්ශි වූ මෙම වැඩපිළිවෙළ අදත් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වේ.

මේ නිසා ඉන්දියාවේ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩක් නැත. එපමණක් නොව අද එවැනි බොහෝ නිෂ්පාදන අතිරික්තය මහා පරිමාණයෙන් පිටරටවලට අපනයනය කිරීමට ද භාරතයට හැකියාව ලැබී තිබේ.

මේ සියල්ලටම හේතුව ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ තීන්දු තීරණ ගන්නේත් ක්‍රියාත්මක කරන්නේත් පරිපාලනය කරන්නේත් ආර්ථික වාණිජ කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වංචාවෙන් හා දූෂණයෙන් තොර උගතුන් අතින් වීමය.

එසේම වර්තමානයේ සමස්ත ඉන්දියාවේම ආර්ථික වාණිජ සැලසුම් මධ්‍යස්ථානය මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වෙයි. ප්‍රාන්ත රාජ්‍යයන්හි අයවැය, ආර්ථික තොරතුරු මාස්පතා සමීක්ෂණයට මෙම ආයතනයට යැවිය යුතු වෙයි. යම්කිසි ප්‍රාන්තයක මෙම තොරතුරු අනුව යම් පසුබෑමක් සිදුව අත්නම් එය වහාම නිවැරදි කිරීම මෙම සැලසුම් මධ්‍යස්ථානයේ එකම වගකීමයි. පරිගණක ජාලයකින් සියලුම ප්‍රාන්ත රාජ්‍යයන් මේ ආයතනයට සම්බන්ධ කර තිබේ. එම නිසා නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවන ආර්ථික බිඳ වැටීමකට ඉන්දියාවේ ඉඩක් නැත. එය වනාහි රටේ බුද්ධිමතුන්ගේ නුවණ හා නවීන තාක්ෂණය එක්කොට ගත් දුරදක්නා නුවණින් තැබූ සංවර්ධනයේ අගනා පියවරක් ලෙස හැඳින්විය හැක. මේ අනුව කටයුතු කළහොත් අද අප වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමක් හා සහනදායී තත්ත්වයක් උදාවේවි යැයි බලාපොරොත්තු විය හැකිය.

ලයනල් පිටියවත්තගේ

advertistmentadvertistment
advertistmentadvertistment