අපේ උරුමය ලොවටම ගෙනගිය  මහා ප්‍රාඥයා

551

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරවයා අභාවප්‍රාප්ත වී ඔක්.4 වැනිදාට වසර 50 කි. ඒ නිමිත්තෙන් පළවන විශේෂ ලිපියකි.
 

 මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අප රටේ ජාතික උරුමය පිළිබඳ තුන්කල් දුටු මහා ප්‍රාඥයෙක් ලෙසින් ලංකාවාසී විද්වතුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව ද ඉතා හොඳින් දන්නා පඬිවරයෙක් බව අපගේ ද පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ගුරුතුමකු වන මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණන් මෙසේ සඳහන් කර ඇත.

 “ඕනෑම විද්‍යාඥයකුගේ වැඩවලින් ඔහු ඉදිරිපත් කරන්නේ අවසාන තීරණයක් නොව සමකාලීන අවබෝධය දියුණු කර එය ඉදිරි පියවරකට ගෙන යෑමකි. පරණවිතාන සූරීහු විද්‍යාත්මකව යෝධයකු මෙන් මේ කාර්යභාරය ඉෂ්ට කළහ. අද අපේ අරමුණ හා වගකීම විය යුත්තේ ඔහුගේ වැඩ පදනම් කරගෙන ඉදිරි පියවර කරා ගමන් කිරීමයි.

 මහාචාර්ය සෙනරත් පරණවිතාන ජ්‍යෙෂ්ඨතම ලාංකික පුරාවිද්‍යාඥයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් ඇතිවිය නොහැකිය. අපේ රටේ ඕනෑම ගමක, ගෙයක, පන්සලක හෝ සභාවක “පුරාවිද්‍යාව” යන වචනයත් සමගම පරණවිතාන මහතාගේ නමත් නිතැතින්ම සිහියට නැඟෙනු ඇත. මීට වඩා අමරණීය අනුස්මරණ ස්මාරකයක් විද්‍යාඥයකුට හෝ ලේඛකයකුට අවශ්‍ය නොවේ. ලංකාවේ පැරණි සමාජයේ හැම අංශයක් පිළිබඳවම පරණවිතාන මහතා කර ඇති පර්යේෂණ හා වැඩකටයුතු නැවත විමසා බලා අද පවතින විද්‍යාත්මක සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඒවා තව ඉදිරියට ගෙනයෑම හා නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් යොදාගැනීම අද අපට පැවරී ඇති වගකීමයි” – පුරාවිද්‍යා මහාචාර්ය සේනක බණ්ඩාරනායක – (තුන්කල් දුටු පරණවිතාන – සිරිසමන් විජේතුංග පි.27- දෙවන මුද්‍රණය 2016) සරසවි ප්‍රකාශන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අභාවයට පත්වී මේ වසරේ ඔක්තෝබර් මස හතර වැනිදාට (අර්ධ ශතවර්ෂයක්) වසර පනහකි. මේ වසර පනහ තුළ එතුමා පිළිබඳ සාමාන්‍ය ජනතාව පවා ඉතා හොඳින් දන්නා හඳුනන බව විවාද රහිතය.

 පැහැදිලි අකුරු කියැවීමට අපහසු වන ඇතැම් අවස්ථාවලදී ගැමි ජනතාව පමණක් නොව විද්වත් ජනතාව ද ප්‍රකාශ කරන ආප්තයක් මෙසේය.

 “මේ අකුරු කියවන්න නම් පරණවිතාන මහත්තය ආවත් බැරිවෙයි”

 මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහා පුරාවිද්‍යාඥයා ඉහතින් සඳහන් කළ කරුණ සමඟ ඒ කාරණය ද බද්ධ වන්නේය. 1986 දෙසැ.26 දා ගාල්ලේ මැටරඹ ග්‍රාමයේ පවුලේ බාල පිරිමි දරුවා ලෙසින් පරණවිතාන දෙමහල්ලන්ට ලැබුණු ඒ දරුවා ලෝක පූජිත මහා විද්වතකු, පුරාවිද්‍යාඥයකු, ඉතිහාසඥයකු වන බව සමහරවිට නොසිතන්නට ඇත. අප එතුමා පිළිබඳ ඊට වඩා විස්තර මෙහි සඳහන් නොකරන්නේ ඒ පිළිබඳ ඉතා ප්‍රකට හෙයිනි. අප මෙහිදී විශේෂ අවධානය යොමු කරවන්නේ අප රට ගැන තුන්කල් දුටු අපේ අතීත උරුමය පිළිබඳ එතුමා ඉදිරි කාලයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ඉසිවර නුවණින් දුටු බව මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කළ යුතුව ඇත.

 THE ARYA KINGDOM IN NORTH CEYLON  (ආර්ය කිංඩම් ඉන් නෝත් සිලෝන්) JOURNAL OF THE ROYAL ASIATIC SOCIETY (CEYLON Branch) Vol.7 (new series) Page 2 P.P.174-224 (1961)

 ඉහත සඳහන් කළ එම ලිපියෙන් අප රටේ නිජබිම් සංකල්පය පිළිබඳ (උතුරු හා නැගෙනහිර) පුරාවිද්‍යාත්මක විග්‍රහයක් ආචාර්ය සෙනරත්

 පරණවිතාන පඬිවරයා විග්‍රහ කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ඉතා සමීපතම (පේරාදෙණි විශ්වවිද්‍යාලයේ) උපාධි අපේක්‍ෂකයකු වූ අපගේ ද ගුරුදෙවියකු වූ මහාචාර්ය අබය ආර්යසිංහ පඬිවරයා මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ලියූ ඉහත සඳහන් ඉංග්‍රීසි ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කර තමාගේම වියදමෙන් “උතුරුකරයේ ආර්ය රාජ්‍යය” නමින් 1986 වර්ෂයේදී ග්‍රන්ථයක් පළ කළේය.

 “දහතුන්වැනි ශතවර්ෂයේදී උතුරු ප්‍රදේශයේ දෙමළ පාලනයක් පැවැති බවට මෑතකදී (1961) ග්‍රන්ථාරූඪ කළ සාක්‍ෂි අනුව ගොඩනඟා ඇති තර්ක අසත්‍ය බව කිව යුතුය. එසේ දෙමළ නිජබිමක් පැවැති බවට තීරණයකට බැසීමට තුඩුදෙන පුරාවිද්‍යාත්මක ශිලාමය හෝ වාස්තු විද්‍යාත්මක සාක්‍ෂියක් නැත. මෙසේ තීරණයකට බැසීමට උපයෝගී වන සෙල්ලිපියක්, කාසියක් හෝ පුරාණ ස්මාරකයක් (පුරාවිද්‍යාත්මක) යාපනය අර්ධද්වීපයෙන් සොයාගෙන නැත. ඉතාම පැරණි යැයි තීරණය කළ හැකි දෙමළ සෙල්ලිපි හමුවන්නේ ලංකාවේ වෙනත් පළාත් වලිනි. යාපනය දිස්ත්‍රික්කයේ පැරණි ස්ථාන වලින් හමුවන මූර්ති මෙන්ම පුරාණ ගොඩනැඟිලි අවශේෂ ද කාසි ආදිය ද අප රටේ අනෙකුත් පළාත් වලින් හමුවන බුදුපිළිම හා ඊට අදාළ වන පුරාණ මූර්ති කැටයම් සහ ගොඩනැඟිලි අවශේෂ වලට සමානය. අප දිවයින ගැන අපමණ විස්තර සඳහන් කරන දකුණු ඉන්දියාවේ ශිලා ලේඛන වල දහතුන් වැනි ශතවර්ෂයට පෙර ලංකාවේ උතුරේ වෙනම දමිළ රාජ්‍යයක් පැවැති බවට සාක්‍ෂි නොමැත.

 යාපනය හා එහි පාලකයන් ගැන විජය නගර ලිපිවල ද ඉඳුරාම සඳහන් වේ. දමිළ භාෂාව භාවිත වූ, භාවිත කළ ප්‍රදේශයන් ගැන කියන පුරාණ දමිළ සාහිත්‍ය පොත්පත් විසින් එම දමිළ භාෂාව භාවිත කළ ප්‍රදේශයක් ලෙසින් ලංකාව ගණන් ගෙන නැත. රටේ අනෙකුත් පළාත්වල සිටි රාජකුමාරවරුන්සේම අනුරාධපුර රජවරුන් යටතේ නාගදීපය පාලනය කර ඇත. වසභ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව.69-109) ස්වකීය ඇමැතිවරයකු විසින් නාගදීපය පාලනය කළ බව ‘වල්ලිපුරම් රන්පත’ මගින්  (VALLIPURAM GOLD PLATE) තහවුරු වී හමාරය. යාපනය අර්ධද්වීපය පමණක් නොව අසල පිහිටි දූපත් කීපය පවා පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව.1153-1186) අණසකට යටත්ව තිබුණු බව ඒ රජතුමා පිහිටුවන ලද නයිනිව් ශිලා ලිපිය තහවුරු කරයි.

 (The ARYA KINDOM IN NORTH CEYLON නම් වූ ග්‍රන්ථය සිංහල පරිවර්තනය – උතුරුකරයේ ආර්ය රාජ්‍යය – මහාචාර්ය අබය ආර්යසිංහ පි.17-18-1986)

 මෙම වල්ලිපුරම් රන්පත හමුවීම සහ ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් සංස්කරණය කරන ලද EPIGRAPHIA ZEYLANICA ග්‍රන්ථයෙහි IV වෙළුමේ (පිටු අංක 229-237) පළකර ඇති බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. වල්ලිපුරම් නමැති පුදබිම යාපනය දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පිහිටියේය. වල්ලිපුරම් ගමේ පුරාණ බෞද්ධ පුදබිමක් මත ඉදිකරන ලද විෂ්ණු කෝවිලක් සාදා තිබුණු නටබුන් කැණීම් කරන විට මෙම වල්ලිපුරම් රන්පත හමුවී ඇත. වල්ලිපුරම් රන්පතෙහි සඳහන් වී ඇත්තේ පේළි හතරකි. බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇත්තේ මෙසේය.

“සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
 ඉසිගිරයෙ නකදිව බුජමෙනි
 බදකර අතනෙහි පිය ගුත තිස
 විහර කරිතෙ.”


 මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් පළ කරන ලද ඉහත සඳහන් ග්‍රන්ථයේ අර්ථ දෙකක් ඇත.

 1ග වසභ රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරය අමාත්‍යවරයා නකදිව පාලනය කරද්දී බදකර අතනෙහි පියංගුක තිස්ස විහාරය කරවන ලදී.

 මෙයින් කියැවෙන අනෙක් අර්ථය මෙසේය.

 වසභ රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරය අමාත්‍යවරයා නකදිව පාලනය කරන කල්හි බදකර අතනෙහි පියංගුක තිස්ස විසින් විහාරය කරවන ලදී.

 මෙහිදී පැහැදිලි වන ප්‍රකාශ දෙකකි. ඉන් එකක් නම් අනුරාධපුරයේ රජ කළ වසභ රජුගේ කාලයේදී ඔහුගේ අණසක යටතේ නකදිව හෙවත් යාපනය පැවැති බවය. අනෙක් කරුණ නම් මෙහි බෞද්ධ විහාරයක් ගොඩනැඟීමය. වසභ රජතුමාගේ නම මෙහි සඳහන් වන්නේ වහය යන නාමයෙනි.

 ක්‍රි.ව. දෙවන සියවස වන තරම් ඈත කාලයක මෙහි බෞද්ධ විහාරයක් පැවැති බවය. එමෙන්ම ඒ කාලයේ වසභ රජුගේ පාලනය යටතේ මෙකල යාපනය (නකදිව) පැවැති බවය. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග පි.32-33 ප්‍රථම මුද්‍රණය – 2003)

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා (1940-1956)

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බි්‍රතාන්‍ය පාලනය යටතේ 1890 ජූලි මස හත් වැනිදාය. එහි ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ ද ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු එච්. සී. පී. බෙල් මහතාය. ඔහු 1890 සිට 1912 තෙක් එම තනතුරේ සේවය කළේය. ඉන්පසු ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සහකාර ලෙසින් පත්වූයේ 1923 දීය. ඉන්පසු එකල ඒ. ඇම්. පෙන්කාට් පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් සෙනරත් පරණවිතාන තරුණයාට වැඩිදුර පුරාවිද්‍යාව පිළිබඳ ඉගෙනීම සඳහා ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් ලබාදුන්නේය. මෙම පුහුණුවෙන් පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට අයත් සියලුම අංග ගැන අවබෝධයක් ලැබූ සෙනරත් පරණවිතාන තරුණයා නැවත 1926 දී පළමු තනතුරේ රාජකාරි කටයුතු කරගෙන ගියේය. ඉංග්‍රීසි භාෂාව මෙන්ම පාලි හා සංස්කෘත භාෂාව පිළිබඳව ද ප්‍රවීණයකු වූ පරණවිතාන තරුණයාට පුරාවිද්‍යාව පිළිබඳ දැනුම පමණක් නොව දෙමළ භාෂාව පිළිබඳ ඉතා පුළුල් දැනුමක් ඉන්දියාවේදී ලබාගැනීමට හැකිවිය. මේ අතරේ පරණවිතාන තරුණයාට පුරාවිද්‍යා කොමසාරිස් තනතුරේ වැඩ බැලීමට ද කීප අවස්ථාවකදීම ඉඩ ලැබුණි. ඒ අතරේ ඔහු විසින් ලියන ලද ඉතා විශිෂ්ටතම ග්‍රන්ථයක් වූ THE STUPA IN CEYLON (ස්තූප ඉන් සිලෝන්) ග්‍රන්ථයේ මුල් පරිච්ඡේද හතර සහිත නිබන්ධනයට ඕලන්දයේ ලෙයිඩ්න් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලදී. පුරාවිද්‍යා කොමසාරිස් තනතුර හෙබවීමට මෙය ද ඉතා අත්‍යවශ්‍යම සුදුසුකමක් වූයේය.

 ඉන්පසු 1940 වර්ෂයේදී ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත් වූයේය. ලංකාවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාය.

සිරිසමන් විජේතුංග
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ සහ
 මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment