අපේ කරවල කියා අපි කන පිටරටින් එන කරවල

1351

කට්ට කරවල කිලෝ 1000 ක් ගත්තොත් ලංකාවෙ කට්ට කරවල කිලෝ 10 යි තියෙන්නෙ…
පිටරටින් තෙත මාළු ගෙනත් අපේ රටේ වේලනව…
ලංකාවේ වැඩිපුරම විකිණෙන්නෙ වියළි හාල්මැස්සො…
වියළීමේ ක්‍රමවේදය අනුවත් කරවල රසය වෙනස් වෙනව….

ඒ සුවඳ එක්කත් බත් කන්න පුළුවන්… පැරැන්නන් නිතර එසේ පවසනු අප කුඩා කළ කොතෙකුත් අසා ඇත. යමෙක් එසේ පවසන්නේ මස්, මාළු කරවල ආදිය ආහාරයට එක්කර ගැනීමේදී එහි පවතින රස සුවඳ කොතෙක් දැයි පැවසීම පිණිසය. විශේෂයෙන් කරවල ගත් කල හොඳින් ලුණු ඇඹුල් මිශ්‍ර කරවල හොද්දක රසවත් බව පිළිබඳ අමුතුවෙන් පැවසිය යුතු නැත. ඒ ඒ කරවල වර්ගවලට ආවේණික රසයක්, සුවඳක් සහිත කරවල හොද්දක් වුවද බත් සමග වේලක් පිරිමසා ගැනීම පිණිස ප්‍රමාණවත්ය. අද මෙන් මස්, මාළු බහුල නැති දශක හතරක් පහක් එපිට අතීතය තුළ හොඳ කරවල හොද්දක් යනු කෑම මේසය රස ගන්වන ඉස්තරම් දෙයක් බවට පත් ඇත. එබැවින් මෙරට වෙළෙඳපොළ තුළ එදත්, අදත් කරවල සඳහා පවතින්නේ හොඳ ඉල්ලුමක්ය.

ඉකුත් දිනක පිටකොටුව කරවල තොග වෙළෙඳපොළ තුළ අප කළ සංචාරයකදී ඒ බව මනාව පැහැදිලි විය. මෙරට වාර්ෂික කරවල පරිභෝජනය කොපමණක් ද යන්න පිළිබඳ අප කළ සොයා බැලීමේදී නිවැරැදි සංඛ්‍යාලේඛන පිළිබඳ විධිමත් තොරතුරක් සොයා ගැනීම තරමක් අපහසු කටයුත්තක් වුවත් පිටකොටුව කරවල තොග වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ලෝක කරවල වෙළෙඳපොළ තොරතුරුවලට අනුව වසරකට වැඩිම කරවල ප්‍රමාණයක් අනුභව කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රකටව සිටින බවක්ය. මේ වනවිට ඉදිකටුවේ සිට සෑම භාණ්ඩයකම මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබීම මත කරවල මිල ද දිනෙන් දින ඉහළ යමින් ඇත. මිල ඉහළ ගිය ද කරවල අලෙවියේ එතරම් අඩුවක් නොමැති බව අපගේ නිරීක්‍ෂණයට ලක්විය.

ගමනෙහි අරමුණ කරවල මිල සහ අලෙවිය පිළිබඳ සොයා බැලීම නොව කලක පටන් බොහෝ දෙනකු කරවල සම්බන්ධයෙන් නගන මැසිවිල්ලක් පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමය.

අපේ කරවල කියා අපි කන පිටරටින් එන කරවල

‘කීයක් දීල ගන්තත් ඉස්සර වගේ දැන් කරවල රසත් නෑ. සුවඳත් නෑ…’ බොහෝ දෙනකු විසින් නගන එම මැසිවිල්ල පිළිබඳ සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීම පිණිස පිටකොටුව තොග වෙළෙඳාමේ නිරත කරවල ව්‍යාපාරිකයන් කීපදෙනකු සමග කතාබහ කළ ද ඔවුන් පවසා සිටියේ මේ වනවිට ව්‍යාපාරිකයන් ලෙස ඔවුන් පත්ව සිටින අපහසුතාවයන් පිළිබඳ අඳෝනාවන්ය. කරවල මෙරටට ගෙන්වීමේදී තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ආනයනික ගැටලු, ඩොලර් නොමැතිවීම ආදිය ඔවුන්ගේ මාතෘකා බවට පත්විය. අපගේ අරමුණ වෙනත් එකක් බැවින් නැවත නැවතත් ඒ පිළිබඳව විමසීමේදී එක්තරා කරවල ව්‍යාපාරිකයෙක් සඳහන් කර සිටියේ කරවල පිළිබඳ නිවැරැදිම විස්තරයක් ලබාගැනීම පිණිස (එක්තරා ව්‍යාපාරිකයකුගේ නමක් සඳහන් කරමින්) ඔහුව මුණගැසෙන ලෙසය.

ලබාදුන් තොරතුරු ඔස්සේ ඉදිරියට ගිය අපට තවත් නොබෝ වේලාවකින් ඔහු මුණගැසීමේ අවස්ථාව උදාවිය. වසර 40කට අධික කාලයක් කරවල වෙළෙඳාමේ නිරත ඔහු මේ වනවිට තම ව්‍යාපාරික කටයුතු වෙනත් පිරිසක් වෙත පවරා විවේකී සුව විඳිමින් පසුවන්නෙක්ය. නම, ගම හෙළි නොකිරීමේ කොන්දේසිය මත කරවල පිළිබඳ අප නොදත් බොහෝ විස්තර පවසන්නට විය.

“මෙහෙමයි මහත්තයෝ ඉස්සර වගේ කරවල සුවඳත් නැහැ රසත් නැහැ කියල දැන් කාලෙක ඉඳල රටේ මිනිස්සු කතා කරනව. කාරණාවෙ යම් ඇත්තක් පවතිනව. ඉස්සර අඟුළු කරවල හොද්දක් හදාගත්තත් බත් ටික කන්න ඒ එක හොද්දත් ඇති. ඒ කාලෙ ලිප උඩ කරවල හොද්දක් තැම්බෙන කොට අහළ පහළ ගෙවල් දක්වා ඒ සුවඳ පැතිරෙනව. නමුත් අද තත්ත්වය ඊට තරමක් වෙනස්. ඒකට හේතුව තමයි එදා අපේ රටේ වැඩි දෙනෙක් ආහාරයට ගත්තෙ අපේ මුහුදු සීමාවෙන් අල්ලන අපේම කරවල. ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වෙද්දි පිටරටින් කරවල ගේන්න ඒ කාලෙත් සිද්ධ වුණා. නමුත් ඒක අද වගේ මහා පරිමාණ වෙළෙඳාමක් විදිහට කළේ නැහැ. අපේ ධීවරය මුහුදු ගිහිල්ල ගේන මත්ස්‍ය අස්වැන්න අපේ රටේම වේළල තමයි කරවල විදිහට වෙළෙඳපොළට ආවේ. ඒකනෙ අදත් ඔය සමහරු මන්නාරම් කරවල කියල වෙන කොහේ හරි රටකින් ගේන කරවල විකුණන්නෙ. මොකද අපේ රටේ කරවල කියල අලෙවි කරන කොට කරවල ගැන හරිහමන් වැටහීමක් නැති පාරිභෝගිකය ඒක ගන්නව. නමුත් මන්නාරම්, කල්පිටි කියල වෙළෙඳපොළේ දැන් තියෙන්නේ අපේ කරවල නොවෙයි. දැන් තියෙන කරවලවල අපේ කියල තියෙන්නෙ නම විතරයි.”

කරවල වෙළෙඳාම සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් අප හමුවේ විවර වන්නේ ඉහත ව්‍යාපාරිකයා මුණගැසීමෙන් අනතුරුවය. කරවල වර්ගවලට පමණක්ම ආවේණික රස, සුවඳ පිළිබඳ පමණක් නොව ඒ ඒ කරවල වර්ග බහුලව ලැබෙන මෙරට මුහුදු කලාප පිළිබඳව ද ඔහු සතුව ප්‍රමාණවත් දැනුමක් ඇත. රට වටා පිහිටි මුහුද අමතක කර පිටරටින් කරවල ගෙන්වීම මහා පරිමාණ ව්‍යාපාරික කටයුත්තක් බවට පත්වීමත් ඒ හේතුවෙන් මෙරට ජනතාවගේ රස නහර පිනවූ කරවල සඳහා නරක කලදසාවක් උදාවූ ආකාරයත් නැවතත් ඔහු විසින් විස්තර කරන්නට විය.

උදාහරණයක් විදිහට ලංකාවෙ ‘කට්ට කරවල’ කියන්නෙ රසයෙන් ඉස්තරම්ම කරවල වර්ගයක්. නමුත් මේ වෙද්දි මෙරට වෙළෙඳපොළ ඇතුළෙ මාසෙකට කට්ට කරවල කිලෝ දෙදාහක් අලෙවි වෙනව කියල හිතමු. ඒ කිලෝ දෙදාහ ඇතුළෙ ලංකාවෙ කට්ට කරවල කිලෝ දහයක්වත් නැහැ. ඔක්කොම තියෙන්නෙ පිටරටින් ගේන බඩු. කට්ට කරවලවලට වේළන මාළුව පිටරටින් ගෙනත් ඔය මීගමුව පැත්තෙ දාල වේළනව. අන්න ඒ කට්ටකරවල තමයි ‘ලංකාවෙ කට්ට’ කියල විකුණන්නෙ. එහෙම මාළු ගෙනත් මෙහේ වේළුව කියල අපේ රටේ කට්ට කරවල කෑල්ලක රස ගන්න බෑ. ඒ ඒ මුහුදු කලාපවල ජීවත්වන මාළුවට අනුව තමයි ඒ ඒ රසය එන්නෙ. හාල්මැස්ස ගමු. මේ ආර්ථික අර්බුදය එන්න ඉස්සර මාසෙකට හාල්මැස්සො කරවල මෙට්‍රික්ටොන් එක්දහස් පන්සියයක්, දෙදාහක් අතර ප්‍රමාණයක් තායිලන්තයෙන් අපේ රටට ගෙන්වනව. ඊට අමතරව පකිස්තානය, ඩුබායි, ඉන්දියාව වගේ රටවලින් අපිට හාල්මැස්ස එනව. ඒ වගේම තමයි අපේ වෙළෙඳපොළ තුළ වැඩිම අලෙවිය තිබෙන කරවල වර්ගය තමයි හාල්මැස්ස. නමුත් රට තුළ ප්‍රමාණවත් නිෂ්පාදනයක් නැති හින්ද මහා පරිමාණයෙන් රටට හාල්මැස්ස කරවල ගෙන්වනව. අපේ රට ගත්තොත් මුලතිව්, එරාවුර්, පානදුර, මොරටුව, මීගමුව, හලාවත හාල්මැස්සට ප්‍රසිද්ධයි. ඒ අතරින් මුලතිව්, එරාවුර් පැත්තෙන් අල්ලන හාල්මැස්ස වේළල ගත්තම ඒක තමයි අපේ රටේ හාල්මැස්සගෙන් රසවත්ම එක.

හාල්මැස්සන් පිළිබඳ පවසා සිටි කෙටි විස්තරයෙන් අනතුරුව තව තවත් දේ අපගේ මාතෘකා බවට පත් විය. කට්ට, මෝර, අඟුළු, බලය සහ තලපත් තෙත මාළු ලෙස මෙරටට ගෙනවිත් වියළීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙරට කරවල ලෙස අලෙවි කිරීමේ ව්‍යාපාර කීපයක් ද පවතින බව ඔහු විසින් හෙළිදරව් කර සිටියේය. වියළීමේ ක්‍රියාවලිය මත ද කරවල රසය වෙනස් වීමක් සිදුවන බවත් විශේෂයෙන් කට්ට, අඟුළුවා සහ කීරමින් තෙත මාළු ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි නොවීම හේතුවෙන් එම වර්ග කීපය කරවල ලෙස පමණක් මිනිස් පරිභෝජනයට ගන්නා බවත් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඊට අමතරව බලය, කෙළවල්ලා යන කරවල වර්ග වැඩිපුර මෙරටට ගෙන්වනු ලබන්නේ ඉන්දුනීසියාවෙන්ය. නොරට වියළීමෙන් අනතුරුව මෙරටට ගෙන්වනු ලබන කරවල අතරින් වැඩි ප්‍රමාණයක් පකිස්තානයෙන් ද ගෙන්වන අතර තූත්තුකුඩියේ කරවල රසවත් බව අතින් ඉහළ ස්ථානයක් ගන්නා බව අප කළ සොයා බැලීමේදී තහවුරු විය. මෙරට ජනතාව සිය බත්පතට කරවල වර්ග හතළිස් පහක් පනහක් අතර ප්‍රමාණයක් එකතුකර ගන්නා බවද පිටකොටුව කරවල තොග වෙළෙඳපොළ තුළදී අප විසින් තහවුරු කරගත් තවත් වැදගත් තොරතුරක් විය. ඊට අමතරව 2020 වර්ෂයේ සංඛ්‍යාලේඛනවලට අනුව එම වසර තුළ පමණක් වියළි කරවල ටොන් 11645ක් මෙරටට ගෙන්වා ඇත. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 6350ක අගයක් ගෙන ඇත. එම වසර තුළ හාල්මැස්සන් ටොන් 31102ක් මෙරටට ගෙන්වා තිබෙන අතර එහි වටිනාකම රුපියල් මිලියන 10927ක් බව ගණන් බලා ඇත. එම වර්ෂය තුළ උම්බලකඩ ටොන් 2545ක් මෙරටට ආනයනය කර තිබෙන අතර ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 1924ක් ය.

ඉහත විස්තර කරන ලද්දේ මෙරට කරවල වෙළෙඳපොළ තුළ පවතින බොහෝ අප්‍රකට විස්තර අතරින් ස්වල්පයක් පමණය. සාර්ථක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදකින් වටවූ රටක කරවල වෙළෙඳපොළ හැසිරෙමින් පවතින්නේ ඉහත සඳහන් ආකාරයෙන්ය. මෙරට මත්ස්‍ය සම්පත නොරටුන් විසින් පැහැර ගැනීමත් මාළු පරිභෝජනය ඉහළ යෑමත් මත කරවල සඳහා ඉහත ඉරණම අත්වී ඇත. පෙර මෙන් රස සුවඳ නැතත් මෙරට තුළ තවමත් කරවල සඳහා ඉහළ ඉල්ලුමක් පවතින්නේ ශ්‍රී ලාංකික රස නහර සහ කරවල අතර අතීතයේ පටන් පවතින සමීප බව හේතුවෙන් විය යුතුය. මළබතේ සිට මෙරට ජන ජීවිතය හා කරවල අතර එවැනි සමීප බවක් පැවතිය ද අප ආහාරයට ගන්නා කරවල වර්ග බොහෝමයක එකල පැවති රස, සුවඳ දැන් නැත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment