අපේ දුම්බර රටා ලෝක උරුමයට

871

පැරිස් නුවර පැවැත්වෙන යුනෙස්කෝ 16 වැනි අන්තර් රාජ්‍ය කමිටු සමුළුවේදී පසුගිය බදාදා දුම්බර රටා ලෝක අස්පර්ශ්නීය සංස්කෘතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් විය. එය එසේ යුනෙස්කෝ ලෝක ලේඛනයට ඇතුළත් වූ ශ‍්‍රී ලංකාවේ දෙවන උරුමයයි. 2018 වර්ෂයේ දී අම්බලන්ගොඩ නූල් රූකඩ කලාව ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ පළමු උරුමය ලෙස පිළිගැනීමට ලක්විය. මේ වසරේ දී ලෝක ලේඛනයට ඇතුළත් වූ උරුම සංඛ්‍යාව 35 ක් විය. පසුගිය වසර 2 ක් තුළ අන්තර් රාජ්‍ය කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ ද ශ‍්‍රී ලංකාව වේ. 2003 ඔක්තෝබර් 17 වැනි දින පැවැත්වූ යුනෙස්කෝ 32 වැනි සැසිවාරයේදී සම්මත කරන ලද අස්පර්ශනීය සංස්කෘතික උරුමය පිළිබඳ සම්මුතිය සඳහා රටවල් 178 ක් විසින් අත්සන් කරන ලදුව 2006 වසරේ අපේ‍්‍රල් 20 වැනිදා සිට ක‍්‍රියාත්මක වේ. යුනෙස්කෝව 1989 දී අනුමත කළ සම්ප‍්‍රදායික සංස්කෘතිය හා ජනශ‍්‍රතිය ආරක්ෂාකිරීමට අදාළ නිර්දේශ මෙන්ම 2001 දී සම්මත කළ සංස්කෘතික විවිධත්වය පිළිබඳ විශ්වීය ප‍්‍රකාශනය සහ 2002 දී සංස්කෘතික අමාත්‍යවරුන්ගේ තෙවන වට මේස සාකච්ඡාවේදී එළිදැක්වූ ඉස්තාන්බුල් ප‍්‍රකාශනය ද පදනම් කරගනිමින් මෙම සම්මුතිය සකස්වී තිබේ.

ස්වභාවික සහ සංස්කෘතික ස්පර්ශනීය උරුමයන් හා අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් අතර පවත්නා ගැඹුරු හා අවියෝජනීය අන්‍යොන්‍ය සම්බන්ධතාව සැලකිල්ලට ගනිමින් ගෝලීය හා සමාජීය පරිවර්තනය හරහා එබඳු උරුමයන් කෙරෙහි ඇති කරනු ලබන හානිකර බලපෑම පිළිබඳ ප‍්‍රජාව තුළ ඵලදායි සංවාදයක් හා දැනුවත්භාවයක් ඇති කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් මෙම සම්මුතිය කෙරෙහි සාමාජික රටවල අවධානය යොමු කරවයි. අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යනු ලෝකයේ සියලූ ජාතීන් විසින් සංරක්ෂණය කළ යුතු වටිනා දායාදයන් ලෙස ඒවා හා සම්බන්ධ සියලූ ප‍්‍රජාවන්, කණ්ඩායම් හා පුද්ගලයන් සතු අයිතීන්, වගකීම් හා කාර්යභාරයන් බලගැන්වීම මෙන්ම එබඳු උරුමයන් තුළින් සංස්කෘතික විවිධත්වය හා මානව නිර්මාණශීලීත්වය දියුණු කිරීම මෙබඳු සම්මුතියකින් අරමුණු කෙරේ. එහිදී විශේෂයෙන්ම තරුණ පරපුර තුළ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සංරක්ෂණය ගැන වැඩි නැඹුරුවක්, උනන්දුවක් හා දැනුම්වත් බවක් ඇති කිරීම වඩා ඵලදායි බව අවබෝධ කර ගෙන ඇත. සම්මුතිය තුළ එකඟ වූ කරුණු වඩා පුළුල් හා ව්‍යාප්ත මට්ටමකින් ක‍්‍රියාත්මක කිරීමේලා බහු පාර්ශ්වීය බැඳීම් ඉදිරියට ගෙන යෑමට ජාත්‍යන්තර ප‍්‍රජාවේ දායකත්වය හා රාජ්‍ය පාර්ශ්වයන් හි කැපවීම ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා අන්‍යොන්‍ය සහයෝගය හා අවබෝධය අවශ්‍ය බව අවධාරණය කෙරේ.

අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යන්නෙන් අදහස් කරනුයේ යම් ප‍්‍රජාවක්, ජන කණ්ඩායමක් හෝ සමහර විටෙක පුද්ගලයන් සතු සංස්කෘතික උරුමයක් සමඟ බැඳුණු ව්‍යවහාරයන්, නිරූපණයන්, ප‍්‍රකාශනයන්, මෙන්ම දැනුම හා කුසලතා (මෙවලම්, භාණ්ඩ, කෞතුක වස්තු හා අවකාශයන් ද ඇතුළුව) යන සියලූ කරුණු ය. එහිදී ඒවා අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සංනිවේදනය කිරීමේ මාධ්‍යයක් ලෙස භාෂාවද ඇතුළුව වාචික සම්ප‍්‍රදායන් සහ ප‍්‍රකාශනයන්, ප‍්‍රාසාංගික කලා, සමාජ ව්‍යවහාර, චාරිත‍්‍ර විධි, උත්සව අවස්ථා, විශ්වය හා ස්වභාව ධර්මය කෙරෙහි වන දැනුම් හා ව්‍යවහාර, පාරම්පරික ශිල්ප, යන විෂය සීමා අතරට ගොනු කරනු ලබයි. මෙහිදී අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යනු මානව වර්ගයා ගේ නිර්මාණ හෙවත් මනුෂ්‍යත්වයේ ප‍්‍රකාශනයන් ලෙස අගය කළ යුතු, පිළිගත යුතු හා සංරක්ෂණය කළ යුතු උරුමයන් ලෙස සංස්කෘතිකමය දේපළ ලෙස සැලකේ. එසේම මෙම සම්මුතිය දැනට ලෝකයේ පිළිගත් මානව හිමිකම් සුරැකීමේ හා ප‍්‍රජාවන්, ජන කණ්ඩායම් තුළ අන්‍යොන්‍ය ගරුත්වය මෙන්ම තිරසාර සංවර්ධනයට අදාළ අවම අවශ්‍යතා මත ක‍්‍රියාත්මක වීමට සියලූ දෙනා දිරිගන්වයි. එහි අනෙක් අදහස වන්නේ ලෝකයේ කිසිදු සංස්කෘතියක් එකිනෙකින් වෙනස් වූ නිසා එකිනෙකා අතර උස්පහත්කම් පෙන්වන හෝ තවත් සංස්කෘතියක් හෙළා දැකීම, පහත් කොට සැලකීම වෙනුවට විවිධත්වයට ගරු කිරීමේ ගුණාංගය ප‍්‍රවර්ධනය කරයි.

මෙම සම්මුතිය යටතේ යම් රටක අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් හඳුනාගැනීම, ලේඛනගත කිරීම, සංරක්ෂණය කිරීම, සම්පේ‍්‍රෂණය කිරීම, ප‍්‍රචලිත කිරීම, නැවත නඟාසිටුවීම, ආදී කටයුතු සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් සකස් කොට ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම ලබා දෙයි. අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණ සිදුකිරීම, ඒවායේ උරුමකරුවන් හඳුනාගැනීම, ඒවායේ භූගෝලීය ව්‍යාප්තිය හා ඒවා හා බැඳුණු ස්වභාවික සම්පත් හඳුනා ගැනීම, ඒවා ලැයිස්තුගත කිරීම, ඒවාට අදාළ ප‍්‍රජාව ගේ ගැටලූ හා ඒවා සම්පේ‍්‍රෂණය වීමට අවශ්‍ය සාධක අධ්‍යයනය කිරීම, ඒවා ජනගත කිරීම හා නැවත නඟාසිටුවීම සඳහා ප‍්‍රජාපාදක සැලසුම් සකස් කිරීම ආදී මූලික සංරක්ෂණ කටයුතු ඒවායේ පාර්ශ්වකාර ආයතන හා රාජ්‍ය භාරකාරත්වය යටතේ පවත්වා ගැනීම මෙහිලා වැදගත් ය. මෙම සම්මුතිය හරහා ලෝක මට්ටමේ පිළිගැනීමට ලක්වන අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ලැයිස්තු දෙකකට ඇතුළත් කෙරේ. ඉන් පළමුවැනි ලේඛනය මනුෂ්‍යත්වයේ නියෝජන ලැයිස්තුව (representative list) නමින් හැඳින්වෙන අතර දෙවැන්න වහා සංරක්ෂණය කළ යුතු ලැයිස්තුව (urgent safeguard list) වේ. මීට අමතරව විශිෂ්ට සංරක්ෂණ ව්‍යවහාර ලේඛනයක් (register of best safeguarding practices) පවත්වා ගෙන යයි. ඒ අනුව සැම රටක්ම තමන් සතුව අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ ජාතික ලැයිස්තුවක් පවත්වා ගත යුතු අතර එය ප‍්‍රාදේශීය මට්ටමේ ලේඛන හරහා එකතු කළ ප‍්‍රධාන ලැයිස්තුවක් විය යුතුය.

අපේ දුම්බර රටා ලෝක උරුමයට

යුනෙස්කෝව මෙම සම්මුතියට පෙර 2001 වසරේ සිට පවත්වා ගෙන යනු ලැබූ මනුෂ්‍යත්වයේ අස්පර්ශනීය හා වාචික උරුමයේ සම්භාව්‍ය කෘති පිළිබඳ ප‍්‍රකාශනය (Proclamation of Masterpieces of the Oral and Intangible Heritage of Humanity) තුළ ආරම්භයේදී අයිතම 19 ක් ද 2003 දී 28 ක් හා 2005 දී 43 ක් ද ලැයිස්තු ගත කර තිබුණි. ලෝකයේ දක්ෂිණාර්ධගෝලය නියෝජනය නොකළ එම ලැයිස්තුව බොහෝ සෙයින් අසමතුලිත බව පෙනී ගොස් තිබූ හෙයින් මෙම සම්මුතිය හරහා 2008 දී ආරම්භ කළ ලැයිස්තුව එම අඩුව මකා දැමීමේ ලා ප‍්‍රගතිගාමී පියවරක් තබා ඇත. මේ වන විට යුනෙස්කෝව හරහා රටවල් 122 ක අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් 618 ක් ලැයිස්තු ගත කොට ඇති අතර වැඩිම සංඛ්‍යාව වන 90 ක් ලැයිස්තු ගත කළේ 2008 වර්ෂයේ දිය. ඉන් අනතුරුව 2009 දී 86 ක්, 2010 දී 48 ක්, 2011 දී 33 ක්, 2012 දී 32 ක් 2013 දී 30 ක්, 2014 දී 38 ක්, 2015 දී 28 ක්, 2016 දී 42 ක්, 2017 දී 42 ක් ද 2018 දී 39 ක් ද 2019 දී 42 ක් ද, 2020 දී 35 ක් ද වශයෙන් ලොව පුරා අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යුනෙස්කෝවේ පිළිගැනීමට ලක්විය. මේ වන විට වැඩිම උරුමයන් සංඛ්‍යාවක් යුනෙස්කෝ ලැයිස්තුවලට ඇතුළත් කරගත් රටවල් අතර චීනය, ජපානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ක්‍රෝඑෂියා, ප‍්‍රංශය, තුර්කිය, මොන්ගෝලියා, අසර්බයිජාන්, බෙල්ජියම්, ඉන්දියාව්, ඉරානය, වියට්නාමය, පේරු, කොලොම්බියා, කසකස්තාන් ආදී වශයෙන් වේ. සමහර උරුමයන් රටවල් එකකට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය යටතේ පිළිගෙන ඇත. මේ දක්වා ලොව පුරා වහා ආරක්ෂා කළ යුතු අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් 58 ක් ලැයිස්තු ගත කොට තිබේ. එසේම විශිෂ්ට සංරක්ෂණ ව්‍යවහාරයන් 18 ක් ලේඛන ගත කොට තිබේ.

එසේම මෙම ක‍්‍රියාවලියේ දී යුනෙස්කෝ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව එකී කටයුත්තේ මූලිකත්වය උසුලන අතර එහි තෝරාගත් සාමාජිකයන් 24 දෙනකු රටවල් නියෝජනය කරයි. 2018 නොවැම්බර් 26 වැනි දින මොරිෂස් රාජ්‍යයේ දී පැවැත්වූ 30 වැනි කමිටු සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව ද මෙම ප‍්‍රධාන කමිටුවට තේරී පත්වීම ඉතිහාස ගත සිදුවීමකි. 2008 අපේ‍්‍රල් 21 වැනි දින යුනෙස්කෝ සම්මුතියට අත්සන් කළ ශ‍්‍රී ලංකාවට වසර 10 කට පසු එහි ප‍්‍රධාන අන්තර් රාජ්‍ය කමිටුවේ අසුනක් හිමි වීම අභිමානයට හේතුවකි. මෙම ජයග‍්‍රහණය පිටුපස බොහෝ දෙනකු නොදන්නා කිහිපදෙනකු ගේ ඇපකැප වීම නොවන්නට මේ අභිමානය නොලැබෙන්නට ඉඩ තිබිණ. මෙම දුම්බර රටා නාම යෝජනාව සකස් කිරීමේ කාර්යය වෙනුවෙන් කැපවූ ජාතික කමිටුවේ සියලූ විද්වතුන් ද ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩල සංස්කෘතික හා අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් මෙම ජයග‍්‍රහණයේ කොටස්කරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් මෙම කටයුත්තට මගපෙන්වූ සහ බුද්ධිමය දායකත්වය දැක්වූ සියලූ විද්වතුන් ගේ කැපවීම මේ අවස්ථාවේ ඇගයීමට ලක් විය යුතුය.

පසුගිය දශකයක් පුරා ශ‍්‍රී ලංකාව පුරා විසිරුණු අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ලේඛනගත කිරීමේ කාර්යය දිස්ත‍්‍රික්ක කිහිපයක සම්පූර්ණ කිරීමට සමත් වූ නමුත් ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුත්ත තවමත් ප‍්‍රමාද වෙමින් තිබේ. එසේම අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් හා බැඳුණු විවිධ නිර්මාණ හා ප‍්‍රකාශන එකතු කිරීම හා ඒවා සංරක්ෂණය කිරීමේ වැඩසටහන් නොයෙකුත් රාජ්‍ය හා වෙනත් සංවිධාන හරහා නිරතුරුව සිදුවෙන අතර ඒවා සමහර විට නිසි ලෙස ජාතික වැඩසටහන සමඟ ඒකාබද්ධ නොවී තිබීම අඩුපාඩුවකි. ඊට අමතර ව අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් හි බුද්ධිමය දේපළ හිමිකම් හා වෙනත් ගැටලූ සම්බන්ධයෙන් බලපාන නීතිමය ප‍්‍රතිපාදන යාවත්කාලීන කිරීමට යම් පිටුබලයක් අදාළ රාජ්‍ය ආයතන හරහා ලැබිය යුතු කාලය එළඹ බොහෝ කාලයක් ගතව තිබේ. වඩාත් වැදගත් කාර්යභාරය විය යුත්තේ මෙකී උරුමයන් අනාගත පරපුර වෙත දායාද කරන්නට අවශ්‍ය සුරක්ෂණ වැඩපිළිවෙලක් හරහා ශිල්පීන් හා උරුමකරුවන් ගේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමේ බහු පාර්ශ්වකාර ජාතික සැලසුමක් ක‍්‍රියාත්මක කිරීමයි. දුම්බර රටා ලෝක උරුමයක් වීමෙන් පසුව එම කලාවේ උරුමකරුවන් සහ භාරකරුවන් හට සිය ජීවන වෘත්තීය ගෞරවනීය ලෙසත් වඩා සමෘද්ධිමත් ලෙසත් කරගෙන යාමට අවශ්‍ය සමාජ ආර්ථික වටපිටාව සකස් කිරීමට රජය බැඳී සිටියි.

මෙම කටයුත්තේදී 2003 යුනෙස්කෝ සම්මුතිය අනුව ශ‍්‍රී ලංකාවේ දේශීය සාම්ප‍්‍රදායික ශිල්පිය දැනුම් හා ඒ ආශ‍්‍රිත සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කොට ඉදිරි පරපුර වෙත දායාද කිරීම හා ඒවා මගින් ජනජීවිතය වඩාත් යහපත් කිරීමටත්, රටේ සංවර්ධන ක‍්‍රියාවලියට යම් දායකත්වයක් එක් කිරීමටත් අවශ්‍ය ක‍්‍රියාත්මක වැඩ පිළිවෙළක් මෙම ජාතික ප‍්‍රතිපත්තියෙන් නිර්මාණය වනු ඇතැයි විශ්වාසය පළවේ. මෙම ක්ෂේත‍්‍රය තුළ දේශීය වෛද්‍ය ඥානය හා ආශ‍්‍රිත ව්‍යවහාරයන් සඳහා ද ලැබෙන්නේ වැදගත් ස්ථානයක් වන හෙයින් මෙම වැඩපිළිවෙළ තුළින් දේශීය වෛද්‍ය ක‍්‍රමයේ අනාගත සංරක්ෂණ සැලසුම්වලට ද යම් පිටිවහලක් ලැබේ. දැනට ලෝකයේ අවධානය යොමු වී ඇති ගෝලීය වැඩසටහන වන තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී අස්පර්ශ්නීය සංස්කෘතික උරුමය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ද අමතක නොකළ යුතුය. එබැවින්, සංස්කෘතික සාක්ෂරතාව, තිරසාර සංවර්ධනය හා දේශීය අනන්‍යතාව අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ජාතික වැඩසටහන් තුළ අවධාරණය කළ යුතුය. මේ ජයග‍්‍රහණය ඒ සඳහා මගපෙන්වන ආලෝකයක් බව නොකිවමනාය.

වෛද්‍ය ඩැනිස්ටර්
එල්. පෙරේරා
අස්පර්ශනීය සංස්කෘතික උරුම ජාතික කමිටුව වෙනුවෙන්

advertistmentadvertistment
advertistmentadvertistment