අපේ නඩේ ගුරා ඔහුයි – මේ හිඩැස පුරවන්න කෙනෙක් නෑ – ජැක්සන්ගේ ගමේ මිතුරා ශ්‍රියන්ත

162

විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය වගේම මුද්‍රිත මාධ්‍යවල මේ දිනවල නිතර කතාබහට ලක්වෙන කථානායකයා තමයි ජැක්සන් ඇන්තනි නමැති අග්‍රගන්‍ය කලාකරුවා. ඔහු අද අපට ඉතිරිකර ගොස් ඇත්තේ බොහෝ මතකයන් ගොන්නක් පමණ.ි ඔහු ගැන අපට ඕනෑ තරම් පුරසාරම් දෙඩවිය හැකිය. අපි කියන ලබන දෙයට වඩා ඔහු ගැන හොඳින් දන්නේ සහ ඔහු ගැන කතා කිරීමට පවා අයිතිය ඇත්තේ පුංචි කාලයේ පටන් ඔහු ආශ්‍රය කළ මිතුරන්ටය. ජැක්සන් නමැති ශ්‍රේෂ්ඨයා සමග කොළඹ ආ ගමේ හාදයා එහෙමත් නැතිනම් මිත්‍රයා තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්. ඉතිං මේ වෙලාවේ ඔහු ගැන කතා කරන්න මීට වඩා වෙන චරිතයක් කොයින්ද? මේ කලබල අතරේ අපි ඔහුව මුණගැහුනේ ඒ නිසාමය.

අපේ නඩේ ගුරා ඔහුයි - මේ හිඩැස පුරවන්න කෙනෙක් නෑ - ජැක්සන්ගේ ගමේ මිතුරා ශ්‍රියන්ත

මේ වෙලාවේ ඔබේ පාසල් මිත්‍රයා එහෙමත් නැතිනම් සොඳුරු රංගධරයා වන ජැක්සන් ඇන්තනි ගැන මොකද හිතෙන්නේ?

පසුගිය 09 වැනිදා පාන්දර 3.40ට ලැබුණු පණිවුඩය මාව කම්පනයට පත් කළා. ඒ කම්පනයට පත්කරන්න හේතු කාරණා වෙන්නේ මාත් එක්ක ඉතිහාසගත ගමන ආපු මිතුරාගේ වියෝව සනිටුහන් වීමත් සමගයි. කෙනෙක් පිළිබඳ වියෝව සනිටුහන් වුණහම අතීත මතකයෙන් සනිටුහන්වීම සාමාන්‍ය පුරුද්දක්.

ඔහුව මට මුණගැහෙන්නේ 70 දශකයේ මධ්‍යම කාර්තුවේ දී. අපි ඔක්කොම එතකොට ආධුනිකයෝ. අපේ ආධුනිකත්වය ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. මාගේ ගම් පළාත රාගම. ජැක්සන්ගේ ගම් පළාතත් රාගම. මම රම්පිටිය කියන ප්‍රදේශයේ. ජැක්සන් පොඩිවීකුඹුර කියන ප්‍රදේශයේ. අපි දෙන්නම එකම ග්‍රාමයේ. නමුත් මම කඳාන ද මැසනද් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඔහු ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඔහු රාගම ස්ටේෂන් එකේ 3 වැනි වේදිකාවේ ඉන්නවා මම හතරවැනි වේදිකාවේ ඉන්නවා. ඔහු වටේම ගැහැනු ළමයි ගොඩක් ඉන්නවා. මොකද ඔහු ගියේ මධ්‍යම මහා විද්‍යාලයකටනේ. ඒක මිශ්‍ර පාසලක්. මට එහෙම කවුරුවත් නැහැ. ඒක පිරිමි පාසලක්. ඒක හින්දම මම ටිකක් මේ පුද්ගලයා දිහා බලනවා. ඔය අතර ගැහැනු ළමයි කියනවාලු අන්න අරයා බලනවා කියලා.

මෙහෙම කාලය ගෙවිලා යනකොට ගම්පහ දිස්ත්‍රික් නාට්‍ය උළෙලක් තිබුණා. සංස්කෘතික අමාත්‍යාංශය තමයි මෙහෙයවූයේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි ඒක නිර්මාණය කළේ. මේකට ජැක්සන්ලා නාට්‍යයක් හදලා ගෙනැල්ලා තිබුණා. ‘ලෝදිය’ කියලා. අපි නාට්‍යයක් හදලා ගෙනිහිල්ලා තිබුණා ‘දේශසීමා’ කියලා. එදා අපේ අංගරචනා ශිල්පියා ආවේ නැහැ. අපිට බෙරයක් තිබුණා. එයාලට බෙරයක් නැහැ. ඒගොල්ලන්ට අංගරචනා ශිල්පියෙක් ඉන්නවා. අපි කිව්වා පැරණි ක්‍රමයට මේක හුවමාරු කරගමු කියලා. ඒකට එකඟවෙලා අංග රචනා ශිල්පියා එව්වේ. ඒ එව්වේ ජැක්සන් ඇන්තනීවමයි. අන්තිමේ ඒගොල්ලෝ එක වුණා. අපි දෙක වුණා. මේ සම්මාන ටික බෙදිලා ගියා. එදින සවස් වරුව තමයි අපි දෙන්නගේම ගමන් මගේ අත්වැල බවට පත්වෙන්නේ.

අපි මහ ධනවත් මිනිස්සු නෙමෙයි. අපි පහළ මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ දරුවෝ. මමයි ජැක්සනුයි මේ ගමන එන්න මහා කට්ටක් කෑවා. මහා දුරක් ඇවිද්දා අපේ මාවත මල් මාවතක් නොවේ. අපි ආවේ රළු පරළු මාවත් ඔස්සේ. ඉස්සර මේ වගේ කලාකරුවන්ට ඇතුළු වෙන්න දොරටු තිබුණේ නැහැ. අපි බොහෝම දුක් වින්දා. පොලිසියෙන් ගුටි කෑවා. රිමාන්ඩ් එකේ හිටියා. ස්ටේෂන්වල රස්තියාදු වුණා. බස් ස්ටෑන්ඩ්වල බුදිය ගත්තා.

එක දවසක් ජැක්සන් මට කිව්වා ‘මචං මේ පන්නරය තමයි අපිට වැදගත් වෙන්නේ’ කියලා. අරළු පෙත්ත හයියයි. එතකොට එඬරු දඬු වලින්ගැහැව්වට රිදෙන්නේ නැහැ.

කොළඹ ආපු ගමනට හැරෙමුනේද?

මම, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනි කොළඹ ඇවිත් රංගන පාඨමාලාවක් හදාරනවා. අපි ඔක්කොම එක පරම්පරාවක්. මේ වියෝව ආරංචි වුණ හැටියම අපේ පරම්පරාව එකතු වුණා. අපේ කණ්ඩායමම එකතු වුණා. එකතුවෙලා මේක ගැන අපි කතාබහ කළා. නමුත් මොනවා කළත් මේ හිඩැස පුරවන්න නම් කෙනෙක් නැහැ.

ඔහුගේ රංගන කාර්ය ගැන කතා කළොත්?

අපි කවදාවත් ඔහුගේ ඇකඩමික් ෆීලින් එක ස්ටඩි කළේ නැහැ. ඔහුගේ අධ්‍යාපන ක්‍රියාවලිය ඉගෙන ගත්තේ නැහැ. මම අලුත් පරම්පරාවට ආරාධනා කරනවා පුළුවන්නම් ඔහුව ස්ටඩි කරන්න කියලා. ඔහුගේ අතේ මේ වනවිට සම්මාන පනස් දෙකක් තිබෙනවා. සම්මාන පනස් දෙකක් ගත්තු කිසිකෙනෙක් ලාංකේය සමාජයේ නැතිව ඇති කියලා මම විශ්වාස කරනවා. සමාවෙන්න මම වැරදි නම් ඒක නිවැරදි කරන්න. ඔහු රංගධරයෙක් පමණක්ම නෙමෙයි. ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. දේශගවේෂකයෙක්. නිවේදකයෙක්. ගායකයෙක් හැටියට වගේම විවිධ ක්‍ෂේත්‍රයන් ප්‍රමාණයක විසිරී පැතිරිච්ච හැඩයක් ඔහුට තිබුණා. ඔහු ඒ හැම එකකින්ම ජයග්‍රහණයන් කරා ගමන් කරලා තිබුණා. ඒක හින්දම ඔහු ක්‍ෂේත්‍රයන් ගණනාවක් සමග ගමන් කරපු මහා දැවැන්තයෙක්. අපේ නඩේ ගුරා ඔහුයි. බොහෝ අවස්ථාවලදී අපිට යම් යම් දේ හිරවුණහම අපිට යම් යම් දේ දැනගන්න ඕනෑ වුණහම අපි ජැක්සන්ටයි කතා කළේ. ඔහු ඒවෙලාවට නිවැරදි පිළිතුර හොඳ යහපත් ගුරුවරයෙක් හැටියට කියලා දෙනවා. ඒක නිසා ම ඔහු අපේ පරම්පරාවේ ගුරුවරයා කියලා කිව්වොත් කවුරුවත් තරහාවෙන එකක් නැහැ.

කෙසේ වෙතත් අර කිව්වා සේම ඔහු මීට මාස පහළොවකට පෙර හදිසි අනතුරකට භාජනය වෙනවා. ඒ නිර්මාණ කටයුත්තක් කරලා එන ගමන්. ඊට පස්සේ මාස පහළොවක් රෝගීව ගිලන්ව ප්‍රතිකාර ලබනවා. නමුත් අවාසනාව ඔහු අප අතරින් වියෝ වෙනවා. මේ වියෝව අපිට විතරක් නෙමෙයි තව ඉස්සරහට අපේ සමස්ත කලා ලෝකයට ම බලපාවි කියලා මම විශ්වාස කරනවා.

මේ අනතුර සිදුවන්නේ ඔහුගේම කැබ් රථයෙන්. ඔහු එක තැනකදී කියනවා මේකත් මගේ දරුවෙක් කියලත්?

වාහනේට කියන්නේ ටිකිරි මැණිකේ කියලා. මම හිතන්නේ ඔහු ගත්තු පළමුවෙනි වාහනය ඔය. ඕක ගත්තෙත් 2000 විතර. ඒක තමයි ඔහු දිගටම පාවිච්චි කළේ. සමහර අය කියනවා ඔහුට වාහන තුන හතරක් තිබුණා කියලත්. මම හිතන්නේ ගඟ දිගේ යන වැඩසටහනට එම ආයතනයක් අනුග්‍රාහකත්වයක් දැක්වූවා. ඒගොල්ලෝ ඒ කාලයට පදින්න වාහනයක් දීලා තිබුණා. මම දන්න ඇත්ත ඒක. සමහර කාරණාවලට පිළිතුරු අපි සොයන්නේ බලන්නේ නැතිව උඩින් පල්ලෙන් බලලා පිළිතුරු සපයනවා. අපි මහා ප්‍රාඥයෝ වගේ පිළිතුරු සපයනවා නමුත් හොයාගෙන යනකොට එහෙම පිළිතුරක් නැහැ. එහෙම උත්තර නැහැ. එව්වා අස්සේ තියෙන්නේ හරිම ශුන්‍ය ක්‍රියා වගේ කාරණා.

පුංචි කාලේ ජැක්සන්වයි කලාකරුවෙක් වුණ ජැක්සන්වයි ඔබ කොහොමද දැක්කේ?

අපි භද්‍ර යෞවනයේදී තමයි ලංකාවේ තුන්වැනි ටෙලිනාට්‍යයේ රඟපාන්නේ. පළමුවැනි එක දිමුතුමුතු. දෙවැනි එක ලාහිරු දහසක්. තුන්වැනි එක පළිඟු මැණිකේ. පළිඟු මැණිකේ නාට්‍යයේ රංගනය සඳහා මාව තෝරා ගත්තා කියන පුවත අරගෙන එන්නෙත් ජැක්සන්. ඒ වෙලාවේ එන්න යන්න කියනකොටත් මම බැහැයි කියනවා. මම එච්චර උනන්දුවක් දක්වන්නෙත් නැහැ. මටත් චරිතයක් තියෙනවා කියලත් කියනවා. අපි දෙන්න එක කාමරයක තමයි හිටියේ. අපි දෙන්නගේ ආරම්භය ඉතාමත්ම සුන්දරයි. ජැක්සන් මට ඉතා හොඳ සහායකයෙක් වුණා. ඒ වගේම මිත්‍රයා. සහෝදරයා. ඥාතියා. වගේ සම්බන්ධකම් ගොඩක් තිබෙනවා. ඔහු පිළිබඳ මතකය අලුත් කරන්න ගියෝතින් බොහොම වේදනාකාරී වේවි. මොකද ඔහු පසුගිය කාලය පුරාවටම බොහොම නින්දා අපහාසවලටත් ලක්වෙච්ච කෙනෙක්.

මිනිස්සු අහනවා මෙච්චර ප්‍රතිකාර කරන්න තරම් මෙහෙම තියාගෙන ඉන්න තරම්, විශේෂ සැලකිලි කරන්න තරම් ඇයි ජැක්සන් විශේෂ වෙන්නේ. ඒක ඔබ දකින විදිහ?

(සිනාසෙමින්) ඔබ අහන ප්‍රශ්නය ඇතුළේ එනවා මට මෙන්න මෙහෙම උත්තරයක්. මොකද ඔහු නැතිවුණ දවසේ පාන්දර ඉඳලා අපේ මුහුණු පොත සරසන්නේ ඔහුගෙන්. කලාකරුවන්ද, සාමාන්‍ය ජනතාවද ඔහුට ආදරය කරන්නන් ද විවිධ අය මේක සරසනවා. ඒ ඔහුට බැනලා නෙමෙයි. විශිෂ්ටයාණෙනි, රංගධරයාණෙනි, ගුරුවරයාණෙනි, හස්තිරාජයාණෙනි යන නම්වලින් එහෙම අමතන්නේම ඔහු මේ සමාජයට යම්කිසි දෙයක් කළාමය කියන කාරණාව මතනේ. කවුරුත් ඒක කියන්නේ නැහැනේ. ඔහු ගුරුවරයෙක් රංගධරයෙක් දේශකයෙක්, නිවේදකයෙක්, ගවේෂකයෙක්, ගායකයෙක් හැටියට කතා කළා ඒ විතරක් නෙමෙයි පද රචකයෙක්. ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් හැටියට කතා කළා. මේ හැම එකකින්ම ඔහු අපිට පාඩමක් කියලා දුන්නා.

දිනේෂ් විතාන
චිත්‍රය- දුෂාන් මාලින්ද

advertistmentadvertistment
advertistmentadvertistment