අපේ පොලී මුදලාලි

1416

නව යුවළක් මධුසමය ගතකිරීමට පෙර කල් තබාම එම යුවළගේ කාමරයට ගොස් ඇඳ යටට රිංගා ගත් 18 හැවිරිදි තරුණයකු නව යුවළට නින්ද ගිය පසු මනාලිය දූෂණය කර ඇතැයි අලුත්ගම පොලිස් වසමට අයත් කාලවිල ගමෙන් වාර්තා වෙයි. මෙහිදී ස්ත්‍රී දූෂක තරුණයා විසින් මනාලියට හඟවනු ලැබ ඇත්තේ ඔහු ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා ලෙසය. මේ සියල්ල ඝන අන්ධකාරයේ සිදුවන දේවල් නිසා මනාලිය නිවැරදිකාරිය වන අතර දූෂකයා වැරදිකාරයෙක් වෙයි. මේ අතර ස්ත්‍රී දූෂකයා තම සැබෑ ස්වාමියා නොවන බව මනාලියට තේරුම් ගොස් ඇති බැවින් ඇය කෑ ගසන්නට පටන්ගෙන ඇත. එවිට සියලු දෙනාම අවදි වී ලයිට් දමා කලබල වීම නිසා ඊට සමගාමී ලෙස දූෂකයා පලා යෑමත් පසුදින නව යුවළ විසින් පොලිසියට කළ පැමිණිල්ලකින් පසු දූෂකයා අත්අඩංගුවට ගැනීමත් සමගම මේ කතාව තාවකාලිකව සමාප්තියට පත්වෙයි. මෙය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදන මලයාලම් චිත්‍රපටයක හෝ ඉන්දියාවේම තමිල්නාඩු ප්‍රාන්තයේ නිපදවන දෙමළ චිත්‍රපටයක හෝ අඩංගු දර්ශනයක් තරමටම අමුතුය. අප මේ බව මෙහිලා සටහන් කරන්නේ දෙමළ චිත්‍රපටවල තිබෙන කතන්දර එහෙම පිටින්ම ලංකාවේ සැබෑ සමාජය තුළ ප්‍රතිනිර්මාණය වන බව පෙන්වා දීම පිණිසය.

දැන් අපි අපේ ප්‍රස්තුතයට එළඹෙමු. ශ්‍රී ලංකාව මීට දින කිහිපයකට පෙර දෙවන වතාවටත් ලෝක ණය වෙළඳපොළේදී Default විය. මෙය 2012 දී ලබාගත් ඩොලර් බිලියනයක ණය මුදලක්, එම ණය මුදල ආපසු ගෙවීම සඳහා ගිවිස ගත් කාලය වූ දස අවුරුද්ද සම්පූර්ණ වීමත් සමගම පොලියත් සමග ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සිදුවූවකි. මීට මාස දෙකකට පමණ පෙර මේ ආකාරයටම අපට ගෙවා ගැනීමට බැරි වූ තවත් විදේශ ණයක කොටස්කාරයෙක් දැනටමත් ලංකාවට විරුද්ධව ඇමරිකන් උසාවියක නඩු පවරා ඇත. මෙයට පෙර තිබූ රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථික අර්බුදය තේරුම්ගත් ගමන්ම නිසි කාලයේදී අපට ණය ගෙවීමට හැකියාවක් නැති බව විදේශීය ණය හිමියන්ට දන්වා එම ණය ප්‍රතිව්‍යුහගත කළේ නම් දැනට තිබෙන ආකාරයට ජාත්‍යන්තර මුදල් වෙළඳපොළ තුළ නෝන්ඩිවීමට අපට සිදුවන්නේ නැත.

ගෙවා ගැනීමට නොහැකි අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය විදේශීය ප්‍රජාවට දන්වන ලද්දේ නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අධිපති වීමෙන් පසුවය. මේ රටේ දැනට තිබෙන විදේශීය විනිමය හිඟයට අනුව සියලුම විදේශ ණය ගෙවීම් කිසියම් කාලයකට අත්හිටුවන බව මහ බැංකු අධිපතිවරයා මීට මාස කිහිපයකට පෙර පැවසීය. එවිට පාර්ලිමේන්තුවේ සිටින කිසියම් ගොන් වස්සෙක් විසින් විමසන ලද්දේ පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව නන්දලාල් වීරසිංහ ණය ගෙවීම අත්හිටුවීමේ තීරණයක් ප්‍රකාශයට පත්කළේ කෙසේද යන්නය. මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර කැබිනට් මණ්ඩලයෙන්ද අනුමැතියක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියේ නම් අදටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අනුමැතිය ලබා ගැනීමට මහ බැංකුවට හැකිවන්නේ නැත. වැඩබලන අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වන තුරුම පාර්ලිමේන්තුව තිබුණේ විකාර මෝලක තත්ත්වයකය. ඒ කතාව මඳකට පැත්තකින් තබමු. ලංකාව විසින් චීනයට ඩොලර් බිලියන 6.5 ක ණයක් ගෙවීමට ඇත. එය ගෙවා ගැනීමට කිසිසේත්ම නොහැක. චීන ණය ගෙවීම සඳහා එරටින් කල් ඉල්ලන ලද අවස්ථාවේදී චීනය කියා සිටියේ එසේ කල් ලබා දීමට නොහැකි බවත් එම ණය පොලියත් සමග ගෙවීම පිණිස අලුතෙන් ණයක් දිය හැකි බවත්ය.

මේ කතාවත් සමගම චීනය ආසියාවේ පොලී මුදලාලිගේ භූමිකාව නිරූපණය කරන්නට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාව මෙතරම් විශාල ණය හිරගෙදරක හිර කරුවකු බවට පත්වීමේ ප්‍රධාන හේතුවද චීනය විය හැකිය. රාජපක්ෂවරුන් ආණ්ඩු කරන සමයේදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා චීනය සුවිශාල ලෙස මුදල් ආයෝජනය කළේය. එසේ ආයෝජනය කළ මුදල් වලින් ආරම්භ කළ හයිවේ තැනීම්, බිල්ඩින්ග් තැනීම් ඇතුළු ව්‍යාපෘති රැසක් සම්පූර්ණ කරන ලද්දේද චීනය විසින්මය. එනම් චීනය අපට ණය දුන් පසු එයින් කෙරෙන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය සහ කම්කරු ශ්‍රමයෙන් කොටසක්ද සම්පූර්ණ ඉංජිනේරු ශ්‍රමයද අපට මිලදී ගැනීමට සිදුවුණේ චීනයෙනි. මෙය චීනයට ඉතා ලාභ ව්‍යාපාරයකි.

රාජපක්ෂ ආණ්ඩුව අවශ්‍ය ව්‍යාපෘතීන් වෙනුවෙන් මෙන්ම කිසිසේත්ම අවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා ද චීනයෙන් ණයට මුදල් ගත්තේය. එයට හේතුව එම මුදල් වලින් කොටසක් ගසාකෑමේ හැකියාව රාජපක්ෂ ආණ්ඩුවේ ගොට්ටන්ට තිබීමය. අප නිතර නිතර කියන පරිදි මේ රටට හයිවේ අවශ්‍ය නැති බව දැනුත් කියමු. රජය විසින් කළ යුතුව තිබුණේ තිබෙන පාරවල් ටික පළල් කොට වැඩි දියුණු කිරීමය. එසේම මාර්ග තදබදය වැඩි තැන්වල ගුවන් පාලම් යෙදීම හෝ අතුරු මාර්ග සෑදීමය. එහෙත් මුදල් ගසාකෑම එකම පරමාර්ථය වූ බැවින් හයිවේ ඉදිකරන ලදී. ශ්‍රී ලංකාවට හයිවේ අවශ්‍ය වන්නේ තව අවුරුදු විස්සකින් පමණය. ඒ සඳහා අඩු ගණනේ අපේ රට වියට්නාමය මට්ටමටවත් දියුණු විය යුතුය. එහෙත් රජය කළේ ඒ සියල්ල පැත්තකට දමා තුන්වේලම සාගින්නෙන් සිටින දිරාපත් වූ අබලන් ගෙයකට අඟල් 54 ටීවී එකක් ගැනීමය. ටී. වී. එක කන්නද? මුලින්ම කළ යුත්තේ ගෙදර සිටින මිනිසුන්ගේ සාගින්න නිවීමය. දෙවන පියවර වශයෙන් දිරාපත් වූ ගේ නැවත හදාගත යුතුය. ඉන්පසුව පවුලේ ආදායම සලකා බලා මුලින්ම රේඩියෝවක් ගත යුතුය. ටීවී එකක් ගත යුත්තේ පවුලේ ආදායම තවදුරටත් තහවුරු වූ පසු පමණි. ඒත් අඟල් 54 ටීවී එකක් අවශ්‍ය නැත. අඟල් 21 හෝ 24 ටීවී එකක් ගැනීම හොඳටම ප්‍රමාණවත්ය.

ශ්‍රී ලංකාව ණය ගැනීමට කැමති මෝඩ කොටලුවකු බව දැනගත් චීනය සෑහෙන දුරක් අපේ පිට උඩ ගමන් කළ බව පෙනෙන්නට තිබේ. ඉන්පසු කොටළුවා අබලන් වෙද්දී ඌ අත්හැර දමා අලුත් වාහනයක් පරිහරණය කිරීමට චීනය කටයුතු කර තිබේ. අප නන්නත්තාර වීමට එක් හේතුවක් ලෙස චීන ණය උගුල දැක්විය හැකි බව පසුගියදාක ජාත්‍යන්තර මාධ්‍යක් මගින් හෙළිකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment