අපේ මුහුදට පැනලා අපේ දෙනෙක් මැරුවා ඉන්දීය ධීවරයන්ට එරෙහිව යාපනයේ ධීවර විරෝධතා  

300

ඉන්දීය ධීවරයන් විසින් මෙරට මුහුදු තීරයට ඇතුළු වී ශී‍්‍ර ලාංකික ධීවරයන් දෙදෙනකු මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් යාපනය, වඩමාරච්චි, සුප්පමර්ඩම ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ධීවරයෝ පෙරේදා (31 දා) විරෝධතාවේ නිරත වූහ.

යාපනය, මරුදන්කර්නි, වත්තිරායන් ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනකුගේ මළ සිරුරු 31 වැනිදා සවස වෙරළට ගොඩගසා තිබීමත් සමග මෙම ධීවර විරෝධතා ආරම්භ කෙරිණි. මෙලෙස මියගොස් ඇත්තේ ජෝශප් පේ‍්‍රමකුමාර් (37) සහ ටී. අරුන්කුමාර් (21) නමැති ධීවරයන් දෙදෙනාය.

මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදු තීරයට ඇතුළුවන ඉන්දීය ධීවරයන් විසින් සිය සහෝදර ධීවරයන් ඝාතනය කර ඇතැයි කියමින් ධීවරයෝ මෙලෙස විරෝධතාවේ නිරත වූහ.

එමෙන්ම පෙරේදා මෙරට මුහුදු තීරයට ඇතුළු වූ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා තුනක් අල්ලා ගැනීමට ද යාපනය ධීවරයන් සමත් වී ඇති අතර කොටුවී සිටි ඉන්දීය ධීවරයන් පෙට‍්‍රල් බෝම්බයක් පුපුරවා හැර පලාගොස් ඇත. මෙහිදී තමන්ගේ දැල් ආම්පන්නවලට විශාල ලෙස හානි සිදුවූ බවද යාපනය ධීවරයෝ කියා සිටිති.

යාපනය, වඩමාරච්චි ප‍්‍රදේශයේ පෙරේදා පැවැති උද්ඝෝෂණයට පැමිණි ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට ද යාපනය ධීවරයන් දැඩි විරෝධතාවක් පළ කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ ඉන්දීය ධීවරයන්ගේ මෙරට මුහුදු තීරය ආක‍්‍රමණය නතර කර මියගිය දෙදෙනාට වහා සාධාරණය ඉෂ්ට කරන ලෙසයි. ඉන්දීය ධීවරයන් අපේ මසුන් ටික අල්ලනවා. අපිට පහර දෙනවා. ලංකාවේ අපිට කන්න දෙන්නේ ඉන්දියාවලූ. ගෙවල් හදලා දෙනවලූ. සල්ලි දෙනවලූ. ඒ හින්දා මේ මුහුදේ මාළු අල්ලගෙන යන්න අයිතිය තිබෙනවා කියා ඉන්දීය ධීවරයො කියනවා යැයි ද මෙරට ධීවරයෝ වරෝධතාවේ නිරත වෙමින් කියා සිටිති.

ඉන්දීය ධීවරයන් විසින් විනාශ කළ බව කියන දැල් ආම්පන්න ද ප‍්‍රදර්ශනය කරමින් යාපනයේදී ධීවරයෝ මෙසේ විරෝධතාවේ නිරතව සිටියහ. වඩමාරච්චි ප‍්‍රදේශයේ පැවති උද්ඝෝෂණය නිසා මාර්ගය හරස්වීමෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල විය. මෙම උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට ජාතික මහජන පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මහතා ද එක්ව සිටියේය.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment