අපේ රටේ පිරුණු සම්පත්වලින් රටට ප‍්‍රයෝජනයක් ලබාදෙන්න කාලය ඇවිත්

201

* රජරට සරසවියේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි

 මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබූ නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප‍්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ පිළිගැනීම උදෙසා පැවති ”යතිවර හරසර’’ උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා පෙරේදා (11දා) පස්වරුවේ මේ බව සඳහන් කළේය.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ”යතිවර හරසර” උපහාර පිදීමේ උත්සවය පැවැත්විණි.

 රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය රජමහා විහාරාධිපති ආචාර්ය ඊතලවැටුණවැවේ ඥානතිලක ස්වාමින්වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන ස්වාමීන්වහන්සේ සහ මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න මහතා මෙහි දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජීවන දර්ශනයට අදාළව දෙසුම් පැවැත්වූහ.

 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීවේය.

 හෙද සේවාවේ වෘත්තීය අයිතීන් මෙන්ම ඔවුන්ගේ විවිධ අවශ්‍යතා ද නායක හාමුදුරුවෝ සම්පූර්ණ කළේ දැඩි කැමැත්තෙන්. අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබෙන ප‍්‍රධානම බලවේගයක් බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පත් කිරීමට හැකි වී තිබෙන්නේ උන්වහන්සේ තුළ තිබෙන නිවැරදි හා සෘජු නායකත්වය නිසයි.

 රටේ අර්බුදකාරී අවස්ථාවලදී අපේ නායක හාමුදුරුවෝ පෙරමුණගත් හිමිනමක් බව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී උන්වහන්සේ රට වෙනුවෙන් ඉටුකළ කාර්යභාර්ය සුළුපටු නොවේ.

 එසේම උන්වහන්සේ වෙත යමෙක් පැමිණියා නම් ඒ අයට තමන්ගෙන් ඉටුවිය යුතු අවශ්‍යතාවයන් ඉටුකර දෙන්නේ පුදුම සතුටකින්. මගේ දේශපාලන ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවලදීත් උන්වහන්සේ මුණගැහෙන්න ගියා. ඒ වගේම උන්වහන්සේ මා මුණගැහෙන්නත් නිතර වඩිනවා. මුණගැසුනු සෑම අවස්ථාවකදීම මා සමග සාකච්ඡුා කළේ, රටේ මෙන්ම සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කටයුතු ඉටුකිරීමට අවශ්‍ය දේවල් පිළිබඳවයි.

 අපේ රට දශක 03කට වැඩි කාලයක් යුද්ධයක් තිබූ රටක්, එහිදී අප ලබාගත් අත්දැකීම් තුළ අපට නැවත මේ රට නගාසිටුවීමට හැකියාව ලැබුණා. රට ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය ප‍්‍රධාන වශයෙන් දායක වෙනවා. එබඳු විශ්වවිද්‍යාලයක කුලපති පදවිය දැරීමට තරම් අප නායක ස්වාමීන් වහන්සේ අපේ රට වෙනුවෙන් ඉටුකළ සේවාව අපමණයි.

 පසුගිය දවසක උන්වහන්සේ විශ්වවිද්‍යාල දරුවන්ගේ ඇඳුම් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය රෙදි සෝදන යන්ත‍්‍ර 20 ක් පමණ පරිත්‍යාග කළ බව මා දුටුවා. එසේම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව 1000 ක් පමණ ප‍්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දැන ගන්නට ලැබුණා. ඉදිරියේදීත් අප නායක හාමුදුරුවන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව මා දැඩි සේ විශ්වාස කරන කරුණක්.

 කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට ශ‍්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප‍්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි

 ජනාධිපතිතුමනි ඇත්තෙන්ම මේ ඔබතුමා ලබා දුන් පදවිය, මම මේ පදවි සොයා යන හිමිනමක් නෙමෙයි. නමුත් ඔබතුමාට කරන ගෞරවයක් වශයෙන් තමයි මම ඒක භාරගත්තේ. ඒ නිසා මම ඔබතුමාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර පිරිනැමීම පිළිබඳව.

 ඒ වගේම ඒ ධුර කාලය තුළ මම බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනුවෙන් අපේ අගමැතිතුමා කිව්වා වගේම ශිෂ්‍යත්ව 1000 ජනවාරි මස ඉඳලා ආරම්භ කරන්න. විශ්වවිද්‍යාලය දියුණු කරන්නටත් මම කල්පනා කරලා තියෙනවා.

 රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඵෙතිහාසික මිරිසවැටියේ රජමහා විහාරාධිපති ආචාර්ය ඊතලවැටුණවැවේ ඥානතිලක හිමි

 ලෝකයට අවශ්‍ය නවෝත්පාදන සිදුකළ හැක්කේ පර්යේෂණ තුළින් බව පේනවා.

 අපේ උසස් අධ්‍යාපන ආයතනවල පර්යේෂකයන්ගෙන් අඩුවක් නැහැ. ජාත්‍යන්තර මට්ටමේ අයත් අපේ රට තුළ ඉන්නවා. සෑම වසරකම විශාල පර්යේෂණ ප‍්‍රමාණයක් සිදුවෙනවා. ඒ සඳහා රජය බිලියන ගණනක් මුදල් වැය කරනවා. ඒ පර්යේෂණ වාර්තා ජාත්‍යන්තර ප‍්‍රකාශනවල පවා එළිදැක් වෙනවා. ඒත් අපිට තියෙන බරපතළම ගැටලූව තමයි මේ සොයා ගන්නා කරුණු සමාජගත නොවීම. ඒ සඳහා ප‍්‍රතිපත්තියක් සකස් කිරීම අපිට පැවරුණු වගකීමක් කියලා හිතනවා.

 අපේ රටේ තිබෙන සම්පත්වලින් ප‍්‍රයෝජනය ගන්න පර්යේෂණ අවශ්‍යයි. මෙවැනි කාලයක අපේ රටට විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම අපි කවුරුත් කළයුතු වෙනවා. සමාජයේ කැකෑරෙන ප‍්‍රශ්නවලට පිළිතුරුත් සොයන්නට අවශ්‍යයි.

 මා සිටින උතුරු මැද පළාත ගත්තම එහි වකුගඩු

 රෝගීන් විතරක් 21,000ක් ඉන්නවා. පිළිකා රෝගීන් 24,000ක් ඉන්නවා. ළමා රෝග ඒකකයට විතරක් 1500ක් 2000ක් විතර ළමයින් හදවත පරීක්ෂා කිරීම සඳහා වසරකට එනවා. මේවට විසඳුම් සොයා විශ්වවිද්‍යාල මඟින් පර්යේෂණ කිරීම අවශ්‍ය වෙනවා.

 අපේ රටේ ඇති වටිනාම සම්පත් ගන්න, පුල්මුඬේ ඇති ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය, එප්පාවල පොස්පේට්, මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල්, රෝස තිරුවාණා නිධිය, රත්නපුර මැණික්, ත‍්‍රිකුණාමලයේ ඇති ඉන්දියන් සාගරයේ හොඳම ස්වාභාවික වරාය රට වටා ඇති සාගර සම්පත රට මැද සිට ගලන ගංඟාවල්, වැව් 30000ක් පමණ සම්පත් පිරුණු අපේ මේ රටේ විද්‍යාඥයන්ගෙන් පර්යේෂකයන්ගෙන් මේවාගේ ප‍්‍රයෝජන රටට ලබා දෙන්න කාලය ඇවිත් තියෙනවා.

 ඊට අවශ්‍ය විඥානය ලබා දීමටයි දුර දක්නා නුවණ ඇති ඔබවහන්සේ වැනි බුද්ධිමතෙකුගේ අත්දැකීම් ජාතියට ලබාදීම සඳහා මේ තානාන්තරය හිමි කර දී ඇත්තේ යැයි මට සිතුනා. මෙවන් අභියෝගාත්මක යුගයක මග පෙන්විය හැකි නියමුවකු වශයෙන් බස්නාහිර පළාතේ ප‍්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන්වහන්සේ අපටත් රටටත් වැදගත්.

 කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන ස්වාමීන්වහන්සේ

 මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඥානය ලබන්නේ සමාජ සරසවියෙන්, උන්වහන්සේ ඥානය ලබන්නේ ජීවිත පාසලින්, උන්වහන්සේ ඥානය ලබන්නේ අත්දැකීම් බහුල සමාජයක අප‍්‍රමාණ මෙහෙවර කිරීමෙන්. අත්දැකීම්වලින් ලද පන්නරයෙන් උන්වහන්සේ ලැබූ ඥානය උත්තරීතර මානව දයාවෙන් බැබලූණා.

 ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි ප‍්‍රධාන මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු මෙහි පැමිණ සිටියහ.

 මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ත‍්‍රිවිධ හමුදාපතිවරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, හෙද හෙදියන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment