අපේ රටේ මදිවට ලන්ඩනයෙත් GOTA GO ගමක්

420

ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන පුරවැසි අරගලයට සමගාමීව පසුගිය මැයි පළවෙනිදා ලෝකය පුරා ප්‍රධාන නගර ගණනාවකම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වූහ. ඒ අනුව ලන්ඩනයේ උද්ඝෝෂණය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටය. පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති කුඩා උද්‍යානයේ “ලන්ඩන් ගෝඨාගම” ඉදිකර තිබුණි. මෙම උද්ඝෝෂණය දින 14ක් පෙරවරු දහයේ සිට රාත්‍රී හත දක්වා පැවැත්වීමට නියමිතය.

අපේ රටේ මදිවට ලන්ඩනයෙත් GOTA GO ගමක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන මෙම උද්ඝෝෂණය, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පැවැති දැවැන්තම ශ්‍රී ලාංකික උද්ඝෝෂණය බව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති. පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති උද්‍යානය පිරී ඉතිරී යමින් පන් දහසකට අධික ශ්‍රී ලාංකිකයෝ පිරිසක්, පැවැති සීතල කාලගුණය ද නොතකා එදින රැස්වී සිටියහ. ජාතිභේද, පක්ෂභේද නොතකා මෙතැනට

රැස්වූ පිරිස එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය මෙන්ම අයර්ලන්තයේ සිට ද පැමිණ සිටීම විශේෂත්වයකි.

රටේ ධනය සූරාකෑම සහ අදූරදර්ශී පාලනය නිසා රට බංකොලොත් කිරීම උද්ඝෝෂකයින් ගේ ප්‍රධාන සටන් පාඨ බවට පත්වී තිබුණි. එසේම මෙම උද්ඝෝෂණය මගින් බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීම ද ඔවුන් ගේ අරමුණයි. රාජපක්ෂ පවුලේ මෙන්ම අනෙකුත් ශ්‍රී ලාංකික දේශපාලනඥයින්ගේ බ්‍රිතාන්‍යයේ ඇති වත්කම් පිළිබඳ සොයා බැලීමට ඔවුන් දැනටමත් කමිටුවක් පත්කර ගෙන ඇති අතර ඒවා ලෝකයට හෙළි කිරීමටත්, නඩු මඟට බැසීමටත් කටයුතු යොදා තිබේ.

පසුගියදා හොඳම වේදිකා නළුවා ලෙස ලන්ඩනයේදී “ඔලිවර්” සම්මානයෙන් පිදුම් ලද හිරාන් අබේසේකර, ශ්‍රී ලංකාවේ සම්මාන ලාභී නළු තුමිඳු දොඩම්තැන්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක ද මෙම උද්ඝෝෂණයට සහභාගීවී සිටියහ.

‘ඉරිදා දිවයින’ හා කථා කළ තුමිඳු දොඩම්තැන්න කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නිර්මාණාත්මක සහ සාමකාමී ජන අරගලය මෙය බවයි. පාලකයින් බලයට පත් කළ ජනතාවම ඔවුන්ට ගෙදර යන ලෙස බල කරන බවත් තවදුරටත් මිනිසුන්ට පෝලිම්වල මැරෙන්න ඉඩ නොදී, මිනිසුන්ව හාමතේ නොතබා, ශ්‍රී ලංකාව තවත් සෝමාලියාවක් බවට පත් නොකොට පාලකයන් පාලනයට සමුදෙනු ඇතැයි ඔහු බලපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.

අපේ රටේ මදිවට ලන්ඩනයෙත් GOTA GO ගමක්

ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලසන්ත පෙරේරා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෙරෙන පුරවැසි අරගලයට විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සහයෝගය දියයුතු බවත් අනිවාර්යයෙන්ම ගෝඨාභය ඇතුළු පිරිස ගෙදර යායුතු බවත් එය සාර්ථක කර ගැනීම සඳහා එංගලන්තයේ සිට ඔවුන් උපරිම උත්සාහය යොදන බවයි.

ජාතික ජන බලවේගයේ සාමාජික රංජිත් විජේසිරිවර්ධන මහතා කියා සිටියේ ගෝඨාභය ඇතුළු අසමත් පාලනයට ගෙදර ගොස් වහාම ජනතාවාදී පාලනයක් පිහිටුවීමට ඉඩ දෙන ලෙසයි. හොරා කාපු සල්ලි ටික නැවත දීලා යන ලෙස සියලුම ජනතාව එක හඬින් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

වාමාංශික දේශපාලනයේ නියැළෙන වරුණ කුමාර පවසා සිටියේ පවතින පාලනයට එරෙහිව 1953 පැවති හර්තාලයට එහා ගිය ජන අරගලයක් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේත් එයට සමගාමීව ලොව පුරාත් පැවැත්වෙන බවයි. රාජපක්ෂලා වසර දෙකක් තුළ ශ්‍රී ලංකාව කාබාසිනියා කර මහ මඟට ඇද දමා ඇති බව ඔහු පවසයි.

ඉදිරියේදී හුදු මුහුණු මාරුවකින් තොරව පවතින දේශපාලන ක්‍රමයේ සම්පූර්ණ වෙනසක් ඇති විය යුතු බවත් ජාති භේද, කුල භේද, පක්ෂ භේද නොමැතිව ශ්‍රී ලාංකිකයෝ ලෙසින් ඉදිරියට යායුතු බවත් ජනාතා පරමාධිපත්‍යය ඉටු කරන පාලකයෝ පිරිසක් පත් කර ගතයුතු බවත් ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment