අපේ රටේ මෙතරම් අපරාධ ඇයි? වරද කොතැන ද? පිළියම කුමක් ද?

377

පුවත්පත් මගින්, ගුවන් විදුලි හා රූපවාහිනි ප්‍රවෘත්ති මගින් නිතර ම දැනගන්න ලැබෙන්නේ රටේ සිදුවන හොරකම්, වංචාවල්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම්, මත්ද්‍රව්‍ය භාවිත කිරීම් ආදී අපරාධ ය. කිසිම මනුෂ්‍යයකු විශ්වාස නොකළ හැකි තත්ත්වයට රට පත් වී තිබේ. පෙර පාසල් යන කාලයේ සිට ම බොරු කියන්න ළමයින්ට පුරුදු කරන්නේ දෙමවුපියන්ය. ටීචර්ට මෙහෙම කියන්න කියා බොරු උගන්වා එවන අවස්ථා එමට ඇත. පාසලකට ඇතුළත් කරන්න යෑමේදී ළමයින්ට කොතරම් බොරු කියන්න පුරුදු කරවනවා ද? කාර්යාලයක, ආයතනයක, කම්හලක වැඩ කරන දෙමාපියන් පුංචි පුංචි දේවල් වුවත් සොරාට ගෙන එන ඒවා ළමයින්ට දකින්න ලැබෙන්නේ නැද්ද ? රැකියාවලට යෑමට පගාව දෙන්න සිදුවෙයි. විවාහ වෙන්න බොහෝ බොරු කියන්න වෙයි. බොරුව වංචාව හොරකම බහුලව සිදුවෙයි. සමහරුන් කියන්නේ නූගත් අය අපරාධ කරන බවයි. එය තරමක් සත්‍ය වුවත් උගත් අය අනන්තවත් සාහසික අපරාධ කරනු දක්නට ලැබෙයි.

ඉහළට ඉගෙනගත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීන්, කථිකාචාර්යවරුන්, ගුරුවරුන්, නිලධාරීන්, ආරක්ෂක සේවයේ නියුක්ත වූවන්, දේශපාලකයන් පමණක් නොව, හැම ආගමකම පැවිදි පක්ෂයට අයත්වූවන් වැරදි අපරාධ කරපු අවස්ථා වාර්තා වෙයි. නීති මගින් ක්‍රියා කර ඒවා නතර කළ හැකි ද ? ධර්ම දේශනා මගින් නැති කළ හැකි ද? නීතිය ක්‍රියාත්මක වේ. අනන්තවත් දේශනා අසන්න ලැබේ. එහෙත් ඒවායින් ප්‍රමාණවත් වෙනසක් සිදු නො වෙයි. සමාජ ආර්ථික තත්ත්වය උසස් වීමෙන් වැරදි අපරාධ නැතිවේයැයි සමහරුන්ගේ මතයයි. එහි ද එක්තරා ප්‍රමාණයකට සත්‍යක් පැවතුණත් ඉහළ ආර්ථික මට්ටමක සිටින අය අපරාධ කරන අයුරු පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් කියවෙන කරුණුවලින් මහ ජනයාට තේරුම් ගත හැකිය. විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අයට කෝටි ගණන් සොරකම් කරපු ආකාරය හෙළි දරවු කරති. එසේ ම ආණ්ඩු පක්ෂයේ අය කියන්නේ විපක්ෂයේ අය කලින් බලයේ සිටිය දී කෝටි ගණන් වංචා කළ බවයි. දේශපාලනික බලය උපයෝගී කරගෙන අහිංසක මිනිසුන් පෙළන ආකාරය නිතර ම දකින්න ලැබේ. ඇතැම් සංවිධාන තමන්ගේ සාමාජිකයන් යොදවාගෙන කොතරම් අපරාධ කරනවාදැයි මාධ්‍ය මගින් හෙළි වෙයි. පසුගිය දා ප්‍රතිවාදී දේශපාලකයන්ගේ ගෙවල් හැත්තැහතරක් ගිනිතැබූ හැටි ජනතාව දනිති. එය සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවක් නො වීය. භීෂණය ඇති කිරීමට හා ඇතිතැන්වලට ඉරිසියාව පළ කිරීමට සිදුවූ දේ ලෙස මහජනයා දකිති. ඔවුන්ගෙන් ම සිදුවන විශාල හානියක් ලෙස උසස් අධ්‍යාපනය ලබන්නට රජයේ විශ්වවිද්‍යාලවල, කාර්මික විද්‍යාලවල, විද්‍යාපීඨවල ශිෂ්‍යන්ට එයට අවස්ථාව නොදී අධ්‍යාපනය කඩකප්පල් කිරීම ද සාහසික අපරාධයක් වන්නේය.

විශේෂයෙන් ඉගෙනීමට සරසවි වරම් ලබා ගන්නා භික්ෂූන් වහන්සේ ඉන් පරිබාහිර දේවල යෙදවෙන අයුරු සැදැහැවතුන්ගේ කම්පාවට හේතු වන්නේය. මෙබඳු ආකාරයේ වැරදි හැම තැන ම සිදු වෙයි. උසස් අධ්‍යාපන ආයතනවල නවක ශිෂ්‍යන්ට නවක වධය දීම් වශයෙන් කෙරෙන දරුණු ක්‍රියා බොහෝය. වැසිකිළිපෝච්චිවල වතුර පෙවීම, බොරළු මත ඇඳුම් නැති ව පීනීම ආදී වධදීම් සිදුවී ඇත. ඇතැම් ශිෂ්‍යන් මානසික පීඩාවලට හා කායික ආබාධවලට ගොදුරු වන අයුරු බහුලව දැකිය හැකිය. මරණ ද කීපයක් සිදු වී තිබේ. ගම්වල අහිංසක ගෑනු දරුවන් දූෂණයට ලක් කොට මරා දැමීම් නිතර ම වාර්තා වෙයි. සමහරවිට පියවරුන්ගෙන් ද දැරියන් දූෂණයට ලක්වීම සිදුවී ඇත. ඕනෑ ම දරුවකුට නිදහසේ ඉන්නට හැකියාව තිබිය යුතුය. ඔවුන්ට බලහත්කාරකම් කිරීම හා අයුතු දේවලට යොදවා ගැනීම නො කළයුතු දේ වන්නේය. ඇතැම් අවස්ථාවල බලයෙන් ගෑනු ළමයින්ගේ කැමැත්ත ගන්නට උත්සාහ කරන අතර ඔවුන්ගේ කමැත්ත නො දීම නිසා වධහිංසා කිරීම හෝ මරා දැමීම සිදු වෙයි. මේ ආකාරයෙන් සමාජය භයානක වී ඇත්තේ කුමක් නිසා ද? මෙතරම් අපරාධ සිදු වෙද්දී බලා සිටිය යුතු ද ? මේ සඳහා පිළියම් යෙදිය යුතු නො වේ ද? මේ කරුණු හෙළි කිරීම නිසා ඇතැම් දේශපාලකයන් දොස් නැඟීමට හැකිය. එසේ දොස් නඟනවා නම් ඒ වැරදි කරන අය හෝ කරවන අය වියයුතුය.

සැබැවින් ම කළ යුත්තේ එසේ නො වන තත්ත්වයකට රට හැදීමය. මේ තත්ත්වයට බොහෝ හේතු තිබිය හැකිය. පුද්ගලයන්ගේ මානසික තත්ත්වය, ලැබූ දුක්ඛිත අද්දැකීම්, වැරදි දෘෂ්ටීන් ඒ අතර තිබිය හැකිය. ප්‍රධාන වශයෙන් ලැබෙන අධ්‍යාපනය මේ ස්වභාවයට හේතු විය හැකිය. අධ්‍යාපනය මගින් පුද්ගලයාගේ මානසික තත්ත්වය, ආකල්ප හා ගතිපැවතුම් සකස් කළ යුතුය. ඒ සඳහා වඩාත් ම සුදුසු කාලය වන්නේ ළමා කාලයයි. පෙරපාසල් අධ්‍යාපනයෙන් හා ප්‍රාථමික අධ්‍යාපනයෙන් ස්ථාවර පදනමක් දැමිය යුතුය. මොක ද? එම අවධියේදී මනසට ඇතුළත් වන සංකල්පනා මුළු ජීවිතයට ම තදින් බලපායි. පසුව සුළු සුළු වෙනස් කම් ඇති වුවත් ළමා අවධියේ ඇතිවුණු හැඟීම් තදින් බලපායි. එහෙත් අද කාලයේ ප්‍රාථමික අධ්‍යාපනය සකස් වී තිබෙන්නේ කෙසේ හෝ 5 ශිෂ්‍යත්ව විභාගය සමත්කරවීමටය. සදාචාරාත්මක, ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති නො කරන්නේය. පෙර පාසලේදී දරුවන්ගෙන් දෙමාපියන් බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් අකුරු කියවීම, ලිවීම, ඉලක්කම් හඳුනාගැනීම හා ගණන් හැදීමයි. එසේ හැකියාව ලබාගන්නා දරුවා සාර්ථක හැටියට දෙමවුපියෝ සලකති. එසේ හැකියා පෙන්වන දරුවෝ පසුව උදාසීනව වැඩකරන අයුරුත් පෙනේ. එම පෙරපාසල් අවධියේ අකුරු හා ඉලක්කම් පිළිබඳ සංකල්පයක් දරුවන්ට හරිහැටි ඇති නොවේ. ඒ නිසා තමයි රූප තියන හෝඩි පොත බලා ගෙන ‘ප’යන්න ‘ය’යන්න කකුල කියලා කියවන්නේ. වයස හයෙන් පසුව තමයි එම අකුරු කියන්නේ. මොනවා ද ඉලක්කම් මොනවා ද කියා තේරුම් ගන්නට පටන් ගන්නේ. ඒ කාලයේදී කළයුත්තේ බුද්ධිය වර්ධනය වන ක්‍රීඩා, යහපත් ගුණධර්ම පුරුදු කරවීමය.

ඒ නිසා පෙරපාසල් කාලයේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය මගින් දරුවාගේ මුළු ජීවිතයට ම බලපාන පදනමක් දැමිය යුතුය. ඒ පදනම වැරදි අපරාධ නො කරන, සමාජයට හිතකර, රටට ඵලදායී පුද්ගලයකු හැදීමටය. අද පුරුදු වෙලා තිබෙන්නේ විෂයානුබද්ධ දැනීම වර්ධනය කරන්නට පමණි. එයට ප්‍රමුඛත්වය දිය යුත්තේ 6 ශ්‍රේණියේ සිටය. ඒ වයසේදී වඩාත් වේගයෙන් විෂයානුබද්ධ දැනීම වර්ධනය කර ගත හැකිය. වෘත්තීය දැනුම වර්ධනය කරගත හැකිය. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දියයුතු ප්‍රාථමික අධ්‍යාපනයේ දී ප්‍රධාන මාතෘකා විය යුත්තේ මෙම කරුණු පහයි.

  1. අවංකත්වය
  2. සදාචාරසම්පන්න බව
  3. දේශහිතෛශී බව
  4. නිර්මාණශීලී බව
  5. කාර්යක්ෂමතාව ය.

මේ කාරණා ළමයින් තුළ පැළපදියම් වීමෙන් ඔවුන් සමාජයට හිතකර වූ නිවැරදිව ජීවත් වන සාර්ථක මිනිසුන් පිරිසක් බවට පත්වනු නියතය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් සියයට හැත්තැපහක් මේ මාතෘකා යටතේ සකස් වුවොත් ඉහතින් සඳහන් කළ ආකාරයේ වැරදි සහිත පුද්ගලයන් බිහි නොවනු ඇත. නිවැරදි පුරවැසියන් බිහිවනු ඇත. මෙම කරුණු පාඩම්වලට එකතු කළ යුත්තේ කතන්දර, සත්‍ය උදාර සිදුවීම්, ප්‍රබන්ධ, රචනා, පද්‍ය, ගීත ආදී වශයෛනි. අවංකත්වය යන්නෙන් බොරු නොකීම, සොරකම් නොකිරීම, වංචා නොකිරීම හා නොරැවැට්ටීම අදහසස් වෙයි. එය මූලික වශයෙන් ඇති කර ගතයුතු ගුණයකි. ඒ පිළිබඳ වටිනාකම දැනීමත් ආකල්පත් හුරු පුරුද්දත් ඇතිකරවීම අවශ්‍යය. සදාචාරසම්පන්න බව ලෙස ගැනෙන්නේ යහපත් කතා, යහපත් ක්‍රියා හා යහපත් චාරිත්‍ර අනුගමනය කිරීමය. කිසිවකුගේ ජීවිතයට, දේපළවලට, චරිතයට හානියක් නොකිරීමත්, කළ හැකි උපකාරය, රැකවරණය, ඇගයීම හා චරිත සංවර්ධනයට අනුබල දීමත් මෙයින් අදහස් කෙරෙයි. නිහතමානී, කීකරු, කාරුණික, පරිත්‍යාගශීලී හා ඉවසීමෙන් යුක්ත දරුවන් හැදුවොත් ඔවුන් සමාජයේ යහපත් මිනිසුන් වශයෙන් ක්‍රියා කරනු ඇත. දේශමාමක බැවින් අදහස් කරන්නේ ජාතිවාදය නො වේ. එය පහත් ගතිගුණයකි. දේශමාමකබව, දේශවාත්සල්‍යය යනු රටටත්, ජනතාවටත්, සංස්කෘතියටත්, ජාතික වස්තූන්ටත් ඇලුම් කිරීමය. ජනතාවට හා ජාතික වස්තූන්ට හානියක් නොකොට සුරැකීම හා සංවර්ධනය වන අයුරින් කටයුතු කිරීම එයින් බලාපොරොත්තුවේ. රටට, ජනතාවට සතා සිව්පාවාට හා ගහකොළවලට ආදරය දක්වන මනුෂ්‍යයෝ අපරාධ නොකරති. ශාන්තියක් වෙත. දේශමාමක මනුෂ්‍යයා රටට ජනතාවට අවමන් වන දේ නො කරයි. නිර්මාණශීලී බව ප්‍රාථමික අධ්‍යාපන තුළින් වර්ධනය කළ යුතුය. අලුතින් හිතන්න, අලුත් දේ නිර්මාණය කරන්න පුරුදු කළ යුතුය.

අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නඟී යනුවෙන් මුනිදාස කුමාරතුංග සූරීන් ප්‍රකාශ කළේ එ බැවිනි. නිර්මාණ කුසලතාව වර්ධනය කර ගැනීමෙන් බොහෝ පහසුකම් හා වාසිදායක තත්ත්ව උදාකර ගත හැකිය. රටට මහත් ආශිර්වාදයෙකි. ප්‍රාථමික අධ්‍යාපනය මගින් ලබාදිය යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ කාර්යක්ෂමතාවයි. එයින් අදහස් කරන්නේ ක්‍රමානුකූලව පිළිවෙළකට වැඩ කිරීම හා කළමනා කරණයට හුරුවීමය. ධෛර්යවන්න, නොපසුබසිනා උත්සාහවන්ත ක්‍රියාශූර ළමයින් පිරිසක් බිහිකිරීම මෙයින් අපෙක්‍ෂිතය. මේ කරුණු පහට මූලිකත්වය දෙමින් භාෂා කුසලතා වර්ධනය කිරීම ප්‍රාථමික අධ්‍යාපනයේදී සිදු වියයුතුයි. එම කරුණු පහ සීයට හැත්තැපහක් පමණ විය යුතු අතර මවු බස මුල්කරගෙන අනෙකුත් භාෂාවන් ඉගැන්වීම කළයුතුයි. ගණිතය පිළිබඳ මූලික දැනුම ප්‍රමාණවත් වේ. 5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට විශේෂ සූදානමකින් තොර ව පවත්වන පරීක්ෂණයකින් ශිෂ්‍යාධාර දීමට වෙන ම වැඩපිළිවෙළක් සකස් කළයුතුය. ශිෂ්‍යත්ව ලකුණුමත උසස් පාසල්වලට සිසුන් තෝරා ගැනීමේ ක්‍රමය අවලංගු කිරීම යෝග්‍ය වෙයි. එයින් පාසල් අතර විෂමත්වයක් හා පන්ති බේදයක් ඇතිවේ. සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂයන් ඉගැන්වීම 6 ශ්‍රේණියේ සිට කළයුතු අතර ඒ සඳහා අධ්‍යයන කාලයෙන් සීයට හැත්තැපහක් ද ප්‍රාථමික අධ්‍යාපනයේදී යොදාගත් කරුණුවලට සීයට විසි පහක් වෙන් කළ යුතුය. මේ ආකාරයෙන් වර්ෂ දහයක් ප්‍රාථමික අධ්‍යාපනය පවත්වා ගෙන ගියොත් රටතුළ විශාල සදාචාර සම්පන්න, අවංක, කුසලතා පිරි පුරවැසියන් පිරිසක් බිහිවනු ඇත. ඒ මගින් මුළු රටට ම පණිවිඩයක් යනු ඇත. අවුරුදු විස්සකින් එ බඳු යහපත් පුරවැසියන්ගෙන් යුත්ත රටක් බිහිවනු ඇත. මෙය ක්‍රියාත්මක කරවීමට යම් අධ්‍යාපන ඇමතිවරයකු හෝ නායකයකු ඉදිරිපත් වේ නම් ඔහු ඉතිහාසගත වන ශ්‍රේෂ්ඨ ජාතික නායකයකු වනු ඇත.

අපේ රටේ මෙතරම් අපරාධ ඇයි? වරද කොතැන ද? පිළියම කුමක් ද?

advertistmentadvertistment
advertistmentadvertistment