අපේ රටේ සිරවූ යුක්රේනුවන්ට අපි සලකන හැටි

674

දෙපාර්ශ්වයේ සාමය රැකීම අපේ රටේ වගකීමක්

මම යුක්රේන් – බිරිඳ රුසියන්. දුව ඉන්නේ මොස්කව්. මට මේ රටවල් දෙකම එකයි. දෙවියන්ගේ නාමයෙන් යුද්ධය නතරවීම මගේ පැතුමයි.
යුක්රේන සංචාරකයෙක්

මෙවර සංචාරක සමය ආරම්භවීමත් සමග විදේශීය සංචාරකයන් මෙරටට ඇදීඑන්නට වූහ. විදේශීය සංචාරකයන්ගේ පැමිණීමත් සමග මෙරට සංචාරක කර්මාන්තයේ යම් ප‍්‍රවර්ධනයක් ඇතිවෙමින් තිබූ අතර සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ගේ අතමිට සරුවූහ. 2021 වර්ෂයේදී විදේශීය සංචාරකයන් 1,60000ක් පමණ මෙරටට පැමිණ තිබුණි. එම සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ තිබුණේ රුසියානු සංචාරකයන් වන අතර එම සංඛ්‍යාව 25304කි. යුකේ‍්‍රන සංචාරකයන් 12600 දෙනෙකු ඉකුත් වර්ෂයේ (2021) මෙරටට පැමිණ තිබුණි. මෙකී සංඛ්‍යාලේඛන අනුව මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ තිබුණේ රුසියානුවන් හා යුකේ‍්‍රනුවන්ය.

කෙසේ වුවද රුසියාව විසින් යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමත් සමග ඇතිවී තිබෙන යුද ගිණිදැල් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන් වික්ෂිප්තභාවයට පත්ව සිටිති. යුකේ‍්‍රනය තුළ වර්ධනය වෙමින් පවතින යුද ගැටුම නිසා මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවස ගැන සංචාරක කර්මාන්තයේ නිරතවූවන් දෑස් දල්වාගෙන බලා සිටිති. ඔවුන් තුළ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැඟී ඇත. ඒ විතරක් නොව ඇතැම් රුසියානු හා යුකේ‍්‍රන ජාතික විදේශීය සංචාරකයන් විසින් මෙරට හෝටල් සඳහා වෙන්කොට තිබූ ඇණවුම් මේ වනවිට අවලංගුකොට ඇත.

එමෙන්ම යුද ගැටුම හේතුවෙන් මෙරට රැඳීසිටින යුකේ‍්‍රන ජාතිකයන් මෙන්ම රුසියානු ජාතිකයන් මානසික වශයෙන් දැඩි පීඩනයට ලක්ව සිටිති. ඇතමුන් දැඩි වික්ෂිප්තභාවයට පත්ව සිටින අතර කුමකින් කුමක් කරන්නේද යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකිව ඔවුහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ඇතැම් යුකේ‍්‍රනුවන් කිසිවක් කර ගැනීමට නොහැකිව සිය හෝටල් කාමරය තුළට වී බලාගත් අතබලාගෙන සිටිති. යුකේ‍්‍රනය තුළ යුද ගැටුම් පැවතියද මෙරට හෝටල්වල රැඳී සිටින රුසියානුවන් හා යුකේ‍්‍රන ජාතිකයන් ඉතා සුහදව මිත‍්‍රත්වයෙන් කටයුතු කරති. ඒ විතරක් නොව මානසික වශයෙන් පීඩනයට ලක්ව සිටින යුකේ‍්‍රන හා රුසියානුවන්ගේ මනස සුවපත් කිරීම සඳහා මෙරට හෝටල්හිමියන් විවිධ වැඩසටහන් දියත් කරති. උණවටුන ප‍්‍රදේශයේ සංචාරක හෝටල්හිමියන් විසින් යුකේ‍්‍රන හා රුසියානුවන්ට සිය හෝටල් තුළ නොමිලේ අවශ්‍ය ඉඳුම් හිටුම් මෙන්ම කෑමබීම ලබාදෙමින් අවශ්‍ය සහයෝගය ලබාදෙති. මෙම අවස්ථාවේ දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින යුකේ‍්‍රන හා රුසියානුවන්ට උණවටුණේ සංචාරක හෝටල් හිමියන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් සිදු කරන මෙම ක‍්‍රියාවන් අගය කළ යුතුය.

කවදත් ශ‍්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාර වලට නිර්ලෝභී පුද්ගලයන්ය. කෙනෙකු විපතට පත්වූ විට ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙති. උණවටුන සංචාරකයන් සංගමයේ ලේකම් හා උණවටුන රිදිවිලා හෝටලයේ අධිපති සුමිත් උඹෙසිරි මහතා ද එවැනි පුද්ගලයෙකි. යුකේ‍්‍රනයේ පවතින යුද ගැටුම නිසා මානසික වශයෙන් පීඩාවට ලක්ව සිටින යුකේ‍්‍රන ජාතික එම්. ජෝර්ජ් සුමිත් හමුවීමට පැමිණියේය. මොහු රිදිවිලා හෝටලයේ නතරවී සිටින විදේශීය සංචාරකයෙකි. ඔහු එරට පුද්ගලික ආයතනයක සේවය කරන බැංකු නිලධාරියෙකි. මොහුගේ බිරිඳ රුසියානු ජාතික කාන්තාවකි.

අපේ රටේ සිරවූ යුක්රේනුවන්ට අපි සලකන හැටි

මිස්ට සුමිත් මේ අවස්ථාවේ මම ගොඩක් අසරණවෙලා ඉන්නේ. මගේ බැංකු ගිණුමෙන් පවා මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා තියෙන්නේ. මගේ ළඟ වියදමට පවා මුදල් නැහැ. මට පුළුවන් නම් මුදල් ටිකක් දෙන්න ජෝර්ජ් කීවේය. කිසි ප‍්‍රශ්නයක් නැහැ. උඹේ වියදමට අවශ්‍ය මුදල් මම දෙන්නම්. ඒ විතරක් නෙවෙයි හෝටලයේ රැඳී සිටිනතාක් කල් අවශ්‍ය කෑම බීම ඉඳුම් හිටුම් උඹට ලබා දෙන්නම් සුමිත් කීවේය. ජෝර්ජ්ගේ මුවගට සිනහවක් නැගුණි. හේ සිය ජංගම දුරකථනය අතට ගත්තේය. සිය ජංගම දුරකථනයට ලැබී තිබූ ඡායාරූප පෙළක් ඔහු සුමිත්ට පෙන්වීය. එම ඡායාරූප යුද්ධයේ බිහිසුණු බව කියාපාන ඡායාරූප විය.

යුක්රේනයේ අපි පදිංචිවෙලා ඉන්න නගරයටත් රුසියානු හමුදාව ප‍්‍රහාර එල්ලකොට තියෙනවා. මගේ දූ දරුවන් හිතවතුන් මිතුරන් මේ නිසා දැඩි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. මගේ එක් දියණියක් රුසියාවේ මොස්කව් නගරයේ ජීවත් වෙනවා. මා යුක්රේන් ජාතිකයකු වුවත් මගේ බිරිඳ රුසියානු ජාතික කාන්තාවක්. මට රටවල් දෙකම එකයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන්න කියා පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මගේ බැංකු ගිණුමෙන් මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මා රැඳී සිටින හෝටලයේ හෝටල් හිමියා වන සුමිත් නොමිලේ කෑම බීම ලබාදෙනවා. ඉඳුම් හිටුම් නොමිලේ ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි මට වියදමට පවා මුදල් ලබා දුන්නා. ශ‍්‍රී ලංකාව සුන්දර රටක් . ඔවුන්ගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළයි. අසරණ වෙලා ඉන්න අපි වගේ අයට මොවුන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරනවා යැයි ජෝර්ජ් කීවේය.

යුක්රේනයේ ඇවිලෙන යුද ගිණිදැල් නිසා මෙරටට පැමිණි යුක්රේන් ජාතිකයන්ට සිය රටට යෑමට නොහැකවී ඇත. ඇතමුන්ගේ වීසා කාලය ඉකුත්වී ඇත. යුකේ‍්‍රනයේ බැංකු කටයුතු ඇතුළු සියල්ල නතරවී ඇති පසුබිමක ණය කාඞ්පත්වලින් පවා ගනුදෙනු කිරීමට මොවුන්ට නොහැකිවී ඇත. ඇතමුන්ට එදිනෙදා වියදම් කිරීමට පවා මුදල් නොමැත. කොවිඩි වසංගත සමයේ පවා මෙරට රැඳී සිටි විදේශීය සංචාරකයන්ට උණවටුණේ හෝටල් හිමියන් පිහිටවූහ. මෙවරද උණවටුණේ හෝටල් හිමියන් යුකේ‍්‍රනුවන් වෙනුවෙන් උදව් පදව් කිරීමට ඉදිරිපත්ව සිටිති. මේ වනවිට මෙරට යුකේ‍්‍රන ජාතික විදේශිකයන් 4122 දෙනෙකු රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවද මේ වන විට දිවයිනේ රැඳී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීමට රජය මගින් තීන්දුකොට ඇත. රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යෑමට අපහසු තත්ත්වයක් පැන නැගීම නිසා මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස දෙකකින් දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. මෙම තීන්දුව මෙරට රැඳී සිටින යුක්රේන හා රුසියානු සංචාරකයන්ට යම් අස්වැසිල්ලකි.

යුද ගැටුම් හේතුවෙන් මව් රටට යෑමට නොහැකිව මෙරට රැඳී සිටින රුසියාවේ නීතිඥවරියක් වන එස්. ඩයරියා (52) උණවටුණේදී අපිට මුණ ගැසුණි. ඇය කීවේ මෙවැනි කථාවකි.

මා රැඳී සිටින හෝටලයේ යුක්රේන් ජාතිකයන් ද රැඳී සිටිනවා. නමුත් අපි අතර කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. අපි ඉතා සහෝදරත්වයෙන් කටයුතු කරනවා. පසුගිය නොවැම්බර් මාසයේ තමයි මම ලංකාවට ආවේ. රුසියානුවන්ට හා යුක්රේන් ජාතිකයන්ට යුද්ධය අවශ්‍ය නැහැ. පුටින් ජනාධිපතිතුමාට තමයි යුද්ධය අවශ්‍යවෙලා තියෙන්නේ. යුද ගැටුම නිසා ඇතැම් යුක්රේන් ජාතිකයින් රුසියානුවන් සමග අමනාපයෙන් ඉන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඔවුන් මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්වෙලා. අපිට අවශ්‍ය සාමය. අපිට යුද්ධය එපා. මේ අවස්ථාවේ ශ‍්‍රී ලංකිකයන් අපිට හොඳින් සලකනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

අපේ රටේ සිරවූ යුක්රේනුවන්ට අපි සලකන හැටි

එම්. ඇඩෝනා (48) යුක්රේන් ජාතික කාන්තාවකි. ඇය යුක්රේනයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. යුද ගිණිදැල් නිසා ඇය මානසික වශයෙන් දැඩි කම්පනයට ලක්ව සිටින්නීය.

මගේ පවුලේ සාමාජිකයන් පදිංචිවෙලා ඉන්න නගරයටත් ප‍්‍රහාර එල්ලවෙනවා. ඔවුන් එම ප‍්‍රහාරවලින් බේරිම සඳහා පොළව යට බංකරවලට වෙලා ඉන්නවා. යුද්ධය නිසා මගේ රටවැසියන් දැඩි අසරණ තත්ත්වයට ලක්වෙලා ඉන්නේ. යුද්ධය නතර කළ යුතුයි. මගේ රටට ආපසු කෙදිනක යෑමට පුළුවන්ද කියා මට හිතා ගන්න බැහැ. ණය කාඞ්පතෙන් පවා මුදල් ගන්න බැහැ. සියල්ල නතර කරලා. නමුත් මේ අවස්ථාවේ අපිට උණවටුනේ හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබාදෙමින් අපිව රැකබලා ගන්නවා. වීසා කාලය දීර්ඝ කරලා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා යැයිද ඇය කීවාය.

එස්. සේගා (50) යුක්රේන් ජාතිකයෙකි. ඔහු එරට පුද්ගලික ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන්නේය.

මා යුක්රේන් ජාතිකයෙක්. මගේ බිරිඳ රුසියානු ජාතික කාන්තාවක්. අපිට යුද්ධය එපා. යුද්ධය නිසා යුක්රේන් ජාතිකයන් මෙන්ම රුසියානුවන්ද මිය යනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධය නතර කළ යුතුයි. මේ අවස්ථාවේ ශී‍්‍ර ලාංකිකයන් අපිට ගොඩක් උදව් කරනවා. ශී‍්‍රලංකාව සුන්දර රටක්. අපි බඩගින්නේ තියන්නේ නැතිව අපිට උදව් කරනවා යැයිද හෙතෙම කීවේය.

මේ අතර දකුණු පළාතේ හෝටල්වල රැඳී සිටින යුකේ‍්‍රන ජාතිකයන් පිරිසක් යුද්ධය නතර කර දෙන ලෙස ඉල්ලා පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ගාලූ කොටුපවුර මත ඉටිපන්දම් දල්වමින් පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වූහ.

මේ අතර උණවටුන සංචාරක සංගමයේ ලේකම් හා උණවටුන රිදිවිලා හෝටලයේ අධිපති සුමිත් උඹෙසිරි මහතා යුක්රේනයේ ඇතිවී තිබෙන යුද වාතාවරණය මෙරට සංචාරක කර්මාන්තයට බලපා ඇති ආකාරය විස්තර කරමින් අපි සමග කථාබහට වැටුණේය.

පාස්කු ප‍්‍රහාරය හා කොවිඞ් වසංගතය නිසා මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ලවුණා. මෙරට සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක තමයි යුක්රේනයේ යුද්ධයක් ඇතිවෙලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරයට කුමක්වේවිද කියා හිතාගන්න බැරිව තමයි අපි ඉන්නේ. දැනටමත් අපේ හෝටලයට ලැබී තිබූ බුකින් විශාල සංඛ්‍යාවක් අවලංගු වුණා. ඒ විතරක් නෙවෙයි සති දෙකක කාලයක් සඳහා හෝටලයේ ගත කිරීමට පැමිණි ඇතැම් රුසියානුවන් සිය මව්රට බලා යන්න ගියා. ශී‍්‍ර ලංකාව ආගන්තුක සත්කාර අතින් ඉහළින්ම ඉන්න රටක් නිසා ඒ අය වෙනුවෙන් අවශ්‍ය කෑම බීම ඉඳුම් හිටුම් නොමිලේ සපායාදීමට අපිට හැකිවෙලා තියෙනවා. නමුත් මේක හැමදාම කරන්න බැහැ. සංචාරක ව්‍යාපාරය කියන්නේ ඉතා සංවේදී ව්‍යාපාරයක්. අපි අසරණ වෙලා ඉන්නේ. යුක්රේන් හා රුසියානු සංචාරකයන්ද අසරණ වෙලා ඉන්නේ. යැයි සුමිත් උඹෙසිරි මහතා කීවේය.

උණවටුණ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත මහතා කීවේ මෙවැනි කථාවකි.

පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය තුළ ලොකු ප‍්‍රවර්ධනයක් ඇතිවෙමින් තියෙනවා. එය අපිට විශාල අස්වැසිල්ලක් වුණා. උණවටුනට පැමිණි සංචාරකයන් අතුරින් වැඩියෙන් ඉන්නේ රුසියානු හා යුක්රේන් සංචාරකයන්. රුසියාව හා යුක්රේනය අතර ඇතිවෙලා තියෙන යුධ වාතාවරණය නිසා යුක්රේන් සංචාරකයින් දැඩි අපහසුතාවයට ලක්වෙලා තියෙනවා. ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගුවෙලා තියෙනවා. ඔවුන්ට ඊමේල් හෝ අන්තර්ජාල මගින් කිසිදු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නැතිවෙලා තියෙනවා. ඔවුන් අසරණ වෙලා කල්පනා කරනවා කුමක්ද කරන්නේ කියලා. මගේ හෝටලයේ යුක්රේන් හා රුසියානු ජාතිකයන් නතරවෙලා ඉන්නවා. නමුත් ඔවුන් ඉතා සුහදව මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. මේක මිනිසුන් අතර පවතින යුද්ධයක් නෙවෙයි. මේක දේශපාලන යුද්ධයක්. මෙවර සංචාරක සමයේදී රුසියානු හා යුක්රේන් ජාතිකයන් විශාල පිරිසක් පැමිණීම නිසා සංචාරක කර්මාන්තය තුළ ප‍්‍රවර්ධනයක් ඇති වුණා. උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින අයගේ අතමිට සරුවුණා. ආදායම වැඩිවුණා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. මේ වගේ ගැටලූවක් ඇතිවූ විට සංචාරක මණ්ඩලයට හෝ සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතනවලට වැඩපිළිවෙළක් නැහැ කුමක්ද කරන්නේ කියලා. ඇතැම් සංචාරකයන්ට ඔවුන්ගේ රටට යෑමට අවශ්‍යයි. නියමිත දිනට යෑමට නොහැකි වුණොත් ඒ අයගේ ගුවන් ටිකට්පත් අවලංගු වෙනවා. ඒ අයට ප‍්‍රශ්නයක් ඇති වෙනවා අලූතින් ටිකට් එකක් ගන්න ඕනද නැතිනම් තියෙන ටිකට්පතින් යන්න පුළුවන්ද කියලා. එම රටවල්වලින් කියන්නේ අලූතින් ටිකට්පතක් ගන්න ඕන කියලා. මේ අවස්ථාවේ අලූතින් ටිකට්පතක් ගැනීමේදී විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඉතා සීමිත මුදල් ප‍්‍රමාණයක් අරගෙන තමයි මේ අය ඇවිත් තියෙන්නේ. මේ නිසා එම සංචාරකයන් අසරණ වෙනවා. මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවිය යුතුයි. මාර්තු මාසය සඳහාත් මගේ හෝටලය සඳහා යුක්රේන හා රුසියානු සංචාරකයන්ගෙන් බුකින් තිබුණා. දැන් ඒවා අවලංගු වෙමින් යනවා. සංචාරක කර්මාන්තය අඩාල වෙන්න පුළුවන්. යුක්රේන හා රුසියානු සංචාරකයන්ට මුදල් ගැටලූ ඇතිවෙලා තියෙනවා. නමුත් මම ඔවුන්ට කීවා මුදල් ප‍්‍රශ්නය ගැන හිතන්න එපා අපි කෑම බීම ඉඳුම් හිටුම් දෙන්නම් යළි මව් රටට යනකම් හෝටලයේ නතරවෙලා ඉන්න කියා. රූපසේන කොස්වත්ත මහතා එසේ කීවේය.

උණවටුන අරලිය හෝටල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඞ්ලි සිරිසේන මහතා ද සඳහන් කළේ අසරණ තත්ත්වයට පත්ව සිටින යුක්රේන හා රුසියානු ජාතික විදේශීය සංචාරකයන්ට පිහිටවීම සඳහා තම හෝටලය මගින් ද සහන සලසා ඇති බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment