අපේ විරුවන් තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි

116

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අනාගතයේදී භූමියේ, ගුවනේ, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමෙන් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සාර්ථක හමුදාවක් බිහි කිරීමට විනයක්, පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මේ සියලු කාරණා මේ වන විටත් ඉටු කරමින් සිටින බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් ඉකුත් 25 වැනිදා පස්වරුවේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාර පිරිනැමුණු අතර ජනාධිපති වර්ණ ධජ හා විශ්වවිද්‍යාල වර්ණ ධජ සඳහා සර්ව ආගමික ආශිර්වාදයක් ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාලීය වර්ණ ප්‍රදානය සිදු කළේය. පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ධජ හා වර්ණ පිළිගැන්වීම සිදු කරනු ලැබීය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල වළව්වේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීය. ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

එහිදී අදහස් වැඩිදුරටත් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයටත්, ඒ වගේම පළමු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය නැරඹීමටත් මට ආරාධනා කිරීම පිළිබඳ මම පළමුවෙන් විශ්වවිද්‍යාලයට ස්තුතිවන්ත වෙනවා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට අද පැමිණෙද්දී මට මතක් වුණේ ජෝන් කොතලාවල මැතිතුමාගේ කඳවල නිවස. අද තිබෙන්නේ එම නිවසෙන් කොටසයි. වටේ අලුත් ගොඩනැඟිලි ඉදිවෙලා තිබෙනවා. මම කුඩා කාලයේ මෙම ස්ථානයට ඇවිල්ලා තිබෙනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා මගේ මව්පියන් ඉතා සමීපව ආශ්‍රය කළා.

එතුමාගේ ඉතිහාසය ගැන මම සිහිපත් කරන්න කැමැතියි. එතුමා එක පැත්තකින් දේශපාලනඥයෙක්. ඒ වගේම දෙවැනි පාබල හමුදාවේ, දෙවැනි බලඇණියේ නිලධාරියෙක්. එතුමා කුරුණෑගලින් පාර්ලිමේන්තුවට පත්වෙන කොට මේජර්වරයෙක් විදියටයි හිටියේ, මම දැනගෙන හිටියේ මේජර් කොතලාවල කියලා. එතුමා විශේෂයෙන්ම ඉදිකිරීම් අමාත්‍යාංශය භාර අරගෙන තිබුණා.

ඒ අනුව තමයි එතුමා වැඩකටයුතු කළේ. දෙවන ලෝක යුද්ධය වෙන කොට එතුමාට කර්නල් තනතුර ලැබුණා. මම හිතන්නේ ඉන්දියාවෙයි, ලංකාවෙයි කර්නල් තනතුරට වඩා නිල තලයක් දරපු කිසිම පුද්ගලයෙක් දෙරටේ හිටියේ නැහැ. එතුමාට ඒක ලැබුණා. එම කර්නල් නිලය එවකට එංගලන්තයේ අගමැති වින්සන්ට් චර්චිල් මහතාට අයිති නිලයක්. එතුමාට කිව්වෙත් කර්නල් කියලා.

ජෝන් කොතලාවල මැතිතුමාටත් යුද දැනුම තිබුණා. ඒ වගේම ඉදිකිරීම් ඇමති හැටියට ගුවන් තොටුපොළ, යුද හමුදා කඳවුරු ගණනාවක් එතුමා තමයි ඉදි කළේ. ඒකට එතුමා යටතේ වෙනම කම්කරු සේනාංකයක් තිබුණා. එතනින් තමයි බි්‍රතාන්‍ය හමුදාවට ශ්‍රී ලංකාවට එන්න අවස්ථාව ලැබුණේ.

එතුමා ජීවත් වුණේ මේ කඳවල. නමුත් එතුමා කඳවල නිවස බි්‍රතාන්‍ය ගුවන් හමුදාවට දීලා කොළඹට ඇවිල්ලා නිවසක් මිලදී ගත්තා. එම නිවස තිබුණේ ලංකාවේ අණදෙන නිලධාරි අද්මිරාල් ලේටන් මැතිතුමාගේ ගෙට සමීපවයි. යුද්ධ කාලයේදී එතුමාගෙන් තමයි විශාල වැඩකොටසක් කරගත්තේ. ඒ වගේම 1942 වෙන කොට ලංකාව ආක්‍රමණය කරන්න පුලුවන් කියලා බි්‍රතාන්‍යයට බයක් තිබුණා. එහෙම ආක්‍රමණය කළොත් ලංකාව තුළ ඉන්න හමුදාවලට නායකත්වය දෙන්න ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා තෝරගෙන තිබුණා.

ඩී. බී. ජයතිලක මැතිතුමත්, ඩී. එස්. සේනානායක මැතිතුමත් දෙන්නම ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වුණා. එතුමා රයිෆල් තුවක්කු ගණනාවක් සංවිධානවලට බෙදා දුන්නා. එතුමා යුද්ධ කාලයේ කරපු වැඩ එදා කාටවත් අමතක වුණේ නැහැ. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාට පමණක් නෙවේ යුද්ධය කාලේ ලංකාවේ සිවිල් ආරක්ෂාව භාරදුන්නෙත් ලාංකිකයෙකුටයි. ඒ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමාටයි. පසුව එතුමා අග්‍රාණ්ඩුකාර හැටියට පත් වුණා. මම හිතන්නේ නැහැ වෙනත් කොහෙවත් යටත් විජිතයක මෙහෙම වගකීමක් ඒ රටේ පුරවැසියන්ට ලබා දුන්නා කියලා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා අගමැති ධූරයට පත්වුණාට පස්සෙත් එතුමා විශාල සේවයක් කළා. අගමැති වෙන්න ඉස්සෙල්ලා ලක්ෂපාන ආරම්භ කළේ එතුමා. ලක්ෂපාන ඉදිකිරීමෙන් තමයි මේ රටට ජල විදුලි බලය ලබා ගන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම එතුමා යටතේ ලංකාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වයත් ලබා ගත්තා.

1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ අපි ඔක්කොම දිවුරුම් දෙනකොට එදා ජේ. ආර්. ජයවර්ධන අගමැතිතුමා ගොපල්ලව ජනාධිපතිතුමා එක්ක එකට හිටියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා. එතකොට තමයි එවකට හමුදාපති ජෙනරල් ඩෙරික් පෙරේරා මැතිතුමාට අදහසක් ආවේ හමුදාව නවීකරණයට ආරක්ෂක විශ්වවිද්‍යාලයක් අවශ්‍යයි කියලා. එතුමා ඒ ගැන ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාට කතා කළා. අවසානයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා මෙම ගොඩනැඟිල්ල ලබා දෙන්න එකඟ වුණා. එතුමා රෝගාතුරුව සිටියදී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හමුදාපතිතුමා එක්ක ගිහින්, මෙතුමාට ජෙනරල් නිලයට උසස්වීමක් ලබා දුන්නා.

ශ්‍රීමත් ජොන් කොතලාවල මැතිතුමා නිසා තමයි කඩිනමින් මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හැකි වුණේ. සමහරු ඇහුවා ඇයි මෙහෙම විශ්වවිද්‍යාලයක් ආරම්භ කළේ, අපිට තිබෙන යුද්ධය මොකක්ද කියලා. ඇත්ත වශයෙන්ම වසර දෙක තුනක් ගත වන විට යුද්ධය ආවා.

ඉතින් මේ විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම දියුණු වෙලා තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ලබා දුන්න ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමත්, මේ වැඩකටයුත්ත ආරම්භ කළ ජෙනරල් ඩෙරික් පෙරේරා මැතිතුමත් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනැ.

අද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දෙස් විදෙස්හි විශාල කීර්තියකට ලක්ව තිබෙනවා. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස ඔබේ හැකියාව පෙන්වා තිබෙනවා. ත්‍රස්තවාදය අවසාන කාලයේ සටන් කළ නිලධාරින් ගණනාවක් මේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ අයයි. එසේ නම් මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම දක්ෂ නිලධාරීන් අපේ ත්‍රිවිධ හමුදාවට එක් කරන්න කියලා මම කියන්න කැමැතියි.

රටකට මෙහෙම විශ්වවිද්‍යාලයක් අවශ්‍යයයි. අපි මෙය ආරම්භ කරද්දී රටවල් ගණනාවක ආරක්ෂක විශ්වවිද්‍යාලය තිබුනේ නැහැ. මම මේ විශ්වවිද්‍යාලයේ තිබෙන විෂය මාලා පිළිබඳ විවිධ අවස්ථාවල සොයා බලා තිබෙනවා. ඒවා හොඳ විෂයයන්. ඒ වගේම හොඳ කථිකාචර්යවරු මෙතන ඉන්නවා. මේක සැඟවුණ විශ්වවිද්‍යාලයක්. මේකේ තිබෙන වටිනාකම හුඟක් අය දන්නේ නැහැ. නමුත් මේ විශ්වවිද්‍යාලය සීමා කරලා තිබෙන්නේ හමුදාවට පමණක් නෙවෙයි. මෙහි සිවිල් ශිෂ්‍යයන් බඳවාගෙන තිබෙනවා. ඒක හොඳ වැඩක්. එමඟින් බොහෝ දෙනෙක්ට අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා මෙම විශ්වවිද්‍යාලය ගැන කරන විවේචනවලට මා එකඟ වෙන්නේ නැහැ.

හමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක වෙන්නේ.

මෙතන සිටින නායකයන්ට විනයත්, පුහුණුවත්, දැනුමත් ලබා දෙනවා. එතැනින් හමුදාව තම තමන් අයිති බලඇණිවලට, අනෙක් අංශවලට නායකත්වය ලබා දෙනවා. සමහරු හමුදාපතිවරු බවට පත් වෙයි. අනෙක් අය මේ උපාධිය සමග විවිධ අංශවලට ගිහිල්ලා සේවය කරයි. ඒ දැනුම ලබා ගන්නේ පොත පතින් පමණක් නෙවේ, දැනුම ලබා ගන්න ක්‍රීඩාව අවශ්‍යයි, දැනුමක් ලබා ගන්න යුද පුහුණුවක් අවශ්‍යයි. ඒ සියල්ල මෙහිදී ලබා දී තිබෙනවා.

එම පුහුණුව ලබාදීමට මේ විශ්වවිද්‍යාලය පමණක් නෙවෙයි, මාණ්ඩලික නිලධාරීන්ගේ විද්‍යාලයක් ඇති කරලා තිබෙනවා. ඒ සියල්ල අපේ ආරක්ෂක අධ්‍යාපනයට අවශ්‍ය ආයතන. ඒ ආයතන සියල්ල අප ආරක්ෂා කරගත යුතුයි. මොකද අපි දන්න, අපි දැක්ක යුද්ධය නොවේ අනාගතයේ තිබෙන්නේ, ලෝකය වෙනස් වෙනවා. නව තාක්ෂණය, නව දැනුම එනවා. විශේෂයෙන්ම යුද්ධය ගොඩබිමට, ගුවනට, මුහුදට සීමා වෙලා නැහැ. සයිබර් තාක්ෂණයත් එනවා.

ඒ වගේම හමුදාවක් කටයුතු කරද්දී දේශගුණික විපර්යාසත් සැලකිල්ලට ගත යුතු වෙනවා. මේ දැනුම තමයි ඔබට අවශ්‍යය. ඒ නිසා අද මෙම වර්ණ ලබන ඔබ සියලුදෙනාට මා සුබ ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment