අපේ සටන සුබෝධනී වාර්තාව වෙනුවෙන් – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියයි

598

ගුරු- විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට කැබිනට් අනුකාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශයන් පිළිබඳව මෙන්ම එම ගැටලූව විසඳීම සඳහා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවරයන් පිළිබඳව අප අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍යධුරයට පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මෙන්ම ලංකා ගුරු සංගමයේ ලේකම්  ජෝශප් ස්ටාලින් මහතාගෙන් විමසා සිටියෙමු. මේ එහිදී පළවූ අදහස්ය.

ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශයන් පිළිබඳව ඔබලාගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ඇත්තටම අපි අරගල කළේ සුබෝධනී කමිටු වාර්තාව කි‍්‍රයාත්මක කරන්න කියලා. සුබෝධනී කමිටු වාර්තාව කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 5 දෙනෙක් එකතුවෙලා 1997 සිට පැවති විෂමතාවයන් අධ්‍යයනය කරලා සකස් කළ වාර්තාව. සුබෝධනී කමිටු වාර්තාව කි‍්‍රයාත්මක කිරීම මෙන්ම ගුරු සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළව කැබිනට් පති‍්‍රකාවක් 7 වන මාසයේ 22 වැනිදා අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉදිරිපත් කළා. එම කැබිනට් පති‍්‍රකාව කි‍්‍රයාත්මක කිරීම පැත්තකට දාල කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා, එම අනුකාරක සභාව හරහා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.

ඒ ඉදිරිපත් කරලා තිබෙන්නේ 2017 දී වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැටුප් කොමිෂම ඉදිරිපත් කළ අතුරු යෝජනාවක්. ඒ යෝජනාව දැන් අපි පිළිගන්නේ නැහැ. ඒක 2017 එකක් නේ. රජය දැන් දෙන්න පුළුවන් කියන්නේ ඒක තමයි. සුබෝධනී කමිටු වාර්තාවෙන් ගුරු සේවයේ පළමු පංතියට 37000 ක් යෝජනා කරන කොට අනුකාරක සභාවෙන් යෝජනා කරන්නේ 11576 ක්. විදුහල්පති සේවයට 12020 යි. සුබෝධනී කමිටු වාර්තාවට වඩා 1/3 ක් අඩුවෙන් තමයි මෙම අනුකාරක සභාවෙන් යෝජනා කරලා තිබෙන්නේ.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුව දෙන්නේ මෙම යෝජනා නම් අපි කියන්නේ, මේ යෝජනා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස කි‍්‍රයාත්මක කරන්න කියන එක සහ එය කොටස් වශයෙන් ලෙස නොව එකවර ලබාදෙන්න කියන එක තමයි.

ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාවේ යෝජනා චක‍්‍රලේඛයක් ලෙස ඉදිරිපත් කළොත් පිළිගැනීමට සූදානම් බව සමහර වෘත්තීය සමති ප‍්‍රකාශ කරලා තිබෙනවා නේද?

පිළිතුර – මෙහෙමයි, මෙම ගුරු අරගලයට වසර 24 ක් වෙනවා. අපේ ඉතිහාසය තුළ විවිධ කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන් 2008 නොවැම්බර්වල සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇමැතිවරයා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළා. එම කැබිනට් පති‍්‍රකාව මගින් ගුරු සහ විදුහල්පති සේවය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කළා. අයවැයෙනුත් එම මුදල වෙන් කළත් අද වෙනකම් ඒක ලැබිල නැහැ. ඒ වගේ ගුරු අරගල ඉතිහාසය තුළදී කැබිනට් පති‍්‍රකා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා. යහපාලන ආණ්ඩු සමයේ දී කැබිනට් පති‍්‍රකා 3 ක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි කියන්නේ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ පමණින් ප‍්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව දැන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවෙ සඳහන් කර තිබෙනවා ගුරු සේවයට අදාළ යෝජනා, විදුහල්පති සේවයට අදාළ යෝජනා වගේම වැටුප පිළිබඳවත් අදාළ යෝජනා. එම වැටුපට අදාළ යෝජනා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස කි‍්‍රයාත්මක කරනවා නම් ඊට අදාළ නීත්‍යානුකූල ලියවිලි ඉදිරිපත් කරන්න ඕනි කියන එක තමයි අපි කියන්නේ. එසේ වුවහොත් පමණයි මෙම යෝජනා කි‍්‍රයාත්මක වන්නේ.

ප‍්‍රශ්නය – ඉදිරි වැටුපට රු. 5000/= ක් ලබා දුන්නොත් එම දීමනාව ඔබලා ප‍්‍රතික්‍ෂේප කරනවාද?

පිළිතුර – මෙහෙමයි මේවා නිකන් කතානේ. ඇමැති අනුකමිටුවක් පත් කරලා එම කමිටුව මොකද කළේ. එම ඇමැතියි අනුකමිටුව මාධ්‍ය හමුවක් පවත්වල කිව්වා ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලන බව. අපි මස් රාත්තලක් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මස් රාත්තලෙන් 1/3 යි. ඒක හරියට කි‍්‍රයාත්මක කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඒක හරියට කි‍්‍රයාත්මක කිරීමේදී මුදල් ඇමැතිවරයා සහ ජනාධිපතිතුමා සමග සාකච්ඡුාවක් අවශ්‍ය බව තමයි අපි කියන්නේ. ඒකත් අත්‍යවශ්‍ය සාධකයක්. අපි කියන්නේ මෙම යෝජනා විධිමත්ව චක‍්‍රලේඛ ඉදිරිපත් කරලා, කි‍්‍රයාත්මක කරන්න කියන එක. වෘත්තීය අරගලයකදී වෘත්්තීය සමිති සමග සාකච්ඡා නොකර යෝජනාවක් ඉදිරිපත් කරලා එය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වනවා. අපත් සමග කිසිම සාකච්ඡාවක් නැහැ. එය පිළිගැනීමට අප සූදානම් නැහැ. අපගේ ඉල්ලීම් ලබා නොදුන්නොත් අපගේ අරගලය අනිවාර්යයෙන්ම ඉදිරියට අරගෙන යනවා. අපගේ උද්ඝෝෂණ කටයුතු නතර කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත. නමුත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීම, විභාග කටයුතු වලින් ඉවත් වීම අපි අඛණ්ඩව සිදුකරනු ලබනවා. අපට අවශ්‍ය ආකාරයේ විසඳුමක් ලැබෙන තුරු අපගේ අරගලය ඉදිරියට අරගෙන යනවා.

ප‍්‍රශ්නය – සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් ඇතුළු සංඝරත්නය ඔබලාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා යළිත් ළමයින්ට අධ්‍යාපනය ලබාදීමේ කටයුතු ආරම්භ කරන ලෙස.

එම ඉල්ලීමට ඔබලා දක්වන ප‍්‍රතිචාරය කුමක්ද?

පිළිතුර – අපගේ වෘත්තීය අරගලයට මේ වනවිට වසර 24 ක් වෙනවා. ඒ සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එම විසඳුම් යෝජනා පද්ධතියට ගැලපෙන ආකාරයට කි‍්‍රයාත්මක කළ යුතුයි. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 260000 ක් සිටිනවා. ඔවුන්ගේ ඉල්ලීමුත් සලකා බලමින් උන්වහන්සේලා කටයුතු කළ යුතු බව තමයි අපි කියන්නේ.

ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් අනුමත කර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ කැබිනට් මණ්ඩලය විසින් තමයි. එබැවින් තවදුරටත් ජනාධිපතිතුමා සමග සාකච්ඡුා කිරීමට අවශ්‍ය නොවන බව ආණ්ඩු පාර්ශ්වයෙන් ප‍්‍රකාශ කරලා තිබෙනවා. තවදුරටත් ඔබලා සාකච්ඡුාවක් අපේක්‍ෂා කරනවාද?

පිළිතුර – පැහැදිලිවම ඔව්. මෙම යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ අපත් සමග සාකච්ඡුා කරලා නොවෙයි. මෙම යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡුා කරලා. ගුරුවරුන්ගේ පැත්තෙනුත් තිබෙන අදහසුත් අරගෙන ඒවා කි‍්‍රයාත්මක කරන්න කියලයි අපි කියන්නේ.

ප‍්‍රශ්නය – ඔබලා යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කටයුතු කළත්, එම ආණ්ඩු කාලයේදී ඔබලාගේ යෝජනා කි‍්‍රයාත්මක කර ගැනීම සඳහා මෙතරම් සටනක් නොකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එම චෝදනා ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – යහපාලන ආණ්ඩුව කාලයේදීත් අපි ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා විශාල අරගලයක් කළා. අපි උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කිහිපයක්ම කළා. එම වැඩ වර්ජන අවසානයේදී එම ආණ්ඩුවත් ඇමැති අනුකමිටුවත් පත් කළා. කැබිනට් තීරණ ගත්තා. නමුත් ඒවා කි‍්‍රයාත්මක කළේ නැහැ.

ලංකා ගුරු සංගමය කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැහැ. අපි ස්වාධීන වෘත්තීය සමිතියක්. අපි එදත් උද්ඝෝෂණ කළා. අදත් උද්ඝෝෂණ කරනවා. අපි පැහැදිලිවම එක ස්ථාවරයක ගමන් කරන වෘත්තීය සමිතියක්. ඔය චෝදනා කරමින් අපට මඩ ගහනවා. අවලාද නගනවා. ඒවා අපට අදාළ නෑ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව මේ වනවිට ගුරුවරුන් එන්නත් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් කර තිබෙනවා. එම කටයුතු අවසන් කිරීමෙන් පසුව බොහෝ දුරට පාසල් ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා. ආණ්ඩුව යළිත් පාසල් ආරම්භ කළහොත් ඔබලාගේ වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට හැකි වේවි කියා ඔබ සිතනවාද?

පිළිතුර – අපි සිතනවා, ආණ්ඩුව අපි ඉදිරිපත් කළ විසඳුම් යෝජනා අදාළ කර ගනිමින් මෙම ප‍්‍රශ්නය විසඳීමට කටයුතු කරාවි කියලා. අපි සිතන්නේ නැහැ ලබන මාසයේවත් පාසල් ආරම්භ කිරීමේ වාතාවරණයක් තිබෙනවා කියලා. පැහැදිලිවම සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව තමයි පාසල් විවෘත කිරීමට සිද්ධ වෙන්නේ. නමුත් ඊට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප‍්‍රශ්නය විසඳුවොත් හොඳයි. එසේ නොවුන හොත් මෙම ප‍්‍රශ්නය දිග්ගැස්සී යනවා නම් පාසල් ආරම්භ කරන අවස්ථාවෙදි අපට තීරණයක් ගන්න සිද්ධ වේවි. එම අවස්ථාවේදී අපි තීරණය කරනවා අපි ඊළඟට ගතයුතු පියවර කුමක්ද කියලා.

සාකච්ඡා කළේ –  එරික් ගාමිණී ජිනප‍්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment