අපේ 13 සහ ඉන්දියාවේ අයෝධ්‍යාව

179

1978 දී සම්මත කරන ලද »» වන ජනරජ ව්‍යවස්ථාවට මේ වනවිට සංශෝධන 20ක් එක් වී ඇත. එම සංශෝධන අතරින් 13 වන සංශෝධනය ව්‍යවස්ථාවට එක්වූයේ ඉන්දියාවේ දැඩි බලපෑම හේතුවෙනි. එම හේතුව නිසා ම එම ව්‍යවස්ථා සංශෝධනය අංග සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමහර පාලකයන් කටයුතු නො කළ අතර තවත් සමහර පාලකයන්ට ජනතා විරෝධය නිසා එම කටයුත්තකර ගැනීමට නොහැකි විය.

කෙසේ වුවත් පසුගිය 13 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇමතූ, ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්දුමනි පාණ්ඩේ ප්‍රකාශ කර සිටියේ, 13 වන සංශෝධනය බලාත්මක කර, බලය බෙදා හැර, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත්, ජනවාර්ගික අර්බුදයට ශ්‍රී ලංකාව දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව ඉන්දියාව අවධානය යොමු කරන බවත්ය. ඉන්දියාව 1987 දී 13 වන සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලෙසත්, අද එය බලාත්මක කරන ලෙසත් බලපෑම් කරන්නේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීමේ නාමයෙනි.

මෙරට ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය බලහත්කාරයෙන් එක් කළ සමයේ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතුකර ඇත්තේ ජේ. එන්. ඩික්සිත් මහතාය. 13 වන සංශෝධනය සඳහා පාදක වූ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ එම සමයේ තම අත්දැකීම් අලලා ඩික්සිත් මහතා විසින් කෘතියක් රචනාකර ඇති අතර, ‘කොළඹ භූමිකාව’ නමින් එය සිංහල භාෂාවට ද පරිවර්තනය කර ඇත. එම කෘතියේ ඩික්සිත් මහතා සඳහන් කර ඇත්තේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ද්‍රවිඩ ඉල්ලීම්වලට ප්‍රතිචාරාත්මක ආකාරයට වෙනස් විය යුතු බවයි. එම ප්‍රකාශය මගින් ඩින්සිත් මහතා අදහස් කර ඇත්තේ ඒ වනවිටත් භූතානයේ තිම්පු නුවරදී මෙරට ආණ්ඩුවේ නියෝජිතයන් සහ දෙමළ බෙදුම්වාදී සංවිධාන අතර පැවැති සාකච්ඡාවලදී, දෙමළ බෙදුම්වාදී සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට එකඟතාවය දැක්විය යුතුය යන්නයි. තිම්පු නුවර පැවැති සාකච්ඡාවල දී දෙමළ බෙදුම්වාදී සංවිධාන විසින් ප්‍රධාන ඉල්ලීම් 3ක් ඉදිරිපත් කර ඇත. එම ඉල්ලීම් 3 වන්නේ උතුර සහ නැඟෙනහිර දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගැනීම, දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස පිළිගැනීම සහ දෙමළ ජනතාවගේ ස්වයං තීරක අයිතිය පිළිගැනීමය.

දෙමළ බෙදුම්වාදී සංවිධාන එම ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ උතුර සහ නැඟෙනහිර යන පළාත්වල ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැතියාය යන ස්ථාවරයේ සිට ය. ජේ. එන්. ඩික්සිත් මහතා ද දෙමළ බෙදුම්වාදී සංවිධානවල එම ස්ථාවරය පිළිබඳව දැනුවත්ව සිට ඇති අතර ඒ මහතා ද එම ඉතිහාසය අනුමත කරමින් කටයුතු කර ඇති බවට ඔහුගේ ම කෘතිය සාක්ෂි දරයි. එම කෘතියේ 33වන පිටුවේ ඩික්සිත් මහතා මෙසේ සඳහන් කර ඇත.

“පෘතුගීසි සහ ලන්දේසි ආගමනයන් ඇති වූ 16 වැනි හා 17 වැනි සියවස්වලට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ සිංහල රාජධානීන් සමග උතුරු ප්‍රදේශයේ ද්‍රවිඩ රාජධානිය ද එකවර පැවතුණි. දුටුගැමුණු නම් සිංහල රජු හා එළාර නම් ද්‍රවිඩ රජු අතර සටන පිළිබඳ පුරාවෘත්තයෙන් බෞද්ධයන් වූ සිංහලයන් හා හින්දුන් වූ ද්‍රවිඩයන් අතර අතීතයේ සිට පැවැති වෛරය පුළුල් ලෙස පැහැදිලි කෙරේ. පුරාවෘත්තයට අනුව දුටුගැමුණු දිවයිනේ විශාල ප්‍රදේශයක පාලකයා බවට පත්වූයේ ද්වන්ධ සටනකින් එළාර මරා දැමීමෙන් පසුවය. මේ පුරාවෘත්තය සම්බන්ධ මාතෘකාවෙන් මඳක් පිට පැනීම වැදගත්ය. පුරාවෘත්තයට අනුව මහා මිනිස් සංහාරයක් ඇති වීම වළක්වනු වස් සටන ඇවිළීමට ආසන්නයේදී එළාර රජුට ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස දුටුගැමුණු රජු අභියෝගකොට තිබේ. සටනින් ජය ගන්නා තැනැත්තාට රාජධානියේ සම්පූර්ණ බලය අත්වන බව ද ප්‍රකාශකොට තිබිණ. දුටුගැමුණු එළාර මැරීය. මේ සටන සිදුවනවිට දුටුගැමුණු වයස විසි ගණන්වල සිටි අතර එළාර අසූවිය ඉක්මවා සිටීම ඉතිහාසයේ රසවත් සිද්ධියකි.”

ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්දුමනි පාණ්ඩේ අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බවයි. එසේ වුව ද පැහැදිලි ලෙස ට සඳහන් කළ හැකිව ඇත්තේ, මෙරට නිජබිම් ප්‍රශ්නයක් මිස ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බවයි. පැහැදිලි ලෙස ම එලෙස සඳහන් කළ හැක්කේ ඊනියා ජනවාර්ගික අර්බුදය ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැතියා ය යන විශ්වාසය පදනම් කරගෙන නිර්මාණය වී ඇති බැවින් සහ මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ බහුතරයක් උතුර සහ නැඟෙනහිර යන ප්‍රදේශවලින් පරිබාහිරව සිංහල ජනතාව සමග සාමකාමීව ජීවත්වන බැවිනි.

මෙරට බෙදුම්වාදී දේශපාලනයේ පියා ලෙස සැලකෙන්නේ එස්. ජේ. වී. චෙල්වනායගම්ය.

සී. සුන්දරලිංගම් වැනි දේශපාලනඥයන් ඔහුගේ පුරෝගාමීන් ලෙස කටයුතුකර ඇත. මොවුන් ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැති බව ප්‍රකාශ කළත්, ඒ මත පදනම් වී කටයුතු කළත් එම මතවාදයන් පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කර නොමැත. සිංහල ජනතාවගේ මෙන්ම ඉතිහාසය පිළිබඳ උගතුන්ගේ ද බුද්ධිමතුන්ගේ ද ස්ථාවරය වී තිබෙන්නේ ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැතියා ය යන්න මිත්‍යා විශ්වාසයක් වන බවයි. එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ සිට වෙළුපිල්ලේ ප්‍රභාකරන් දක්වා වූ දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම් මත විවිධ අවස්ථාවල දී පළාත් සභා ක්‍රමය වැනි ඊනියා විසඳුම් ඉදිරිපත් වුවත් ඒ සෑම අවස්ථාවක දීම සිංහල ජනතාව ඊට එරෙහි වූයේ ඉහතා සඳහන් ස්ථාවරයේ සිට ය.

ජේ. එන්. ඩික්සිත් විසින් රචනා කර ඇති කෘතියේ ඉතා පැහැදිලිව සඳහන්කර ඇත්තේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බල බෙදීමේ විසඳුමකට කිසිදු කැමැත්තක් නො දැක්වූ බවයි. ජනාධිපති ජයවර්ධන මහතා ඉන්දු – ලංකා ගිවිසුමට සහ පළාත් සභා ක්‍රමය සඳහා බලපෑම් කර එකඟ කරවා ගත් බවට පවතින මතවාදයක් බැහැර නො කරන බවත් එම කෘතියේම සඳහන් කර ඇත. ජයවර්ධන ජනාධිපතිවරයා 13 වන සංශෝධනය ව්‍යවස්ථාවට එක් කළත්, එය බලාත්මකකර බලය බෙදීමට කටයුතු නො කළේ එම හේතු සාධකයන් නිසා බව පැහැදිලිය.

පළාත් සභා ක්‍රමය බලහත්කාරයෙන් මේ රටට හඳුන්වා දී මේ වනවිට වසර 34ක පමණ කාලයක් ඉක්ම ගොස් ඇත. එතරම් කාලයක් ගත වුවත් 13 වන සංශෝධන බලාත්මක කර පළාත් සභාවලට බලය බෙදාහැරීමට නො හැකි වූයේ ඇයි ද යන කාරණය පිළිබඳව මෙම අවස්ථාවේදී හෝ ඉන්දියාව සලකා බැලිය යුතුය. ඒ සඳහා හේතු වී තිබෙන්නේ ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැතියා ද නැද්ද යන කාරණය පිළිබඳව සිංහල ජනතාව සහ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් අතර පවතින මතභේදයයි. නමුත් ඉන්දියාව ඒ පිළිබඳව කිසිදු වගවිභාගයකින් තොරව දෙමළ බෙදුම්වාදීන්ගේ පැත්ත ගෙන කටයුතු කිරීම නිසා මෙම මතභේදය තවදුරටත් වර්ධනයවන තත්ත්වයක් ඇති වී ඇති බව පැහැදිලිය.

එසේ වුව ද මෙබඳු මතභේදාත්මක ප්‍රශ්නවලදී ඉන්දියානු ආණ්ඩුව ප්‍රශස්ත ආකාරයෙන් කටයුතු කළ අවස්ථා ඇත. අයෝද්‍යාහි ඉදිකර තිබූ මුස්ලිම් පල්ලිය සම්බන්ධ ප්‍රශ්නයේ දී කටයුතු කළ ආකාරය ඒ සඳහා එක් උදාහරණයකි. හින්දු ජනයා එම පල්ලියට එරෙහි වූයේ, රාම කුමරු උපන් භූමියේ ඉදිකර තිබූ හින්දු කෝවිලක් විනාශ කර එම පල්ලිය ඉදිකර ඇත යන ස්ථාවරයේ සිට ය. එම අවස්ථාවේදී ඉන්දියානු අධිකරණය එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා පුරාවිද්‍යාඥයන්ගේ ඉතිහාසඥයන්ගේ පිහිට පැතීය. එම ගැටලුව අද පවත්නා තත්ත්වයට විසඳා ගැනීමට හැකි වූයේ ඉන් අනතුරුවය. ඒ ආකාරයට ම තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටා තිබූ කෝවිලක් සම්බන්ධයෙන් ද ඇති වී තිබූ මතභේදයක් අධිකරණය විසින් විසඳූ බව පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තාකර තිබුණේය. එම අවස්ථාවේදී ඇති වී තිබූ ගැටලුව වූයේ එක් පුද්ගලයකු විසින් පැරණි පන්සලක් මත කෝවිලක් ඉදිකර ඇති බවටත්, එහි ඇති ප්‍රතිමා පැරණි බුදු පිළිම බවටත් අධිකරණය හමුවේ නඩු පැවරීමය. අධිකරණය විසින් එම නඩුව විභාගකර එම ස්ථානයේ අතීතයේදී පන්සලක් පිහිටා තිබූ බවත්, එම ස්ථානයේ ඇති ප්‍රතිමා බුදු පිළිම බවත් ප්‍රකාශ කර ඇත.

ඉන්දියානු ආණ්ඩුව පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවේදී ද කටයුතු කළ යුත්තේ ඒ ආකාරයට ය. ඉන්දියාව පළමුවෙන්ම මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැත බවත් ඇත්තේ ‘නිජබිම් ප්‍රශ්නයක්’ බවත් පිළිගත යුතුය. එසේ පිළිගෙන ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවැතියා ද යන්න සොයා බැලීම සඳහා කටයුතු කළ යුතුය. එවිට ඇත්ත කියනේ දෙමළ බෙදුම්වාදී නායකයන් ද පළාත් සභා ක්‍රමයට එරෙහිව සිංහල ජනතාව ද යන්න අවබෝධකර ගැනීමට හැකි වනවා ඇත.

ඉන්දියානු ආණ්ඩුව මෙරට ජනතාවගේ හොඳ හිත දිනාගැනීම සඳහා විශාල වෙහෙසක්, වියදමක් දරන අයුරු දැක ගතහැක. ඒ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ ‘සුවසැරිය’ ගිලන් රථ සේවයයි. ඉන්දියාවම ඒ ආකාරයට විශාල වියදමක් දරමින් සිංහල ජනතාවගේ හොඳ හිත වර්ධනය කිරීම සඳහා අද කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ අතීතයේදී ජේ. එන්. ඩික්සිත් වැනි නිලධාරීන් කටයුතු කළ ආකාරය නිසා බව පැහැදිලිය. එබැවින් වත්මන් ඉන්දීය තානාපති ගෝපාල් බාග්ලේ මහතා නිජබිම් ප්‍රශ්නයේදී අපක්ෂපාතීව කටයුතු කරන්නේ නම් එය ම සිංහල ජනතාවගේ හොඳ හිත වර්ධනය වීම සඳහා හේතුවක් වනවා ඇත.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment