අප‍්‍රිකාවෙන් තවත් අති භයානක වෛරසයක් එයි

451

මාරාන්තික ඉබෝලා වෛරසය අයත් වන වෛරස් පවුලට අයත් වෛරසයක් හරහා ශීඝ‍්‍රයෙන් පැතිරෙන ‘මාර්බර්ග්’ නමැති මාරාන්තික වෛරස් ආසාදනයෙන් පෙළෙන රෝගියකු වසර ගණනාවකට පසු බටහිර අප‍්‍රිකානු රාජ්‍යයක් වන ගිනියා රාජ්‍යයෙන් සොයා ගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. රසායනාගාර පරීක්ෂණ හරහා මෙම රෝගියා හඳුනා ගන්නා විට ද ඔහු මිය ගොස් සිටි බව එම බලධාරීහු පවසති.

 ඉතාමත් ශීඝ‍්‍රයෙන් පැතිර යන මෙම මාර්බර්ග් ආසාදනයට ගොදුරු වී මියගිය ගිනියානු ජාතිකයාගේ පළමු පෙළ ආශ‍්‍රිතයන් වශයෙන් සෞඛ්‍ය සේවකයකු ඇතුළු සිවු දෙනකු හඳුනාගෙන ඇති අතර තවත් 146 දෙනකු වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින පිරිසක් ලෙස ගිනියානු සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ. මෙම වෛරස් ආසාදනයට ගොදුරු වී මියගිය තැනැත්තා වාසය කළ ප‍්‍රදේශයේ මෙයට පෙර ඉබෝලා වෛරස් ආසාදනය ද ශීඝ‍්‍රයෙන් පැතිර ගොස් තිබූ බව හෙළි වී තිබේ. ගිනියාවේ සෞඛ්‍ය අංශ මෙම වෛරස් ආසාදනය වසංගතයක් දක්වා වර්ධනය වීම වළක්වාලීම සඳහා සෑම පියවරක්ම ගන්නා බව ප‍්‍රකාශ කර ඇත.

 1967 වසරේ ජර්මනියේ මාර්බර්ග් නගරයේදී ප‍්‍රථම වරට හඳුනාගනු ලැබූ මෙම වෛරස් ආසාදනය ශීඝ‍්‍රයෙන් එක් අයකුගෙන් තවත් අයකුට රුධිරය සහ කෙළ ඇතුළු ශරීර තරල හරහා පැතිරෙන බව අනාවරණය වී ඇති අතර, පලතුරු වවුලා හරහා මෙම වෛරස් ආසාදනය මනුෂ්‍යයාට බෝවී ඇති බව වෛද්‍ය මතයයි. උණ හා රුධිර වහනය මෙම ආසාදනයේ රෝග ලක්ෂණ වන අතර ඉතා කලාතුරකින් රටකින් වාර්තා වන මෙම ආසාදනයට

 ගොදුරු වූ රෝගීන් අවසන් වරට වාර්තා වී ඇත්තේ 2007 වසරේ උගන්ඩාවෙනි. ඉන් එක් අයකු පසුව මිය ගොස් තිබිණි. 2005 වසරේදී ඇන්ගෝලා රාජ්‍යයෙන් ද මෙම ආසාදිතයකු වාර්තා වී තිබිණි.

 මෙම ආසාදිතයකු ගිනියාවෙන් වාර්තා වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මාර්බර්ග් වෛරසය ගිනියාවේ ආරම්භ වූ ස්ථානයෙන්ම නතර කරගත යුතු බවයි.

 ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment