අප කළ යුතුම අරගලය වන්නේ යහපත් සමාජ වෙනසකට දායක වීමයි- මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ

63

වත්මන් සමාජය තුළ අප විසින් කළ යුතු අරගලය වන්නේ, ජීවිතයේ සෑම මොහොතකම නිවැරදි යහපත් දේ කිරීමට කැප වෙමින්, සමාජය තුළ සිදුවන වැරදි සහ අයහපත් දේ නිතරම ප්‍රතික්ෂේප කරමින්, රටේ දූෂිත වැඩපිළිවෙළවල් හෙළා දැකීම තුළින් සමාජ පරිවර්තනයකට දායක වීම බැව් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

කාදිනල් හිමිපාණෝ එසේ පැවසුවේ වත්තල සාන්ත ආනා දේවස්ථාන භූමියේදී පැවැති කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන ශුද්ධාත්ම ආගමන මංගලෝත්සව අර්ධ රාත්‍රික මෙහෙයට සහභාගිවූ සැදැහැවතුන් අමතමිනි.

දැහැමියාවේ මාවත ක්‍රිස්තු භක්තිකයන් වන අපගේ පළමු තෝරා ගැනීම විය යුතු බවත්, ආගම අදහනවා යනු අපි හොඳ කතෝලිකයන් යැයි වචනයෙන් ප්‍රකාශ කරමින් බාහිර දේවල් සිදු කිරීමට කටයුතු කිරීම නොවන බවත් පෙන්වා දුන් කාදිනල් හිමිපාණෝ, ජීවිතයේ සෑම මොහොතකදීම ක්‍රියාවෙන් ද අපගේ කතෝලිකකම අන් අයට ප්‍රකාශ විය යුතු බවත්, පාපයේ බලවේගයන් බිඳ දමා දෙවියන් වහන්සේට සහ ශුද්ධාත්මයන් වහන්සේට අපගේ හදවත් තුළ ඉඩ ලබාදීමට ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කර සිටිති.

මෙයට සමගාමීව මීගමුව, ගම්පහ, කොළඹ හා මොරටුව කලාප ද අර්ධ රාත්‍රික මෙහෙයන් පවත්වනු ලද අතර “කිතුදන පුබුදුව” මෙම මෙහෙයන් හා භාවනාවන් මෙහෙයවනු ලැබිණි. දේශීය නැටුම් හෝ විවිධ නර්තන අංගයන් ද එම මෙහෙයට එක් කර තිබීම විශේෂත්වයකි.

ජේ. ස්ටැනිස්ලස් පයස් – හැඳල

අප කළ යුතුම අරගලය වන්නේ යහපත් සමාජ වෙනසකට දායක වීමයි- මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ

advertistmentadvertistment
advertistmentadvertistment