අප තවමත් බංකොලොත් වී ඉවර නැද්ද?

1508

අපේ මව්බිම මේ අවුරුද්දේදී බංකොලොත් වීමට නියමිත බව එංගලන්තයේ සුප‍්‍රසිද්ධ The Guardian පුවත්පත සඳහන් කර ඇත. ගාඩියන් යනු අවුරුදු 200 ක් පැරණි පුවත්පතකි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1815 දී අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ගාඩියන් පුවත්පත ඒ බව වාර්තා කළාය. එම පුවත පළවූ එකම විදේශික පුවත්පත ගාඩියන් ය. මේ පුවත්පත හිතට එන හෝ තමන් උපකල්පනය කරන මළ විකාර ලියනවා වෙනුවට පර්යේෂණ ආශ‍්‍රයෙන් සොයාගත් දත්ත මූලික කරගෙන රටේ ප‍්‍රවෘත්ති සහ ලෝකයේ ප‍්‍රවෘත්ති පළ කරයි. අප හිතාගෙන හිටියේ මේ වන විටත් අප බංකොලොත් වී ඇති බවය. එහෙත් ගාඩියන් පුවත්පත කියන්නේ අප බංකොලොත් වීමට නියමිත බවය. හාල් නැති, ගෑස් නැති, කිරි පිටි නැති, ඒ කිසිත් ගන්නට සල්ලි නැති අපට මීටත් වඩා බංකොලොත් විය හැකිද? පසුගිය දිනවල එළවළු මිල අඩු විය. එනම් රුපියලකින් පමණ එළවළු කිලෝවක් ගණන් බැස්සේ ය. රුපියල් 600 බෝංචි කිලෝව රුපියල් 599 ක් විය. රුපියල් 400 ගෝවා කිලෝව 399 ක් විය. රුපියල් 800 ක් වූ තිබ්බටු කිලෝව රුපියල් 799 ක් විය. එබැවින් ඒ ගණන් බැහිල්ලෙන් සත පහක වැඩක් වුණේ නැත. මේ මොහොතේදී ශ‍්‍රී ලංකාව තුළ පලා වර්ග හිඟයක් පවතී. කීරකාරයින් කොස් මැල්ලූම්, කොස් මදුලූ, කරපිංචා යනාදිය පමණක් පටවාගෙන පලා මිටිවලින් විනිර්මුක්තව වෙළෙඳාමේ යති. කීර කොටුකාරයන් පහුගිය කාලය පුරාම පලා වර්ග වගාකොට ඇත්තේ යූරියා යොදාගෙන බව හෙළි වී තිබේ. රුපියල් 350 ට තිබූ යූරියා මිටියක් අද රුපියල් 13500 කි. එවැනි මිලකට යූරියා ගෙන පලා වගා කළොත් කන්කුන් මිටියක් රුපියල් 250 ටවත් විකිණීමට සිදුවේ. ගාඩියන් පුවත්පතේ මතයට අනුව මේ වනවිට ශ‍්‍රී ලාංකිකයන් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද වැටී ඇත. එනම් මේ මිනිස්සු පැදුරෙන් බිමට වැටීමෙන් පසු පඩියට වැටී එතැනින් පොළවට වැටී බොරළු ගොඬේ නිදා ගන්නා තත්ත්වයකට පත්ව ඇත්තාහ. අප හිතා හිටියේ රටේ ජනගහනයෙන් අඩ මිලියනයක් නොව අඩුම ගණනේ මිලියන 15 ක්වත් දුගී භාවයට පත්වී ඇති බවය. අහන්නට ලැබෙන නැති බැරිකමේ විලාප සහ දකින්නට ලැබෙන අගහිඟකමේ ජවනිකා නිසා අපි එසේ කල්පනා කළෙමු. එහෙත් ගාඩියන් පත‍්‍රය විසින් අප නිවැරදි කරනු ලැබ ඇත. අපට හැෙඟන විදිහට මේ මොහොතේදී මේ රට තුළ කිසිවක් නැත. අඩු ගණනේ හරි ආකාර වැඩ වර්ජනයක්වත් නැත. ඇඟට දැනෙන උද්ඝෝෂණයක්වත් නැත.

ශ‍්‍රී ලංකාවේ විදේශ ණය ප‍්‍රමාණය මේ වනවිට ඩොලර් බිලියන 62 කි. එය සමාන වන්නේ අලි බබා ගෲප් සහ අලි බබා ඩොට් කොම් අයිතිකරු වන චීන ජාතික Jack Ma ඵ් ගේ වත්කමට ය. ශ‍්‍රී ලංකාව විදේශ ණයවලින් විනිර්මුක්ත රටක් බවට පත් කිරීමට ජැක් මා ට වැරදිලාවත් හිතුනොත් එක චෙක් එකකින් පෙර කී ඩොලර් බිලියන 62 ගෙවා දැමිය හැකිය. එහෙත් ජැක් මා ට කවදාවත් එසේ සිතෙන්නේ නැත. අප ජැක් මා වූවොත් අපට ද එසේ සිතෙන්නේ නැත. අප ජැක් මා පිළිබඳ උදාහරණය දක්වන ලද්දේ මේ ලෝකයේ ආදායම් විෂමතාව පිළිබඳ ඉඟියක් දීමටයි. ජැක් මා ගේ බැංකුවේ ඩොලර් බිලියන 62 ක් තිබියදී ස්වකීය ගිණුමෙහි රුපියල් 62 ක් වත් නැති ලාංකිකයෝ බහුලය. ධනවාදයේ ලොකුම උපකරණය වූ මුදල නමැති ඒකකය විනාශ කිරීමෙන් ලෝකවාසී ජනතාව සමානයන් බවට පත්කළ හැකි බව ලෙනින් සමාජවාදයෙන් හොඳටම චූන් වී සිටි අවස්ථාවකදී ප‍්‍රකාශ කර ඇත. අද ලෙනිනුත් නැත. සමාජවාදයත් නැත.

ශ‍්‍රී ලංකාව මේ මස 18 දා හෝ ඊට පෙර බැඳුම්කර ණය වාරික වශයෙන් ඩොලර් මිලියන 500 ක් පිටරටට ගෙවිය යුතුය. මේ මොහොතේදී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 500 ක් හෝ ඊට වැඩි යම් මුදලක් ඇත. මේ මුදලින් කළ යුතු දේ බොහෝය. රටට අවශ්‍ය තෙල් මිලට ගැනීම හෝ කිරි පිටි මිලට ගැනීම හෝ ඖෂධ මිලට ගැනීම හෝ ආහාර මිලට ගැනීම හෝ මේ මුදලින් කළ හැකිය. මේ කාරණා අතුරින් වැදගත්ම කාරණය වන්නේ ඖෂධ මිලට ගැනීම නම් ඩොලර් මිලියන 500 ණය වාරිකය ගෙවීම, තෙල් මිලට ගැනීම, කිරි පිටි මිලට ගැනීම, ආහාර මිලට ගැනීම යනාදිය අමතක කළ යුතු වෙයි. බෙහෙත් මිලට නොගෙන තෙල් මිලට ගන්නවා නම් ණය ගෙවීම ඇතුළු සෙසු කාරණා අමතක කළ යුතුය. මේ රටේ තත්ත්වය සහ අද මේ රටේ වෙසෙන පහළ මධ්‍යම පාන්තික පවුලක් අතර සාපේක්ෂ සමානකමක් පවතී. දරුවන් දෙදෙනකු සිටින කුලී ගේක වෙසෙන පියා පමණක් රස්සාවට ගොස් රුපියල් 30000 ක වැටුපක් ලබන මේ පහළ මධ්‍යම පාංතික පවුල තුළ ඇති ප‍්‍රමුඛ අවශ්‍යතා වන්නේ ආහාර මිලට ගැනීම, ගෙවල් කුලී ගෙවීම, ලයිට් හා වතුර බිල් ගෙවීම, දරුවන් දෙදෙනා පාසල් සහ ටියුෂන් යැවීම, දරුවන් සහ පියා බස්වල ගමන් කිරීම, මේ පවුලේ සියලූම දෙනා විලි වසා ගැනීම යන කාරණාය. රුපියල් 30000 න් මේ සියල්ලම කළ නොහැක. දරුවන් පාසල් සහ ටියුෂන් යවා, කුසට ආහාර ගෙන, ගෙවල් කුලී ගෙව්වොත් ඒ මාසයේදී ලයිට් වතුර බිල් ගෙවීමටත්, විලි වසා ගැනීමටත් නොහැක. විලි වසාගෙන, ලයිට් වතුර බිල් ගෙවා, බඩගින්න නිවා ගත්තොත් බස්වල යෑම සහ ගෙවල් කුලී ගෙවීම කළ නොහැක. මේ නිසා කිසියම් කාරණා තුනක් සඳහා මුදල් වැය කරන විට තවත් කාරණා දෙකක් අත්හැර දැමීමට ජනතාවට සිදුවෙයි. රටේ තත්ත්වයත් මෙයමයි.

කොවිඞ් 19 වසංගතය නිසා මේ රටේ විදේශ ආදායම්වලින් භාගෙට භාගයක් අඩු විය. සංචාරකයන්ගේ පැමිණීම බෙහෙවින් අඩුවී තිබේ. ඉඳහිට හෝ දකින්නට ලැබෙන්නේ පාන් භාගයයි කෙහෙල් ගෙඩියයි කා වේල් දෙකක් පිරිමසාගෙන ?ට පිපිඤ්ඤා ගෙඩියක් අනුභව කර දුම්රිය පොළක නිදාගන්නා බැක් පැක් සුද්දන් පමණි. විදේශ රැකියාවල නියුතු අය තමන් උපයන ඩොලර් එකකට ලංකා ආණ්ඩුවෙන් ගෙවන රුපියල් 203 වැඩිකර ගැනීම සඳහා තමන් සිටින රටවල ජීවත්වන කුඩු ව්‍යාපාරික පාතාලකාරයන් අතට ඩොලර් දෙති. එකී පාතාලකාරයන්ගේ ශ‍්‍රී ලාංකික කුඩු නියෝජිතයෝ විදේශික ශ‍්‍රමිකයාගේ ගෙදර අයට ඩොලරයකට රුපියල් 250 බැගින් ගෙවති. මේ නිසා පිටරට සිටින අපේ ශ‍්‍රමිකයන් හම්බ කරන ටිකවත් ලංකාවට නොඒ. මෙයට ඇති එකම විසඳුම ඩොලරය පා කිරීමයි. එහෙත් ඩොලරය පා කළ වහාම දේශීය මුදලේ අගය බිමටම වැටෙන නිසා ආණ්ඩුවට පාවීමට සිදුවේ. අපි ආර්ථික ගමන් මගේ ඉතාම නරක මංසන්ධියකට පිවිස සිටිමු. මේ හන්දියෙන් ගමන් කළ යුත්තේ කවර දිශාවකට ද යන්න ගැන අපට තේරුමක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment