අප විපක්ෂයේ අසුන් ගත්තේ ඇයි?

153

නීතිඥ වසන්ත යාපා බණ්ඩාර
(පාර්ලිමේන්තු මන්ත්‍රී)

අද පවතින පාර්ලිමේන්තුව අපේ රටේ ලක්ෂ 220ක සහෝදර ජනතාවගේ පොදු ජන අභිලාෂයන් නියෝජනය නොවන පාර්ලිමේන්තුවක්. මේ රටේ ලක්ෂ 69ක් පසුගිය 2019 නොවැම්බර් 16 ඡන්දය ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධවයි. සමගි ජන බලවේගයේ ලක්ෂ 55 ක් ඡන්දය ප්‍රකාශ කළේත් එතුමාට විරුද්ධවයි. පසුගිය ජනාධිපතිවරණයට කලින් අපි, අපේ රටේ මහජනයා සමඟ එකඟ වූ සමාජ සම්මුතියට පටහැනිව ගත් ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කරන්නම්.

01) 2015 දී ආර්ථික ඝාතකයන් ලෙස අප කී, 2008 දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයේ කිසිදු තනතුරකට පත්කර නොගන්නා ලෙස තීන්දුවක් ලබාදුන් පී.බී. ජයසුන්දර යළි වතාවක් ජනාධිපති ලේකම් බවට 2019 දී පත්කර ගැනීම.

02) 2018දී ෆිච් රේටින්, මූඩිස් වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන ණය ශ්‍රේණි පහළ දමා ශ්‍රී ලංකාවට තරගකාරී වෙළෙඳපොළ තුළ ස්වෛරී බැඳුම්කර නිකුත් කරන්නට නොහැකි අවස්ථාවක රට භාරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විචක්ෂණශීලී ආර්ථික උපදෙස් ලබාදීම වෙනුවට රු. බිලියන 600 කින් බදු කප්පාදු කරන්නට යොමු කිරීමේ අඳ බාල ප්‍රතිපත්තියකට යොමු කිරීම.

03) ස්වෛරීත්ව බැඳුම්කර හරහා ඩොලර් ණයත්, බදු කපාහැරීමෙන් රුපියල් ආදායමත් අහිමි කරගෙන සිටිනා මොහොතේ ඩොලර් මිලියන 200ක් හෝ ඉතිරි කර ගැනීමට පී.බී. ගේ හෝ කාගේ හෝ බලපෑමෙන් එක රැයකින් කාබනික ගොවිතැනට රටම පත්කිරීමේ අනතුරුදායක තීන්දුව ගැනීම.

04) අප ආණ්ඩුව තුළ සිටිමින් කාබනික ගොවිතැන එක රැයින් කළ නොහැකි නිසා ආපසු හරවන්නට යෝජනා, විවේචන කොතෙක් එල්ල කළත්, ගොවිජනතාව කුඹුරෙන් නියරෙන් මහමගට පැමිණ කොතරම් බලපෑම් කළත් ඒ හඬ නෑසුනා සේ සිට හිරුනිකා ඇතුළු කොළඹ කාන්තාවන් පිරිසක් ජනාධිපතිතුමාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ හඬට අවනත වී කාබනික පොහොර ප්‍රතිපත්තිය ආපසු හරවා ගැනීම.

05) ණය ගෙවාදැමීමට නොහැකි අවස්ථාවකට පැමිණ සිටි 2022 ජනවාරි 18 ස්වෛරී බැඳුම්කර ගෙවා දැමීම හරහා ඊළඟ මාසයේ සිට තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිර්මාණය වන බව බලධාරීන් දැනුවත්ව නොසිටීම. නැතිනම් හිතාමතා අපේ සහෝදර ජනතාව අපෙන් ඈත් කිරීමට නොදැනුවත් සේ සිටීම.

06) කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම වෙනුවට ආදාහනය කළ යුතු යැයි මතයක් ගෙන එමින් රජයට සිටි සීමිත මුස්ලිම් ප්‍රජාවත්, මුස්ලිම් රටවලුත් අමනාප කර ගැනීම.

07) මූල්‍ය විචල්‍ය අතාත්වික හා වගකීම් විරහිතව හැසිරවීම. 15% කට ඉහළින් තබාගත යුතු පොලී අනුපාතිකය වෙනුවට 6% ක මට්ටමක තබාගැනීම. මේ මඟින් රටේ උද්ධමනයට අතවනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම.

08) කොවිඩ් 19 වසංගතය අවස්ථාවේ මුදල් තරමක් නිකුත් කිරීමෙන් එය නතර කර ගත යුතුව තිබුණත් එය එසේ නොකර හිතුමතේ මුදල් මුද්‍රණය කිරීම මූල්‍ය න්‍යායට අනුව (මුදල් ප්‍රමාණවාදය) භාණ්ඩ නිෂ්පාදනයට සමානුපාතිකව මුදල් නිකුත් කිරීමෙන් උද්ධමනය වළක්වාගත හැකි වුවත් දිගින් දිගටම මුදල් මුද්‍රණය කිරීමට පෙළඹීම තුළින් උද්ධමනය තවදුරටත් ජනතාව වෙත කැඳවා ගැනීමට කටයුතු කිරීම.

09) රුපියල් 203 කට ඩොලරයක් හුවමාරු කිරීමේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය නිසා රටේ ඉතිරි වී තිබූ ඩොලර් තොගයත් පිළිස්සීමට ලක් කිරීම. (කෙනකු රු. 203 දුන් විට ඩොලරයක් දීම නිසා ඉතිරි ඩොලර් තොගයත් නිරපරාදේ අවසන් විය.)

10) කොවිඩ් 19 හේතුවෙන් ආර්ථිකයට වුණු බලපෑම පෙන්වා ඉතා පහසුවෙන් ඩොලර් මිලියන 800ක් ලබාගැනීමේ ණය පහසුකම ලබා නොගැනීම හා කල් ඉකුත් වූ පසු ෂඵත්‍ පසුපස යෑම නිසා තවමත් එකදු ණය වාරිකයක්වත් ලබා ගැනීමට නොහැකි වීම.

11) අධිකරණවලින් වැරදිකරුවන් වූ අයට ජනාධිපති සමාව දී රජයේ ඉහළ තනතුරු ද ලබාදීමෙන් මහජන විශ්වාසය පලුදු කර ගැනීම.

12) චීනයට ටෙන්ඩරය ලබාදීමට සියලු කටයුතු යෙදී තිබුණත් එක රැයකින් ටෙන්ඩර් කොන්දේසි ඉවතලා යුගදනවි ගනුදෙනුව ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් වෙත ලබාදීමට කටයුතු කිරීම.

13) උතුරේ සුළං බලාගාර චීනයට ලබාදීමට ටෙන්ඩර් නිකුත් කර තිබුණත් එය අධානිට ලබාදීම. කුණු පොහොර නැව තුළින් යළිත් චීනය අමනාප කරගැනීම. එමඟින් ශ්‍රී ලංකාව සමඟ වසර සිය ගණනක් පැරණි මිතුරකු අමනාප කර ගැනීම.

14) සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා (ඛඍඔ) ජපානය ඩොලර් බිලියන 3ක් 0.5% ක් අඩු පොලියට ලබාදීමට සියලුම කටයුතු අවසන් කර තිබියදී එක ලියුම් කඩදාසියක් ජපන් තානාපතිට යවා, කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකභාවයකින් තොරව එම ගනුදෙනුව අවසාන කිරීම.

15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන් 69 ලක්ෂයක ජනවරම වසර දෙකක්වත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වූ අපේ සමහරු ක්‍රියාකළ උද්ධච්ඡ මනෝභාවය දිගින් දිගටම නිවැරදි කර ගත්තේ නැත. මහා භාණ්ඩාගාරයේ, මහබැංකුවේ, විදේශ අංශවල පවතින අරමුදල් පිළිබඳ අවම හෝ දැනුමක් නැතිව හෝ ජනතාව නොමඟ යවමින් පක්ෂය හෑල්ලුවට ලක් කිරීම.

16) 2019 ජනාධිපතිවරණයේදී මුළු රටේම උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, රට විරුවන් හා තරුණ ප්‍රජාව ඇතුළු අතිබහුතරයක් දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ පැවති දේශපාලන ක්‍රමයේ හා පාලනයේ වෙනසක් බලාපොරොත්තුවෙන් වුවද ඡන්දයෙන් පසු එම බලාපොරොත්තුවලට පයින් ගසා උගතුන් බුද්ධිමතුන් පැත්තකට දමා අත්තනෝමතික ලෙස පාලන බලය වෙනත් පාර්ශ්වයකට ලබාදීම.

17) 2005, 2010, 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයන් උදෙසා මෙන්ම 2015 පරාජයෙන් පසු “මහින්ද සුළඟ” නම් ජන රැළි මාලාවකින් නැවතත් අප කඳවුරේ ජයග්‍රහණය උදෙසා අපරිමිත කැපවීමක් කළ සහෝදර පක්ෂ නායකයන්ට කුඩම්මාගේ සැළකිලි දක්වමින් ඔවුන්ව අප කඳවුරෙන් නෙරපා දමන තත්ත්වයට කටයුතු කිරීම.

මන්ත්‍රීවරයකුට ලක්ෂ 30, කොට්ඨාසයකට ලක්ෂ 40ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රු. ලක්ෂ 1000ක් ආදී වශයෙන් ඵලදායි නොවන සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් අච්චු ගසා බෙදාදීමේ සින්තටික් යෝජනාවලින් රටේ ජනතාව අපගෙන් වෙන් කිරීමට කටයුතු කිරීම.

ජනාධිපතිවරණයට පෙර අප සමඟ නොකී බොහෝ දේ ඡන්දයෙන් පසු ක්‍රියාත්මක කිරීම හා ජනතාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම හරහා ජනතා සම්මුතිය බිඳ දැමීම. මේ නිසා අද බිහි වී ඇත්තේ ජනතාව විශ්වාස නොකරන පාලනයකි. මෙය ජනතාව මර්දනය කරන පාලනයකි. මෙවැනි පාලනයකට ජනතාව අනුමැතියක් ලබාදී නැත. මේ නිසා අද අපේ මිනිසුන්ට දෛනික ජීවිතය ගෙවා දැමීමට හැකියාවක් ඇත්තේ නැත. පාන් ගෙඩියක් රුපියල් 300 ටත්, හාල් කිලෝව රුපියල් 250 කටත්, සැමන් ටින් එක රු. 900 කටත්, සිමෙන්ති කොට්ටය රු. 3200 ටත් වශයෙන් අද ගහෙන් වැටී සිටි මිනිහාට ගොනා ඇන, අලි පහරින් ඔළුව කුඩු වී ඇති තත්ත්වයක් තුළ හෘද සාක්ෂිය ඇති මිනිසෙකුට මේ හැර වෙනත් තීරණයක් නැත.

මේ වැරදි යළි නිවැරදි කර, යළිත් මෙවැනි වැරදි සිදු නොවන ජනතාව රජයන පාලනයක් බිහිකිරීම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙමි.

advertistmentadvertistment
advertistmentadvertistment