අබුඩාබි ටී -10 සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 8ක්

636

එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අබුඩාබි ටී- 10 (එක් කණ්ඩාමකට) පන්දුවාර 10 බැගින් යුත් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් 8 දෙනෙකු තෝරාගෙන ඇත.

එම ක‍්‍රීඩකයන් 8 දෙනා වන්නේ වනිඳු හසරංග, චාමික කරුණාරත්න, උපුල් තරංග, දුෂ්මන්ත චමීර, මහීෂ තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, ඉසුරු උදාන සහ මතීෂ පතිරණයි.

මෙම තරගාවලිය ලබන මස 19 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියට ක‍්‍රීඩකයන් වෙන්දේසිය සහ කණ්ඩායම්වලට ක‍්‍ර‍්‍රීඩකයන් නම් කිරීම පෙරේදා (07 වැනිදා) රාත‍්‍රියේදී සිදු කෙරණි.

අදාළ තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාවෙන් වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන්, මහීෂ තීක්ෂණ සහ මතීෂ පතිරණ යන ක‍්‍රීඩකයන් තෝරා ගැනුනේ දෙවැනි වතාවට වන අතර ඔවුහු අබුඩාබි ටී -10 පසුගිය තරගාලියද නියෝජනය කළහ.

ඉන් වනිඳු හසරංගගේ නම වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකර තම කණ්ඩායම තුළට තබා ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කටයුතු කළ අතර එවරස්ට් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය මේ වනවිට හොඳින් දස්කම් දක්වමින් සිටින උපුල් තරංග නදරින් වොරියර්ස් කණ්ඩායමට එකතුකර ගෙන ඇත.

පසුගිය වර නදරින් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළ මතීෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් සමගින් දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න ක‍්‍රීඩකයන් ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම කටයුතු කර ඇත.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ඉසුරු උදාන එක්වී ඇති අතර ඔහු සමග මතීෂ පතිරණද එම කණ්ඩායම නියෝජනය කරන අතර මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් සමග එකතුවන දෙවැනි අවස්ථා වේ.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment