අබු බකර්ගේ දෙවැනියා ඉරාක අත් අඩංගුවට

533

මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා බවට ප‍්‍රකට කියමනක් ඇති අතර එය සැබෑ ලෙසින්ම ඇෆ්ගනිස්ථානයේ දැන් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ඇෆ්ගන් තලේබාන්වරු සහ චීනය සුහදශීලී වන විට, ඔවුන්ගේ විරුද්ධවාදීන් වන අයිසිස් කොරෝසාන් කල්ලිය සහ චීනයේ පීඩාවට පත් උයිගර් ජාතිකයින් නියෝජනය කරන ත‍්‍රස්ත කල්ලිය එකිනෙකා වැළඳගෙන ඇත. මෙය චීන හා පකිස්තාන් එකමුතුවට විරුද්ධ කණ්ඩායම් සතුටු කරන්නකි. ඇමෙරිකාව මෙන්ම ඉන්දියාවද රහසේ සතුටු කරන්නකි. පසුගිය සතියේ ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් ප‍්‍රාන්තයේ ෂියා පල්ලියකට එල්ලවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් පුද්ගලයින් හැට දෙනෙකු මරණයට පත්විය. මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ චීන උයිගර් මුස්ලිම් ජාතිකයකු වන මෙහොමඞ් අල් උල්ගිරි විසින් බව හෙළිව තිබේ. මෙය බරපතළ තත්ත්වයකි. බිජිං පාලනය කලබලයට පත් කරන පුවතකි. තලේබාන්වරු පවසන්නේ අයිසිස් කණ්ඩායම මුස්ලිම් ජාතිකයින් බෙදා වෙන් කරන ත‍්‍රස්ත පිරිසක් බවයි.

අගෝස්තු 15 වැනිදා කාබුල් පාලනය භාරගැනීමෙන් පසු තලේබාන්වරුන්ට ඇති ප‍්‍රධානම හිසරදය වන්නේ කොරෝසාන් කල්ලියයි. ඇත්තෙන්ම මෙම කෝරසාන් කල්ලිය තලේබාන්වරුන්ටත් වඩා දරුණු පිරිසකි. මොවුනගේ ආගමික අන්තවාදය සැබවින්ම උමතුවකි. මීට කලකට පෙර කාබුල් නුවර ගැබිනිි වාට්ටුවකට පහර දුන්නේද මොවුන්ය. එමෙන්ම ඉකුත් මැයි මාසයේදී ෂියා මුස්ලිම් දැරිවියන් අධ්‍යාපනය ලබන පාසලකට පහරදී මහා මිනිස් ඝාතනයක් කළේද මොවුන් විසිනි.

පල්ලි පිපිරවීම අයිසිස් කල්ලියට අලූත් දෙයක් නම් නොවේ. ඉරාකයේ මොසුල් නගරයේ තිබූ ඓතිහාසික අල් නුරායි පල්ලිය සහ එහි ඇලවෙන ප‍්‍රසාද කුලූන පුපුරවා දැමීමට අයිසිස් කල්ලිය ක‍්‍රියා කළ බවට 2017 දී චෝදනා එල්ල විය. 1172දී තැනූ වසර 800කට වඩා ඉපැරැණි මේ පූජ්‍ය ස්ථානයට අයත් ඇලවෙන ප‍්‍රසාදය මුදුණේ වසර කිහිපයක් පුරා අයිසිස්වරුන්ගේ කළු සුදු ධජය ලෙලදුන්නේය. එය 14 වැනි සියවසේ එතැනට පැමිණි ඉබන් බතුතා නමින් නම්කර තිබුණි. 2014 ජූලි හතරවැනිදා මේ පල්ලියට ඓතිහාසික දිනයකි. කළු තුර්බානයකින් සහ ලෝගුවකින් සැරුසුණු අබු බකර් අල් බැග්ඩාඩි එදින සිකුරාදා ආගමික මෙහෙය අවසන මුල්වරට මුස්ලිම් අධිරාජ්‍යය ප‍්‍රකාශයට පත් කළේ එදිනය. ඔහු සුන්නි මුස්ලිම්වරුන්ගෙන් ශුද්ධ වූ යුද්ධයට එක්වන ලෙස ලෝවැසි මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ එදිනය. අයිසිස් ප‍්‍රධානියා ප‍්‍රසිද්ධියේ සිය ආධාරකරුවන් ඇමැතූ මුල්ම සහ අවසාන වතාවද එයයි. පල්ලියේ සිටි මුල් ඉමාම්වරයා එයට මාසයකට පෙර ඝාතනය කර තිබුණි. අල් නුරායි පල්ලිය අයිසිස්වරුන් පුපුරවා හැරියේ ඉරාක හමුදාවන් එය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහාය. 2017 ජූලි මාසයේදී එවකට ඉරාකයේ අගමැති හයිඩර්
අල්-අබාඩි විසින් රජයේ හමුදාව විසින් මොසුල් නගරය අල්ලා ගත් බව නිලවශයෙන් ප‍්‍රකාශ කර සිටියේය. 2019 දී සිරියාවේදී සිදු කළ මෙහෙයුමකදී අයිසිස් නායක බැග්ඩෑඩි ඇමෙරිකානු විශේෂ බළකාය විසින් මරා දමන ලදී. කුර්දි නායකත්වය දරන සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බළකාය මෙම මෙහෙයුම සඳහා ‘‘ඉතා ප‍්‍රයෝජනවත් බුද්ධි තොරතුරු” ලබා දුන් බව එම මෙහෙයුමේ ප‍්‍රධානි ජෙනරාල් ෆ්?න්ක් මැකෙන්සි පවසා තිබිණි.

ඉරාකයෙන් හා සිරියාවෙන් අයිසිස් සංවිධානය අතු ගෑවී ගියත් ඔවුන්ගේ වඩා සක‍්‍රීය ක‍්‍රියාකාරකම් දක්නට ලැබෙන්නේ ඇෆ්ගන් දේශයේය. කෙසේ නමුත් පසුගිය සඳුදා ඉරාකයෙන් වැදගත් පුවතක් අසන්නට ලැබිණි. ඒ අල්-බැග්ඩෑඩිගේ දෙවැනියා ලෙස කටයුතු කළ සාමි ජසීම් මොහොමඞ් අල්-ජුබූරි අත්අඩංගුවට පත්වීමය. ඉරාක අගමැති මුස්තෆා අල් කදිමි මෙම මෙහෙයුමේ විස්තර හෙළි නොකළ නමුත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ජසිම් ඉරාකයෙන් පිටත රඳවාගෙන සිටි බවයි. ජසීම් අත්අඩංගුවට ගත් ස්ථානය හෝ දිනය ඔහු හෙළි කළේ නැත. ඉරාක ආරක්ෂක විශේෂඥ ෆදෙල් අබු රෙජීෆ් පවසන පරිදි ‘‘අබු ආස්යා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජසීම් 2015 සිට අල්-බැග්ඩෑඩි යටතේ පැවති අයිසිස් කණ්ඩායමේ මුල්‍ය කටයුතු භාරව ක‍්‍රියා කළේය. අයිසිස් පාලනයේ මුදල් ඇමැති මොහුය. 2015 දී ඇමෙරිකානු රජය ජාසිම් ගෝලීය ත‍්‍රස්තවාදියෙකු නම් කර සම්බාධක පනවන ලදී. 2016 දී මොහු මරණයට පත්වූ බව ප‍්‍රකාශ වුවත් එය තහවුරු වූයේ නැත. කෙසේ වෙතත්, 2019 දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ‘‘යුක්තිය උදෙසා ත්‍යාග” වැඩසටහන මඟින් ජසීම් සහ තවත් අයිසිස් නායකයින් දෙදෙනෙකුගේ හිසට ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කර සිටීම මගින් ඔහු තවමත් ජිවත්වන බව පැහැදිලි විය. ඉතිහාසය ගත්විට සාමි ජසීම් මොහොමඞ් අල්-ජුබූරි අයිසිස් සංවිධානයේ ආරම්භයට පෙර සිටම ඉරාකයේ අල් කයිඩා සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු විය. ඇත්තෙන්ම දැන් අයිසිස් බලය පතුරා ඇති ප‍්‍රදේශ නැති වුවත් සමහර අයිසිස් සාමාජිකයින් ඉරාකයේ සහ සිරියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල විසිර සිටිති. ඉරාකයේ මහා මැතිවරණයෙන් ෂියා ආගමික නායක මුක්තාඩා අල්-සදර්ගේ පක්ෂය ජයග‍්‍රණය කරද්දී සුන්නි අන්තවාදී අයිසිස් කල්ලියේ නායකයකු ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වීම විශේෂයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment