අභ්‍යවකාශ හෝටලය වක‍්‍රාකාර ඇයි?

438

2025 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන ප‍්‍රථම අභ්‍යවකාශ හෝටලය පෘථිවියේ පහළ කක්ෂයක ඉදි කිරීමට මේ වෙන විට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතී. කැරකැවෙන රෝදයකට සමාන හැඩයක් ඇති මෙම හෝටලය කක්ෂීය එකලස් කිරීමේ සමාගම ( Orbital Assembly Corporation (OAC) ) විසින් සැලසුම් කර තිබේ. චන්ද්‍රයාට සමාන වූ කෘතිම ගුරුත්වාකර්ෂණයක් ලබාදීම සඳහා මෙම හෝටලයේ බාහිර පෙනුම වක‍්‍ර හැඩයකින් නිර්මාණය කිරීමට අදහස් කරන ලදී.

එය Voyager station යනුවෙන් නම් කර තිබේ. රොබෝ පෘථිවිය මත සිදු කරන අත්හදාබැලීම් වලින් පසුව ‘‘ස්ටාර්’’ (STAR) නමින් හැඳින්වෙන රොබෝවරයෙකු විසින් මෙම කොටස් උඩුගුවනේදී එකලස් කරනු ලබන අතර පෘථිවිය මත වසර දෙකක් ගෙවෙන ඉදිකිරීම ස්ටර් රොබෝ විසින් දින දෙකකින් අභ්‍යවකාශයේදී එකලස් කරනු ඇත. මෙම රොබෝ වෙනුවෙන් STAR යන නම යොදා ගෙන ඇත්තේ Structure Truss Assembly Robot යන නමේ මුල් අකුරු සම්බන්ධ කර ගනිමින්ය.

රෝදයේ දාරයට පිටතින් ඇති වළලූ කීපයකට මොඩියුල (modules) සවි කරනු ලැබේ. එක් මොඩියුලයක ප‍්‍රමාණය මීටර් 20×12 ක් පමණ විවේක කාමර, සිනමාශාලා, ආපනශාලා, ස්පා සහ වෙනත් විවිධ ආයතන කීපයක් එක් කිරීමට සැලසුම් කර තිබේ. ඉතා සරලව කිවහොත් මුුහුදේ ගමන් ගන්නා සුඛෝපභෝගී නෞකාවක ඇති සියලූ සැප පහසුකම් මෙම යෝධ හෝටල සංකීර්ණයෙන් සැපයීමට අදහස් කර තිබේ.

මෙම ආයතනය විසින් ඉදිකරන මෙම ගොඩනැගිල්ලේ මොඩියුල කීපයක් අභ්‍යවකාශ පර්යේෂණායතනය (NASA) සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) වෙත ඔවුන්ගේ පර්යේෂණ වෙනුවෙන් භාරදීමටත් අපේක්ෂා කර තිබේ.

2027 වසර වන විට ‘‘වොයේජර් ස්ටේෂන්’’හෝටලය විවෘත කිරීමටත් දැනට සැලසුම් කර තිබේ. මෙහි ඉදිකිරීම් සඳහා වැය වන මුදල ගැන තවමත් ඇස්තමේන්තුවක් නැති වුණත් මෙම ‘‘වොයේජර් ස්ටේෂන් ’’ හෝටලයේ රාත‍්‍රියක් ගත කරන අයට මුල් කාලයේදී වැඩි වියදමක් දරන්නට සිදු වුණත් පසුව ඒ වෙනුවෙන් යන වියදම් අඩු වෙන තත්ත්වයක් ඇති බැව් ඇසෙම්බ්ලි කෝපරේෂන් ආයතනය සඳහන් කර තිබේ. අනාගතයේදී SpaceX, Starship සහ Falcon 9 වැනි අභ්‍යවකාශ යානාවන් නැවත නැවතත් පාවිච්චියට ගන්නා විට ඒවා වෙනුවෙන් දරණ පිරිවැය අඩුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම හෝටලයේ ලැගුම් ගාස්තු අඩුවීමේ ප‍්‍රවනතාවයක් ඇති විය හැක. මෙම නැවතුම්පළ ඉදිකිරීම වෙනුවෙන් කිලෝග‍්‍රෑමයකට ඩොලර් 8000 ක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු වූ අතර පසුව SpaceX සමග මෙම පිරිවැය කිලෝග‍්‍රෑම් එකක් වෙනුවෙන් ඩොලර් 2000 ක් දක්වා අඩු විය.

ඉදිරි අනාගතයේදී රාජ්‍ය නියෝජිත ආයතනයන් විසින් සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් සහ අඟහරු ග‍්‍රහලෝකය වෙත අභ්‍යවකාශගාමීන් පුහුණු කිරීම වෙනුවෙන් Voyager station හෝටලය යොදා ගැනීමේ හැකියාව තිබේ. මෙවැනි සංකල්පයක් ගැන මුලින්ම අදහසක් ඉදිරිපත් කරනු ලැබුවේ ‘‘සැටර්න් ’’රොකට්ටුවේ නිර්මාතෘ ‘‘වොන් බ්‍රෝන් ’’ විසින් මුලින්ම මෙම අදහස ඉදිරිපත් කරන ලදී. 1950 දශකයේදී ඇපලෝ වැඩසටහන් නිර්මාතෘවරයෙකු වූ වොන් බ්‍රෝන් කෘතිම ගුරුත්වාකර්ෂණය ඇති කිරීමේ ක‍්‍රමවේදයක් ලෙසින් මෙම නිර්මාණයට වක‍්‍රාකාර හැඩයක් පිළිබඳ අදහස ඉදිරිපත් කරන ලදි.

2012 වසරේදී ගේට්වේ ෆවුන්ඬේෂන් ආයතනය (Gateway Foundation) විසින් මෙම වක‍්‍රාකාර අදහස කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන්
සමාගමක් ආරම්භ කරන ලදී. ‘‘ ඕබිටල් ඇසේම්ලි කෝපරේෂන්’’ සමාගම විසින් එම කාර්යභාරය භාරගත් අතර ඔවුන් විසින් මෙම අභ්‍යවකාශ නැවතුම්පළ කක්ෂයක තැන්පත් කිරීමට අදහස් කරන අතර එවිට මිනිසා විසින් උඩුගුවනට යවන ලද විශාලතම ඉදිකිරීම ලෙසින් Voyager station සුවිශේෂී සටහනක් තබනු ඇත. ‘‘ගේට් වේ ෆවුන්ඬේෂන්’’ ආයතනයේ ආරම්භයා වන ‘‘ජෝන් බ්ලින්කට් ’’ සඳහන් කරන්නේ ගුරුත්වාකර්ෂණය නොමැතිව මිනිසුන් වැඩි කාලයක් අභ්‍යවකාශයේ රඳවා තබා ගැනීම අපහසුයි. ඔවුන් පෘථිවියේ සිටින ආකාරයෙන්ම අභ්‍යවකාශයේදී කටයුතු කිරීමට නම් ගුරුත්වාකර්ෂණයක් අවශ්‍යයි. ඒ නිසා මෙම හෝටලයේ හැඩය වක‍්‍රාකාරව නිර්මාණය කිරීම නිසා භ‍්‍රමන වේගය අඩු වැඩි කිරීමෙන් ගුරුත්වාකර්ෂණයත් පාලනය කිරීමේ හැකියාව ලැබෙන බවයි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment