අභිනව අටමස්ථානාධිපති නාහිමියන් වෙනුවෙන් කළ උත්කෘෂ්ට ශාස්ත්‍රීය පූජාවක් !

115

හේමාවලෝකන අභිනව අටමස්ථානාධීශ්වර පල්ලේගම හේමරතනාභිධාන යතින්ද්‍රාභිනන්දනය

අභිනව අටමස්ථානාධිපති ධුරයට පත්ව, සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආශ්චර්යමත් නිජබිම ලෙස අභිනන්දනයට පාත්‍ර වූ, ඓතිහාසික අනුරාධපුරය ම බබළවන්නා වූ පරම පූජනීය භූමියෙහි ගෞරව බහුමාන යතිවරයාණන් වහන්සේනමක් ලෙස වැඩ හිඳින පල්ලේගම හේමරතන නාහිමියන් පිළිබඳව උන්වහන්සේට උපහාර ලෙස එළිදක්වන ලද ‘හේමාවලෝකන’ අභිනව අටමස්ථානාධීශ්වර පල්ලේගම හේමරතනාභිධාන යතීන්ද්‍රාභිනන්දනය අප අතට පත් වේලේ පටන් ඒ පරම පූජනීය ඓතිහාසික පුරවරය හා අපගේ බුහුමනට පාත්‍රව සිටින පල්ලේගම නාහිමියන් පිළිබඳව ද අප්‍රමාණ ධාරණාවන් අප මනසෙහි නැඟෙන්නට විය. ධර්ම ශාස්ත්‍රීය ගුණයෙන් ද සාහිත්‍ය කලා සෞන්දර්ය දැනුමෙන් ද සුසංවේදී වූ සරල චාම් ගති පැවැත්මෙන් ද යුතු වූ නාහිමියෝ එවන් උත්තරීතර ධුරයක් ලබන්නට අතිශයින් ම සුදුසු වන්නාහ. නිසැකයෙන් ම අප නාහිමියෝ මේ උත්කෘෂ්ට ධුරයට පෙරුම් පුරමින් සිටියෝය. ඒ සඳහා වූ යති සම්ප්‍රදාය සුරකමින් ද නිරායාසයෙන් එහි වගකීම් සම්භාරය පිරිනැමෙන තෙක් ද උන්වහන්සේ ඒ අටමස්ථාන පරිශ්‍රමයෙහි රුවන්වැලි මහ සෑරදුන්ගේ භාරකාරත්වය ඉසිලූහ. කවර අතින් බැලුව ද මෙම අභිනව ධුරය උන්වහන්සේගේ ජීවිතයෙහි උච්චතම සංසිද්ධාර්ථයක්ම වන්නේය.

අප නාහිමියන් වැඩ සිටින මෙම අනුරාධපුරය යනු පෙර සිංහල රජ දවස පටන් ඓතිහාසික හා යුග කාරක මෙහෙවරක ස්වර්ණ භූමියකි. එයින් ප්‍රමුදිත වූ ජාතික සංස්කෘතික වටිනාකම් ද බොහෝ විය. ඉතා සැකෙවින් පැවසුවහොත් අනුරාධපුරය යනු සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය ලෙස සුපෝෂණය කළ පුණ්‍ය භූමිය වේ. ලොව කොතැනක හෝ වෙතියි කියැවෙන කවර සංස්කෘතියකට හෝ සභ්‍යත්වයකට එය දෙවැනි නොවන්නේය.

මිහිඳු මාහිමියන් විසින් මෙරටට රැගෙන එන ලද්දේ හුදු ආධ්‍යාත්මික දර්ශනයක් ධර්මයක් පමණක් නොවේ. එය ශිෂ්ටාචාරයක පුනරුදයක් වැන්න. එනිසා ම අනුරාධපුරය නොව, පැරණිය වන රමණීය පුරයක් සේ සුදිලෙයි. භාෂා සංස්කෘතික ක්‍ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූ අපරදිග විද්වත්හු පවා පෙරදිග මිනිස් ප්‍රජාව ගැනත් ඔවුන්ගේ සංස්කෘතික කලා පෞරුෂය කෙරෙහිත් විස්මයට පත් වූහ. අනුරාධපුර යුගයෙන් බිහිවූ ආඪ්‍ය කලා නිර්මාණ සඳකඩ පහන, බුදු පිළිම, ආදී සියල්ල ඔවුන් සෞන්දර්ය නිම්නයකට රැගෙන ගිය අපූර්ව නිමිති සේ දැක්වීම වටී. අනුරාධපුර පූජා භූමි සීමාව තුළ රජයන ආධ්‍යාත්මික සුවය අප්‍රමාණය. දහසක් සංසාර ගිනි නිවා සිතගත සුවපත් කරවන අප්‍රමාණ ශාන්තියක් එහි සරණ සිංහල බෞද්ධයා ලබයි. අන්‍යාගමික සංචාරකයකු තුළ වුවද වැඩෙන්නේ නිරාමිස ගුණයක්මැයි ශ්‍රේෂ්ඨ භාරතීය පුත්‍රයකු වූ ජවහර්ලාල් නේරු ශ්‍රී මතාණන් එබිම පිහිටි සමාධි පිළිමය අසල අනිමිස ලෝචනයෙන් නොසැලී සිටි බව සඳහන් පුවතක් ද වේ.

අනුරාධපුර අටමස්ථාන ලෙස චිරාත් කලක පටන් බොදු දනන් වන්දනා කරනනාවූ පූජා වස්තු අටකි. රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය, ලංකාරාමය, ලෝවාමහා ප්‍රාසාදය, ශ්‍රී මහ බෝධිය, හා මිරිසවැටිය එයට අයත් වේ. දුරාතීතයේ මිහින්තලාවේ පිහිටි විහාරාරාම ද මෙයට ඇතුළත් විය. අද ඒවාත් එකතු කර සොළොස්මස්ථාන වන්දනාවක් ද සිදු කෙරේ.

මේ අනුව මෙවන් ඓතිහාසික පුණ්‍ය භූමියක භාරකාරත්වයට පත්වූ අප නාහිමියෝ ද අනන්ත සංසාරේ අප්‍රමාණ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවූ උතුම් බුද්ධ පුත්‍රයෙක්ම විය යුත්තාහ. ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ හා මහාචාර්ය අජිත් හල්වත්ත සුලවතාණන්ගේ බුද්ධිමය පරිශ්‍රමයක අග්‍රඵලයක් ලෙස මේ උපහාර සංග්‍රහය නම් කළ යුතුය. ප්‍රකට විද්වත්හු යතිවරු හා වෙනත් සුධීහු ඒ උපහාර මල් දම අමුනමින් එයට දායක වී සිටිති.

පල්ලේගම නාහිමියෝ මෙරටේ සාහිත්‍ය සංගීත කලා ක්‍ෂේත්‍රවල ද ප්‍රකටයහ. දුරාතීතයේ අනුරපුර දිනූ දොළොස් මහා කවීන්ගේ ඔඳ තෙද මෙන්ම ශ්‍රී රාහුල, වීදාගම වෑත්තෑවේ වැනි යති කිවි පරපුරවල බැලුම් ද හේමරතන නාහිමියන්ට නො ලැබුණේ නම් මේ කිවිකම් කොයින් ද?

රුවන්වැලි මහ සෑ රඳුන්ට, ජයසිරි මහ බෝ සමිඳුන්ට උන්වහන්සේ මොනතරම් කවි කුසුම් පුදන්ට ඇද්ද? උන්වහන්සේගේ පා පහස නොලත් දූවිලි බිඳක් ඒ අටමස්ථාන පින් බිමෙහි ඇත්දැයි මම නොදනිමි. උන්වහන්සේ තරම් අනිමිස ලෝචනයෙන් රුවන්වැලි සෑරදුන්ට බුහුමන් කරන්නට පින්ඵල ලත් බෝමළුව පරපුරේ හිමිවරු කී නමක් සිටිත් ද? හිරු උදාවෙන්ටත් කලින් පිනි පලස මතින් ජය ශ්‍රී බෝ සමිඳු පා මුල සාමධි ගත වෙන්ට සංසාරයේ පින් කළ හිමිවරු කොපමණ සිටිත් ද?

අහස වසා නැඟි මහ සෑ පාමුල
පියගැට පෙළ මත ගිලිහුණු කුසුමේ
කුසුම් රේණුවක් සදිසි නො වෙදමා
යටි සිත කොඳුරයි දෑස අඳුර පිසලයි

බෝධියෙන් වට බෝ පතක් සේ
සිනිඳු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොයිදෝ
මුනිඳු සෙවණේ සිහිල් පවනේ …

බොදු සිත් මනෝරංජනය කරවන්නාවූ ද සමාධි ශාන්තියෙහි රඳවන්නාවූ ද මේ සිතිවිලි කෙතරම් පින්බර ද දීමටත් බුදුන් වහන්සේ ලෙස සලකා වැලිමළුවේ වැතිර බෝ සමිඳුන් වන්දනා කරන සිතක සීතල කරුණාව, බැති පූජාව සේ ගලා යන අයුරු බලනු මැනවි.

‘හේමාවලෝකන’ සාර සංග්‍රහයෙහි උන්වහන්සේගේ ගීත නිර්මාණ අගය කරමින් ලියන ලද විචාර ලිපි දෙකක් ම ඇතුළත්ව තිබේ. සේන නානායක්කාර හා නන්දන මිල්ලගල විද්වත්හු ඒවා සනිදර්ශනව පෙන්වා දෙති. උන්වහන්සේගේ ශාසනික මෙහෙවර පිළිබඳ ලියැවුණු සරත් මනුකුල වික්‍රමගේ ලිපිය පල්ලේගම හිමියන් සසුන්ගත වීමේ සිට නව පදවිය තෙක් පැමිණි ගමන සැකෙවින් වුවද විචිත්‍ර ලෙස දැක්වෙන්නකි. ඔහු සඳහන් කරන්නේ පනස් පස් වසරක ශාසනික මෙහෙවරෙහි හේමරතන මුද්‍රාව සුදිලෙන බවය. එහි සඳහන් වන පරිදි මෙයට පස් විසි වසරකට පෙර මෙම ධුරය අත්පත්කර ගැනීමේ වරම් හිමි වුවත් එයට වඩා තමන් වහන්සේ ඒ වනවිට නිරතව සිටි රුවන්වැලි සෑ රඳුගේ භාරකාර මෙහෙවර නිම කිරීම උන්වහන්සේගේ අභිමතය වී ඇත. පදවි තනතුරු යනු අප නාහිමියන් ලොල් වූ දේවල් නොවූ බව එහි ඇඟවීමය. ඇත්ත වසයෙන් ම පල්ලේගම හිමියන්ගේ නාමය බැඳී තිබුණේ මහසෑය සමග ය. එම ලිපිය කියවන පාඨකයකු තුළ මේ සරල යතිරුවත් එහි ගුණ සුවඳත් අප්‍රමාණව දැනෙනු නියතය.

අභිනව අටමස්ථානාධිපති නාහිමියන් වෙනුවෙන් කළ උත්කෘෂ්ට ශාස්ත්‍රීය පූජාවක් !

අනුරාධපුර අටමස්ථානාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවන චරිත යනුවෙන් කිරින්දේ ඤාණදර්ශන හිමියන් විසින් ලියන ලද ලිපිය එදා මෙදා තුර මෙම ධුරය හෙබ වූ හිමිවරුන්ගේ තොරතුරු ඇතුළත් වූවකි. අටමස්ථානාධිපති ධුරය හෙබ වූ හිමිවරුන්ගේ ජීවිතයෙන් බිඳක් සහ ඉටු කරන ලද මෙහෙවර පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් ද එහි දැක්වේ. මේ ශාසනික ඉතිහාසයට අදාළ ඇතැම් වැදගත් ලේඛනවල ඡායා පිටපත් ද එහි ඇතුළත් කර ඇත. ඉංග්‍රීසීන්ට යටත් වූ සමයේ සිට අද දක්වා අටමස්ථානාධිපති ධුරය සඳහා අක්තපත්‍ර දුන් ආණ්ඩුකාරවරුන්ගේ හා රාජ්‍ය නායකයන්ගේ තොරතුරු ද එහි පිළිවෙළින් දක්වා තිබේ. මේ තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද එහි වේ. එහි රචකයා භාතිය සුමිත්‍රාරච්චි ය.

මෙම ලිපි සංග්‍රහයෙහි ශාස්ත්‍රීය වසයෙන් විවිධ තේමා අනුව ලියන ලද අගනා ලිපි රැසක් ම ඇතුළත් වී තිබේ. විශේෂයෙන් අනුරාධපුර යුගයට අයත් පූජනීය ස්ථාන, පුරාවස්තු මෙන් ම සමාජ අධ්‍යාපන හා සංස්කෘතික වසයෙන් හැඳින්විය හැකි තේමාවන් අලලා ලියැවුණු ලිපි ද වේ. ඒ බොහෝ ලිපි විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේෂණ ක්‍ෂේත්‍රවලට අයත් විද්වතුන්ගේ ලිපිය. සමකාලීන ඓතිහාසික මූලාශ්‍රවලින් ලබාගත් තොරතුරු පමණක් නොව, ශාස්ත්‍රීය වාද විවාදවලට තුඩුදුන් ඇතැම් මතවාද පවා මෙහි දී ලේඛකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. උක්කු බණ්ඩා කරුණානන්ද සිංහල ඉංග්‍රීසි දෙබසින් ම මෙම අටමස්ථානාධිපති ධුරය හා සබැඳි තොරතුරු සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කර ඇත.

අද දවසේත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව නැති රජය හා ආගම අතර තිබෙන සබඳතා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ විකාශනය ගැන ද ලියැවුණු මාලිනී චන්ද්‍රිකාගේ ලිපිය ද පාඨක අවධානය යොමු විය යුත්තකි. දේශපාලන න්‍යාය එහි භාවිතය හා ක්‍රියාත්මක වීම ගැන විවිධ අදහස් එහි අඩංගු වේ. මෙහි දී බෞද්ධ සූත්‍ර මෙන්ම බටහිර න්‍යායන් ද වෙන වෙන සංසන්දනාත්මකව විග්‍රහ කර ඇත. අද බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව තිබෙන දේශපාලනය හා භික්ෂුවගේ භූමිකාව විමසා බැලෙන තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන්ගේ ලිපිය ද ශාස්ත්‍රීය විග්‍රහයක් ලෙස අගය කළ යුතුය. බුද්ධකාලීන සමාජයෙහි භික්ෂූත්වය නොපිරිහී සමාජ මෙහෙවරවල නිරතව සිටි ආකාරය ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තය, කෘෂිකාර්මික සමාජය මෙන්ම වැව හා බැඳුණු ජන ජීවිත ගැන ද ශාස්ත්‍රීය විශ්ලේෂණ කීපයක් ම මෙහි වේ. සමාජ ආර්ථික පරිසරය මෙන්ම ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ හා භික්ෂු අධ්‍යාපනය ගැන ද අගනා අනාවරණයන් සහිත ලිපි කීපයක්ම ඒ අතර දැකගත හැකිය. පුරාවිද්‍යාව ඉතිහාසය, ප්‍රතිමා කලාව මෙන්ම ත්‍රිපිටකයේ එන සාහිත්‍ය සංකල්ප තේමා කර ගත් ලිපි නිසා ‘හේමාවලෝකන’ සාර සංග්‍රහයෙහි අගය වැඩිවී තිබේ.

මේ වනවිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නිලභාරකාරත්වය හිමිවී බෝමළුව පන්සල ලෙස හැඳින්වෙන ස්ථානයේ වැඩවාසය කරන හේමරතන හිමියන් හා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ද විස්තර කෙරෙන අගනා ලිපියක් ලෙස ‘බෝමළුව යන්නෙහි අර්ථය හඳුනාගැනීම’ නම් කළ යුතුය. රැලපනාවෙහි ධම්මජෝති නාහිමියෝත් ඒ සියලු තතු අතැඹුලක් සේ දක්වති. බෝමළුව පන්සල දීර්ඝ ඉතිහාසයක් සහිත ස්ථානයකි. පරිවාර බෝධීන් සහිත බෝධි උයනක් බවට එම පූජාභූමිය පත්වූ ආකාරය ද එම ලිපියෙහි දක්වා තිබේ.

අටමස්ථානයට අයත් පුදබිම් අතර මිරිසවැටිය ද සුවිශේෂ වේ. ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියෝ මිරිසවැටිය හා දුටුගැමුණු රජු හා බැඳුණු ජනප්‍රවාදයන් සමග ලියූ ලිපිය ශාස්ත්‍රීය වසයෙන් උසස් ය. එය නම් කර ඇත්තේ මිරිසවැටිය ස්තූපයේ තතු විත්ති ලෙස ය. රජරට සංස්කෘතිය බිඳ වැටීමෙන් පසු මිරිසවැටිය නටබුන් වූ අතර 19 වන සියවස අගභාගයේ දී එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මැදිහත්වීම් සිදුවූ බවද මෙහි සඳහන් කර තිබේ. දුටුගැමුණු රජුට අයත් වූ ජයකොන්තය මිරිසවැටියෙහි නිධන් කර තිබෙන බව පිළිගනු ලබන අතර එම චෛත්‍ය පොදු ජනයාගේ ආකර්ෂණයට ද ලක්ව තිබුණි.

බුදුන් වහස්සේගේ ලංකාගමනය මෙන්ම ඉනික්බිතිව සිදුවූ මහින්දාගමනය නිසා සුපෝෂණය වූ අනුරාධපුර සංස්කෘතියේ ගාම්භීරත්වයට පසු කාලීනව බාධා සිදු වුවත් එය විනාශ මුඛයට පත් නොවීම ද සුවිශේෂී කරුණකි. අජිත් තල්වත්ත ලියූ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ගමන් මඟ (1948 – 1977) වැදගත් වන්නේ ද ඒ ඓතිහාසික සිදුවීම් මාලාව මැනවින් දක්වා තිබීම නිසා ය.

අනුරාධපුර යුගය විචිත්‍රතවත් කළ කුරුටු ගී සාහිත්‍ය අළලා කුසුම්සිරි කොඩිතුවක්කු විසින් සපයන ලද ලිපිය ද රසභාව දනවන ශාස්ත්‍රීය ගුණයෙන් ද සපිරුණකි. ලෝක සාහිත්‍යයේ අපට ම උරුම වූ සම්ප්‍රදායක ආශ්චර්ය මෙම ලිපියෙහි දක්වා තිබේ. (මෙම උපහාර සංග්‍රහයෙහි ලිපි 47 කි)

මෙසේ සැකෙවින් දැක්වුව ද මෙම ‘හේමාවලෝකන’ කෘතිය අනුරාධපුර සංස්කෘතියෙහි අක්මුල් සොයායන විද්‍යාර්තීන්ට මහඟු දැනුමක් අවබෝධයක් ලබාදෙන කෘතික් බවද අවධාරණය කළ යුතුය. ඇත්ත වසයෙන්ම යතිවරයකුට කෙරෙන පූජා ප්‍රසාදයක් අභිභවා ගිය ශාස්ත්‍රීය විශ්ලේෂණයක අගය මෙවිතර යැයි කිව නොහැක. ඒ අතින් බැලුවත් හේමරතන හිමියෝ පෙර කළ පිනැති උතුමෙක් නො වෙත් ද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ සංඝ පීතෲවරයන් විසින් උන්වන්සේට කරන ලද ශුභාශිංසන පණිවුඩ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ නමස්කාර ප්‍රාර්ථනා ද මෙහි දැක්වේ. උන්වහන්සේගේ භූමිකාව ඒ සියලු උතුමන්ගේ පැසසුමට ලක්ව තිබේ. ඒවා විමර්ශනය කර බලනවිට පසක් වන්නේ පෙර පින් මහිමයෙන් ආ සසර ගමනක උත්කර්ෂවත් අවස්ථාවකට හේමරතන නාහිමියන් පත්ව සිටින බවය.

හේමරතන හිමියන්ගේ ශාසනික මෙහෙවර පුරාවිද්‍යා දැනුම, සාහිත්‍යකලා පරිශීලනයෙන් උපයාගත් කිතු ගොස ආදිය මෙම කෘතියෙහි සාටෝපයෙන් තොරව නිරහංකාර ගුණය පිළිබිඹු වන අයුරින් දක්වා තිබීම ද අගය කළ යුතුය.

මේ සටහන අවසන් කිරීම සඳහා මෙහි ඇතුළත් පහන් සංවේග දනවන නිර්මාණ දෙකක් ගැන ද සිහිපත් කළ යුතුය. ඒ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ හා බණ්ඩාර ඇහැළියගොඩගේ පi නිර්මාණ දෙකකි. මෙහි අප උපුටා දක්වන්නේ හේමරතන නාහිමියන්ගේ චිරකාල මිත්‍ර සසර එක්ව ගමන් ගන්නා සහෝදර යතිවරයකු වන රඹුකන හිමියන්ගේ ‘දුප්පත් ගම්බිම් හරහා අපි ආවේ සංසාරේ පැවිදි වෙන්ට’ නිර්මාණයයි. විශේෂයෙන් රඹුකන හිමියන්ගේ සැමරුම් දයාර්ද්‍ර වූ බැඳීම්වල ප්‍රකම්පනයන් සේ අපට දැනෙයි. ළමා වියෙහිදීම ගිහිගෙය හැර දමා කසාවත තෝරාගත් එකම සදහම් ගඟුලක නිවී සැනහී සසර පුරා ගිය මතකය ඒ කවි තුළ අලුත් වෙයි. තම සංසාර කලණමිත් හිමියන්ට ලද බුහුමන රඹුකන හිමියන් දකින්නේ මහ මෙවුනාවම නිවුණු මල් වැස්සක් වගේය. සාඩම්බර කවි ලකර බැහැර කරන අපූර්ව කවි මඟක සංහිඳියාව ඒ පතු තුළ නින්නාද වන අයුරු විමසා බලා ඔබටත් නිවිය හැකිය.

…………………………………………………

උඩමළුවට මං ආවේ සංසාරේ යාළුකමට
සිරිමහ බෝධිය වැන්දේ ළඟා වෙන්න නිවන් මඟට
අපි දෙන්නම එකතු වෙලා වෙහෙස වුණා ගී ලියන්ට
ඔබට අනේ පුළුවන් වෙයි ලංකාවම බබළවන්ට

දුප්පත් ගම්බිම් හරහා අපි ආවේ පැවිදි වෙන්ට
පැවිදිවෙලා දුක් වින්දා සිල්ප සතර දිනා ගන්ට
තුන් පිටකය හදාරමින් බුදු හිමියන් ළඟට යන්ට
අපි දෙන්නට පිං තිබුණා සංසාරේ එකට ඉන්ට

පල්ලේගම හේමරතන නාහිමියන් උඩ මළුවේ
පෙරුම්පුරා වෙහෙස වෙලා බුදුන් පුදට මල් නෙළුවේ
ඒ මල් ගෙන දුප්පතුන්ගෙ දුක් කරදර ගිනි නිමුවේ
සංසාරේ ගමන් මඟට මල් පාවඩ අපි එලුවේ

නිවැරැද්දේ බැනුම් අසා සංතාපය ගුලි කරගෙන
සිනා සිසී ඔබ හිටියා බෝ සෙවණේ පියවර මැන
අටමස්ථානේ භාරය පිළිගත් දාඒ බව දැන
මහ මෙවුනාව ම තිබුණා මල්වැස්සක් ආ විලසින

මහණකමත්, බණ දහමත්, මිතුරුකමත්
කවිකමත් යන පොදු ගුණ මෙසේ
මුදු වදන් තුළ රඳවා හද පහන්
සිතින් පතන්නේ තම පැවිදි කලණ
මිතුරාට මුළු දෙසම බැබළවීමට
සවි බල වෙර වීරිය ලැබේවා
යන්නයි! කොතරම් අව්‍යාජ පැතුමක්ද?

අවසන් වසයෙන් මෙවන් විශිෂ්ට ශාස්ත්‍රීය පූජාවක් කරමින් මෙම අගනා සාර සංග්‍රහය එළිදැක්වූ එහි සංස්කාරවරුන්ට ද අපගේ කෘතවේදීත්වය මෙන්ම බුහුමන ද පිරිනැමිය යුත්තේය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment