අභිනව සෞඛ්‍ය ඇමැතිට ඇති අභියෝගය

1132

ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදයේ නව විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්‍ෂකයන් විසින් සොයාගෙන ඇත. ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය වේගයෙන් රට පුරා ව්‍යාප්ත වීමට මෙය ප‍්‍රබල හේතුවක් වී ඇතැයි රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

ඇමැතිවරයාගේ ප‍්‍රකාශයෙන්ම පැහැදිලි වන්නේ අපේ රටේ කොරෝනා වසංගතය තීරණාත්මක අවධියකට පත්ව ඇති බවකි. දිනකට කොරෝනා මරණ 160 ක් පමණ වාර්තා වන තරමටම තත්ත්වය උග‍්‍රවීම තුළ රට නොවසා මේ උගුලෙන් ගැලවීමේ මං රජය සොයමින් සිටී.

මේ අතර කැබිනට් සංශෝධනයක් සිදුවන්නේ කවුරුත් බලාපොරොත්තු නොවූ මොහොතකය. අවම වශයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියවත් එය දැනගෙන සිටි බව නොපෙනේ. කෙසේ නමුත් විපක්‍ෂය චෝදනා කරන්නේ කැබිනට් පුටු මාරුවූ පමණින් පවතින වසංගතයට පිළිතුරක් නොලැබෙන බවයි. රටේ පවතින කොවිඞ් වසංගතය පිළිබඳව කරුණු දක්වමින් ජවිපෙ විජිත හේරත් මන්ත‍්‍රීවරයා සැර කතාවක් කළේය. ඔහු ප‍්‍රකාශ කළේ රජය උද්දච්ඡු නොවිය යුතු බවයි. දැන්වත් ජාතික ව්‍යසනකාරී තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කොට මෙම ප‍්‍රශ්නයට විසඳුම් සොයන ලෙසට ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය. එන්නත්කරණය එකම විසඳුම ලෙස සැලකිය නොහැකි බවත් ජාතික න්‍යාය පත‍්‍රයක් සකස් කොට කොරෝනාවෙන් රට ගලවා ගැනීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය. රජය එසේ කි‍්‍රයාකරන්නේ නම් විපක්‍ෂයේ සහාය රජයට ලබාදීමට සූදානම් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.

අශ්වයා පැනගිය පසු ස්තාලය වසා දැමීමෙන් පලක් නොවන බව ප‍්‍රකට මතයකි. අද අප රටක් වශයෙන් අත්විඳිමින් සිටින්නේ එවැනි තත්ත්වයක් බවට විපක්‍ෂය න`ගන චෝදනාව මුළුමනින්ම බැහැර කළ නොහැක්කකි.

අලූත් අවුරුදු පොකුරෙන් පටන්ගෙන ඩෙල්ටා පොකුරක් දක්වා වර්ධනය වී ඇති ශ‍්‍රී ලංකාවේ කොරෝනා වසංගතය තවදුරටත් වර්ධනය නොකර පාලනය කරගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය අද අප හමුවේ ඇත. ඒ සඳහා පක්‍ෂ විපක්‍ෂ සියලූ දෙනාගේ අදහස් සහ යෝජනා ලබාගැනීම මේ මොහොතේ වැදගත්ය. එහෙත් කොරෝනා මිනී මතින් දේශපාලන ගේම් ගැසීමට කවුරුන් හෝ මේ මොහොතේ සූදානම් නොවිය යුතුය.

රජයේ කැබිනට් මණ්ඩලයේ සිදුවූ සංශෝධනය පිළිබඳව මේ වන විට විවිධ කතිකාවත් ගොඩනැෙ`ගමින් පවතී. විශේෂයෙන් කොරෝනා වසංගතයෙන් බැටකන කාලයක ඕනෑම රටක සෞඛ්‍ය අමාත්‍ය ධුරයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කොරෝනාව පාලනය කරගත හැකි වුවහොත් රජයට ක්‍රෙඩිට් ලැබෙන්නා සේම එම ඇගයීමේ කොටසක් සෞඛ්‍ය අමාත්‍ය ධුරයට ලැබෙන්නේය. හිටපු සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන ආකාරයට සෑම දෙයක්ම වන්නේ හොඳටය. රජ්ජුරුවන්ගේ හා පුරෝහිතගේ කතාව කියමින් උපේක්‍ෂාසහගතව ඇය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට සමුදුන් බව පෙනේ. නමුත් ප‍්‍රශ්නය අවසන් යැයි අප සිතන්නේ නැත. කොරෝනාව නැමැති රකුසා දිනෙන් දින අප සමාජය ගිලගනිමින් සිටී. එනිසා මේ මොහොතේ හෝ නිවරැුදි තීන්දු නිසි වේලාවට විද්‍යාත්මක පදනම මත සිට නොගතහොත් කොරෝනාව හමුවේ අප රටක් ලෙස තව තවත් අසීරුවට පත්වීම වළක්වා ගැනීමට බැරිවෙනු ඇත.

එනිසාම අභිනව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාරධූර අභියෝගයක් මේ මොහොතේ පැවරී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මේ රටේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය අංශයේ සියලූ නිරීක්‍ෂකයන්, පරීක්‍ෂකයන්, විද්වතුන් ඇතුළු සියලූ දෙනා ඒකරාශී කරගෙන කොරෝනා වසංගතයෙන් මේ රට ගලවා ගැනීම සඳහා අවශ්‍ය විධි සහ උපක‍්‍රම සෙවීමට සෞඛ්‍ය ඇමැතිවරයා ප‍්‍රමාද නොවණු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. එසේම පක්‍ෂ විපක්‍ෂ සියලූ දෙනාගේ සාධනීය අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දෙමින් දේශපාලන භේදයකින් තොරව රට ගැන සිතා මේ මහා උවදුරෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා වූ මානුෂීය මෙහෙයුමට රජයත් විපක්‍ෂයත් අන් පාර්ශ්වයනුත් ඒකරාශී කර ගැනීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාට හැකියාව තිබිය යුතුය.
 

advertistmentadvertistment
advertistmentadvertistment