අභිමානයෙන් සුපිරි වටයට යෑමට අද සාජා පිටිය ජයගත යුතුයි

243

සුදුසුකම් ලැබීමේ වටයේ පළමු ස්ථානය තහවුරු කර ගෙන අභිමානයෙන් යුතුව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ අති අවසන් අභියෝගය නෙදර්ලන්තයට එරෙහිව සාජා ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (22 වෙනිදා) ප.ව.7.30ට ආරම්භ වේ.

ඒ සමගම මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අදියරය නිමාවට පත් වන අතර හෙට (23 වෙනිදා) සිට සුපිරි කණ්ඩායම් 12 සහභාගි වන සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ වේ.

සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයෙන් නැමීබියාවත් පෙරේදා (20 වෙනිදා) අයර්ලන්තයට එරෙහිවත් ලද ජයග‍්‍රහණයන් සමගින් අදාළ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර අද තරගයෙන්ද ජය ගතහොත් එම කාණ්ඩයේ සියලූ තරග ජය ගත් කණ්ඩායම ලෙස සුපිරි වටයට ප‍්‍රවේශය උදා කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇත.

පළමු තරග දෙකේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවැති අතර දෙවෙනි තරගයේ උඩ පන්දු දෙකක් පමණ ගිලිහී ගිය ද සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනෙන මට්ටමක පැවැතිණි.

අත්දැකීම් බහුල පිතිකරුවන් දෙදෙනා වන කුසල් ජනිත් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් එම තරග දෙකේදී ලකුණු අතරට ඒමට අපොහොසත් වීම නොවෙන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයින් සියලූ දෙනා කණ්ඩායම වෙනුවෙන් සිය යුතුකම් ඉටු කර තිබුණි.

මේ අනුව අද තරගය සඳහාද එම තරග දෙකට ක‍්‍රීඩා කළ කණ්ඩායමම යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති අතර චන්දිමාල් කෙරෙහි තවදුරටත් කණ්ඩායමේ කළමනාකාරීත්වය විශ්වාසය තබනු ඇති බවද අනුගමනය කිරීමට පුළුවනි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් මේ වන විට සිය උපරිම දක්ෂතා අතරට ළඟා වී තිබීම කණ්ඩායම පැත්තෙන් ඉමහත් වාසියක් වන අතර චමීර සහ ලහිරු කුමාර නිරන්තරයෙන් පාහේ පැයට කිලෝමීටර් 140 ඉක්මවා යවනු ලබන වේග පන්දුවලට මුහුණ දීම නෙදර්ලන්ත පිතිකරුවන්ට හිසරදයක් වනු අත.

වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණගේ දක්ෂතා ද ඉතා ඉහළ මට්ටමක පැවැතිණි. චාමික කරුණාරත්න ද තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස සිය කාර්යය ඉටු කරමින් සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායම

කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ

නෙදර්ලන්ත කණ්ඩායම

පීටර් සීලර් (නායක), කොලින් ඇකර්මන්, පිලිපේ බොයිස්වේන්, බෙන් කූපර්, බාස් ඩි ලීඬේ, ස්කොට් එඞ්වර්ඞ්ස්, බ‍්‍රැන්ඩන් ග්ලොවර්, ෆ්‍රෙඞ් ක්ලාසෙන්, ස්ටිපන් මිබර්ග්, මැක්ස් ඔඩොව්ඞ්, රයන් ටෙන්ඩස්කේට්, ලොගන් වෑන් බීක්, ටිම් වෑන්ඩර් ගටන්, රොලෆ් වැන්ඩර් මර්වේ, පෝල් වෑන් මිකරෙන්.

කුෂාන් සුබසිංහ සාජා සිට…

advertistmentadvertistment
advertistmentadvertistment