අභිමානවත් සහ චාම් උළෙලකින් ගාලුමුවදොරදී 75 වැනි ජාතික නිදහස් දිනය සැමරේ

92

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ‘නමෝ නමෝ මාතා සියවසට පියවරක් ’ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04දා) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.

අවම වියදමකින් වුවද ඉතා අභිමානවත් ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලාංකේය ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය නැවත ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම මෙහි අරමුණ විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු විය. ඉන් අනතුරුව මඟුල්බෙර වාදන හා සක්හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යෑම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියෝ 105 දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. එමෙන්ම පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ ‘දේවෝ වස්සතු කාලේන’ ගාථාව ගායනා කිරීම ද සිදු විය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් පැවැත්විණි. ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ලොවට පසක් කරමින් 75 වන නිදහස් දින සැමරුම් පෙළපාලිය, ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකාය වර්ණවත් කළහ.

ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදහා දක්වමින් සිංහ ප්‍රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික, ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 100 දෙනෙක් ජාතික ධජ රැගෙන පෙළපාලියේ ගමන් කළහ. ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර, රෙජිමේන්තු සහ සන්නද්ධ බළකා නියෝජනය කරන පෙළපාලි ද විශ්‍රාමික නිලධාරීහු 21 දෙනෙක් සහ ආබාධිත නිලධාරීහු 29 දෙනෙක් එහි ගමන් කළහ. ත්‍රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාලියක්ද ඊට ඇතුළත් විය. එමෙන්ම ශ්‍රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන කෆීර් යානා ඇතුළු ගුවන් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකාව සතු නාවුක ශක්තිය ද අභිමානවත්ව ප්‍රදර්ශනය කෙරිණි. පැරෂුට් සංදර්ශනයකින් ද මෙම උළෙල වර්ණවත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment