අභියෝගයට මම ලෑස්තියි-  අගමැති රනිල් වික්‍රමසිංහ: පළමු සංචාරය ඉන්දියාවට

818

රටේ ජනතාව සාගින්නේ පෙළෙන හා පෝලිම්වල පීඩා විඳින අවස්ථාවක ඉන් රට බේරා ගැනීම සඳහා වූ අභියෝගයට තමා මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තමාට මෙම අවස්ථාවේදී පටු දේශපාලන ආකල්ප අවශ්‍ය නැති බවත්, විද්වත් වෘත්තිකයන්ගේ, විවිධ මත දරන දේශපාලන පක්‍ෂවල ද සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

තරුණ අභිලාශයන්ට මුල්තැන දෙමින් රටේ නිවැරදි ආර්ථික කළමනාකරණයක් හා ස්ථාවර භාවයක් ඇති රටක් බිහිකිරීමට තමාට කළ හැකි උපරිමය කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා පෙරේදා (13 දා) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවිය. එහිදී සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කීපයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වේ.

එහිදී ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන ගැටලුව විසඳා ගැනීමට තවදුරටත් ඉන්දියාවේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉන්දීය ණය සහන ලබාගැනීමේ වැඩසටහන තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා ද සාකච්ඡා පැවැත්වීමට අපේක්‍ෂා කෙරේ.

චමින්ද සිල්වා, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment