අභියෝගය පෙරට වඩා ප්‍රබලය!

223

ඔස්‌ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිම කර අදට හරියටම සතියකි. ඒ සතිය ඇතුළත තවත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අන් කවුරුත් නොව අපගේ කලාපීය මිතුරකු වන පකිස්තානයයි. පකිස්තානය අප සමඟ කවදත් කුළුපගව කටයුතු කළ රාජ්‍යයකි. ඔවුන් දැන් ගාල්ලේ දී ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයකට මුහුණ දේ.

ශ්‍රී ලංකාව ඔස්‌ට්‍රේලියාව සමග ටෙස්ට් තරග දෙකටම ක්‍රීඩා කළේ ද ගාල්ලේදීය. ගාල්ල තණතීරුව කවුරුත් දන්නා පරිදි දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයකි. එමෙන්ම එකී තරග දෙකේත් ජය පරාජය තීරණය වූයේ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා මතිනි. එහිදී දිනේෂ් චන්දිමාල් රැස් කළ ද්විත්ව ශතකය අද්විතීයය. කණ්ඩායම් දෙකේ වෙනස වූයේ එම ද්විත්ව ශතකයයි. ඊට යටවුණු ඔස්‌ට්‍රේලියාව කෝඩුකාර ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම හමුවේ පරාජය වැළඳ ගත්තේය.

පළමු ටෙස්ට් තරගයේ සිදු වූයේ ද එවැන්නකි. එවර ශ්‍රී ලංකාව ඔස්‌ට්‍රේලියා දඟ පන්දු යවන්නන් හමුවේ ඇඹරී ගියේය. කොටින්ම ඔස්‌ට්‍රේලියාවට කැපූ වළේ ශ්‍රී ලංකාව වැටුණේය. ඔස්‌ට්‍රේලියාව කඩුලු 10 කින් පළමු තරගය ජය ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලිය තුළ ලැබුණේ පරාජිත ආරම්භයකි. එහෙත් ශ්‍රී ලංකාව ඉන් පාඩමක් ඉගෙන ගත්තේය. කාසියේ වාසිය පරාජය වී දෙවනුවට පන්දුවට පහර දීමට සිදු වීම යනු ගාල්ලේ දී සිදු විය හැකි හොඳම අවාසියකි. දෙවැනි තරගයේදී එම අවාසිය ශ්‍රී ලංකාව පිටුපස්සෙන් සිට ගත්තේය. එහෙත් කෝඩුකාර ප්‍රභාත් ජයසූරිය තම මංගල තරගය වාර්තා ගොන්නකින් අලංකාර කර ගත්තේය. ශ්‍රී ලංකාව දෙවැනි තරගය ජයග්‍රහණය කළේය. ප්‍රභාත්ට ටෙස්ට් වරම් හිමි වූයේ පළමු තරගයේ දී ලසිත් ඇඹුල්දෙනිය පෙන්නුම් කළ දුර්වල දක්ෂතා සහ ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වීම නිසාය. ඔහු ඊට උපරිම සාධාරණය ඉටු කළේය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවේ 4 වන ස්ථානය ජයසූරිය එහිදී හිමි කර ගත්තේය. පළමු ඉනිමේ සහ දෙවෙනි ඉනිමේ දීත් කඩුලු 6 බැගින් දවා ගෙන ඔහු එම වාර්තාව පිහිටු වූයේය. එය ශ්‍රී ලංකාව පැත්තෙන් මංගල ටෙස්ට් තරගයකදී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොඳම දක්ෂතාවය වේ.

ශ්‍රී ලංකා පිතිකරුවකු ඔස්‌ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ද්විත්ව ශතකය දිනේෂ් චන්දිමාල්ගේ පිත්තෙන් එදා වාර්තා විය. ඔස්‌ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ඔවුන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ චන්දිමාල් ලබා ගත් එකී ද්විත්ව ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ හොඳම ටෙස්ට් ඉනිමක් ලෙස නම් කළ යුතුව ඇත. ලොව ප්‍රබල වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක්ගේ පන්දු වාරයක් තුළදී හයේ පහරක් වාර්තා කර ද්විත්ව ශතකයකට පියමැනිම යනු අසමසම හැකියාවකි. ඉන් එක් හයේ පහරක් ක්‍රීඩා පිටියෙන් එපිට මහමග වැටී තවත් දුර ඇදී යද්දි ඒ මඟ ගමන් කළ කොලු ගැටයකුගේ ඇඟේ වැදී නතර විණි. චන්දිමාල් ස්ටාර්ක් ට සිය පිත්තෙන් සංග්‍රහ කළේ එසේ ය. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක සහ ද්විත්ව ශතක වාර්තා කිරීමේ දී ඒවා හයේ පහරකින් අලංකාර කර ගැනීම පුරුද්දක් ලෙස කර ගත් ක්‍රීඩකයෙකු ලෙස හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ප්‍රකටය. චන්දිමාල් එදා සිහි ගැන්වූයේ අරවින්දගේ පිතිකරණ ශෛලියයි. එදා චන්දිමාල් ප්‍රදර්ශනය කළ දක්ෂතා ලොව නන් දෙස ක්‍රීඩා විචාරකයන්ගේ මහත් ඇගයීමට ලක් වූවා මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ද පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකාව එදා ගාල්ලේ දී පරාජය කළේ මේ වන විට ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දු යවන්නා වන පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමයි. ඔහු පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ රැඳී සිටිද්දී එහි 06 වන තැන මිචෙල් ස්ටාර්ක් අත් කර ගෙන තිබේ. ඒ පැට් කමින්ස්ගේ නායකත්වයෙන් ඔස්‌ට්‍රේලියා කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය වූ පළමු වතාව ය. එමෙන්ම ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිට අංක 8 දක්ව ස්ථාන තුනක් ඔස්‌ට්‍රේලියානුවන්ගේ ආධිපත්‍යයට යටත් වී තිබේ. ඉන් දෙවැන්නේ මානස් ලැබුශේන් ද, තුන් වෙනියා ලෙස ස්ටීව් ස්මිත් ද, අංක 8 ස්ථානයේ උස්මන් කවාජා ද රැඳී සිටිති. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පමණක් මෙම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල මුල් දහ දෙනා අතර සිටින එකම ක්‍රීඩකයා වේ. ඔහු ගේ ස්ථානය අංක 07 වේ. එසේම ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් ඉරියව් ක්‍රීඩකයන් අතර අංක 6 මිචෙල් ස්ටාර්ක්ට ද, අංක 7 පැට් කමින්ස්ට ද හිමි වී තිබේ. ශ්‍රී ලංකාව අතින් පරාජයට පත් වූයේ මෙවැනි දක්ෂයින්ගෙන් හෙබි කණ්ඩායමකි.

එහෙත් දැන් සිටින්නේ වෙනස්ම ප්‍රතිවාදියෙකි. ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් සහ දක්ෂතා සසඳා බැලීමේදී ඔස්‌ට්‍රේලියාවට වඩා ඔවුන් සිටින්නේ පහළ මට්ටමකය. වත්මන් ලොව හොඳම පිතිකරුවන් අතර ඔවුන්ට හිමි එකම ස්ථානය අංක 4 වේ. එසේම පන්දු යවන්නන් අතරද ශහීන් ෂා අෆ්රිඩි අංක 4 ස්ථානයේ රැඳී සිටී. හොඳම පිතිකරුවන් සහ පන්දු යවන්නන් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල ද අංක 10 තෙක් ඔවුන්ට හිමි වෙනත් තැනක් නැත. එහෙත් දැන් ඇරඹී තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම් අතර සටනක් නොවේ. සටන තිබෙන්නේ පිටියේ ය. එය පන්දුවත් පිත්තත් සටනක් මිස ශ්‍රේණිගත කිරීම් පිළිබඳ සටනක් නොවේ. ඒ අතින් බලන කල ශ්‍රී ලංකාව තුළදී ඔස්‌ට්‍රේලියාවට වඩා පකිස්තානය ඉදිරියෙනි. ඔවුන් ට අපේ රටේ තණතීරු හොඳට හුරු පුරුදුය. අපේ දේශගුණය ද ඔවුන්ට නුහුරු නැත. දඟ පන්දුවේ හයියට ද ඔවුන් ඔරොත්තු දෙන සුළුය. ඒ නිසා ඔස්‌ට්‍රේලියාවට වඩා පකිස්තානය භයංකර කණ්ඩායමක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඒ බව පවසන්නේ අප පමණක් නොවේ. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඔස්‌ට්‍රේලියාව සමග පැවැති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ද ඒ බව සඳහන් කළේය.

“ඔස්‌ට්‍රේලියාව සහ පකිස්තානය යන කණ්ඩායම් දෙක සංසන්දනය කරද්දි ඔස්‌ට්‍රේලියාව සමග තරගාවලියට වඩා පකිස්තාන තරගාවලිය අමාරු එකක් වේවි. ඔවුන් අපේ රටේදී හොඳින් දක්ෂතා දක්වනවා. ඒ නිසා මේ අභියෝගය සුළුපටු නැහැ.”

දිමුත් ඉන්නේ එවැනි මතයකය. ඔවුන්ගේ නායකයා වන බාබර් අසාම් මේ වන විට ලොව නිරන්තරයෙන් ලකුණු අතර සිටින පිතිකරුවන් අතර ප්‍රමුඛයෙකි. මේ වසර තුළ ජාත්‍යන්තර එක් දින තරඟවලදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය අගය සියයට 92 මට්ටමක පවතී. මේ වසරේ ටෙස්ට් තරගවල ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අගය සියයට 78 කි. ඉහළම ලකුණු සංඛ්‍යාව 196 කි. එනිසා ඔහු මේ වන විට ලොව හොඳම පිතිකරුවන් අතර අංක හතර ස්ථානය හිමි කර ගෙන තිබේ.

ඒ නිසා ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර ආරම්භ වී ඇති මේ ටෙස්ට් තරගාවලිය සැබැවින්ම තියුණු මුහුණුවරක් ගනු ඇත. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන මේ තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මේ වනවිට අංක 3 ස්ථානයේ රැඳී සිටී. පකිස්තානය ශ්‍රී ලංකාවට පියවරක් පසුපසින් එහි සිටි.

ශ්‍රී ලංකාව පසුගිය ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පවතී. පාකිස්තානය කොතරම් දක්ෂ වුවත් එකී දක්ෂතා යළි ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් එය පාකිස්තානය මට්ටු කිරීමට ද අපේ කණ්ඩායමට හැකි වනු ඇත. කෙසේ හෝ මෙරට ජනතාවට සතුටක් ලබා දීමට ඉතිරිව ඇත්තේ ක්‍රිකට් පමණි. ඒ සතුට ලැබෙන තුරු ප්‍රේක්ෂකයෝ ඇස් අයා බලා සිටිති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment