අභියෝග ජයගෙන පරිවර්තන යුගයකට යෑම ජාතික සභාව පිහිටුවීමේ අරමුණයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

111

අනාගත අභියෝගයන් ජයගෙන පරිවර්තන යුගයක් කරා යාම අරමුණු කරගනිමින් ජාතික සභාව පිහිටවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (20දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව රටේ විවිධ ප්‍රශ්න විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව විවාදයට ගැණින.

අභියෝග ජයගෙන පරිවර්තන යුගයකට යෑම ජාතික සභාව පිහිටුවීමේ අරමුණයි - අගමැති දිනේෂ් ගුණවර්ධන

යෝජනාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ජාතික සභාවක් ස්ථාපනය කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සියලු පිළිගත්ත දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇති කරගත් එකඟතාවය මතයි. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතන ලද කතාවේද මේ බව සඳහන් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියට යමින් එම සාකච්ඡාව ඵලදායිතත්ත්වයට ගෙන ඒම සඳහා මේ ජාතික සභාවේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සියලු දේශපාලන නායකයන්ගේ එකඟතාවය ලබා ගෙන තිබෙනවා. අපේ රටේ කෙටි, මධ්‍යම, දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතාවය නියම කර

ගැනීමටද, අප රට මුහුණ දෙන ආර්ථික සවිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමටද, ඒ වගේම ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයා ජාතික සභා විශේෂ කාරක සභාවල සභාපතිවරුන් හා යොවුන් සංවිධානවල නිරීක්ෂකයන්ද කැඳවා විශේෂ රැස්වීම් පැවැත්වීමටද සුවිශේෂ අවස්ථාවකට මේ ජාතික සභාව පරිවර්තනය වීමට හැකියාව තිබෙනවා.

ඒ සමඟම ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, අලුතෙන් ඇතිවන බැංකු කටයුතු මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික සවිකරණය පිළිබඳ කාරක සභාව හා රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් කැඳවීමටද සාකච්ඡා කරවා එකඟතාවයන්ට පැමිණීමටද ජාතික සභාවට හැකියාව ඇතිවෙනවා. ඒ අනුව නව පරිච්ඡේදයක් පාර්ලිමේන්තුවේ ඇති කර ගැනීමට පුළුවන් වී තිබෙනවා. සියලු දේශපාලන පක්ෂ හා නායකයන් ජනාධිපතිතුමා සමඟ රජයට මේ පිළිබඳව දක්වන ලද විවිධ සාකච්ඡාවලදී එකඟතාවයන්, යෝජනාවන් මේ ලෙස තව ඉදිරි පියවරක් ලෙස අපට ගමන් කරන්න පුළුවන් බව ඇති වෙනවා. විශේෂයෙන් මෙම කාරක සභාව මෑත කාලයේ ජාතික වූ බරපතලම අභියෝගය වන ආර්ථික අර්බුදය, මූල්‍යමය අර්බුදය, ණය ගෙවීමේ අර්බුදය හා පොදු ජනතාවට බලපාන ජන ජීවිතයන් සුරක්ෂිත කර සහාය වීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලටද සාකච්ඡා කොට මඟ පෙන්වීමට හැකියාව ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ එකඟතාවයක් ඇති වෙලා තිබෙනවා මේ පිළිබඳ මන්ත්‍රීවරු 37ක්. තව තිදෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින්ද අන්තර්ගත වෙනවා.

ජාතික සභාව ඇති කිරීමේ යෝජනාව මා කියන්න ඕනේ බොහොම නිහතමානීවම ප්‍රති පක්ෂයෙන් ඉදිරිපත් වෙච්චි යෝජනාවක්. මේ පිළිබඳ මාර්තු මාසයේ තුන්වෙනි සතියේ එවකට ජනාධිපතිතුමා සමඟද සාකච්ඡා වාරයක් දේශපාලන පක්ෂ නායකයන් පැවැත්වුවා. ඒ සමඟම වර්ධනය වෙමින් සාකච්ඡාව ඵලදායී බවට පරිවර්තනය කරගන්නට හැකියාව මත පාර්ලිමේන්තුව මේ පිළිබඳ විශේෂ යෝජනා සම්මතකින් කාරක සභා ඇති කර ගැනීමට අවශ්‍ය වන නිසා මෙම ජාතික සභාව තුළ අපි තුන් වාරයක් මෙය සාර්ථක කර

ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වුවා. සියලුම දේශපාලන පක්ෂ මේ ජාතික සභාව ඇති කර ගැනීමේ වුවමනාව සඳහා ඒ සාකච්ඡාවල්වලට පැමිණියා. එමඟින් සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කර ගැනීමට පුළුවන්කමට අපට පිවිසෙන්නට හැකියාව තිබෙනවා. මෙම ජාතික සභාව ඉදිරියට ගෙන යාම සඳහා අපි ඇති කර ගත්තා වූ එකඟතාවයන් මත කටයුතු කිරීමට අපි සක්‍රීයව හවුල්කාරීත්වය දක්වන්නේ කථනායකතුමාගේ සභාපතිත්වයෙන් මේ කාරක සභාව පිහිටවීමෙන් තවදුරටත් එය ශක්තිමත්, පාර්ලිමේන්තු ක්‍රියාවලියේ කොටසක් බවටද පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා.

අපට මුහුණ දෙන්නේ අපි මුහුණ නොදුන්නු අර්බුදයකට හා අභියෝගයකට. එයින් ගොඩ ඒමේ ඕනෑකම සඳහා අපේ රටේ පාර්ලිමේන්තුව, නායකත්වය පමණක් නොව ජාතික නිෂ්පාදනය මෙහෙයවන අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවද, ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්තයන්ද ඒ වාගේම අපේ රටේ සුළු කාර්මිකයන් ඇතුළු අති මහත් බහුතරයගේ එකමුතුවෙන් ආර්ථික නිෂ්පාදනය වැඩි කරමින් විදේශ විනිමය වැඩියෙන් උපයා ගත හැකි අනාගතයකට රට පරිවර්තනය කරන්න එකඟතාවයෙන් වැඩ කළ හැකි වැඩපිළිවෙළවල් මෙම ජාතික සභාවේ ඇති කර ගන්න පුළුවන්කම ඇති වෙනවා. එකඟතාවයක් පැමිණියා, ජාතික සභාවේ කටයුතු ඒකමතිකව ගන්න තීරණ බවට පරිවර්තනය කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙයි .

1931 සිට විධායක කාරක සභා ක්‍රමය ආරම්භ වී එලෙස ස්ථාපිත වූ සර්ව පාක්ෂික එකඟතාවයන් මත ඉදිරියට ගමන් කළ හැකි ලෙසට අපිට පරිවර්තනය වී කටයුතු කරන්න පුළුවන්කම තිබෙනව නම් ජනවරම හා ජනමතය සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකර ගැනීමේ අනාගතය සඳහා මේ අභියෝගය ජයගෙන පරිවර්තනයක් කරන්න පුළුවන් අරමුණු කරා මෙම ජාතික සභාව කටයුතු කරන්න බලාපොරොත්තු වන බව සඳහන් කරමින්, මෙය සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කරගෙන තිබෙන නිසා මෙය සම්මත කර ගැනීම සිදුකරගෙන ඒ මත විවාදයන් ඉදිරියට ගෙන යාම සිදුවන්නේ නම් එය විශාල ආදර්ශයක් බවටද පත් වෙයි කියලා මම හිතනවා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක (සජබ)

අපට ප්‍රතිපත්තිමය විවාදයක් නැහැ. ඒත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැන ප්‍රශ්නයක් තියෙනවා. හැම අතින්ම රට කඩා වැටිලා. රට බංකොළොත් බව ජාත්‍යන්තරයත් පිළිඅරන්. ජනතාවගේ ජීවන බර වැඩිවෙලා. මේ තත්ත්තවය වෙනස් කළ හැකි තැනක් බවට මේ සභාව පත්විය යුතුයි.

මේ සභාවට විපක්ෂයේ සංවිධායක නමත් ඇතුල් කරන්න.

මෙහි ක්‍රියාකාරීත්වය රබර් සීල් එකක් නොවිය යුතුයි. රට ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට දායකත්වය දිය යුතුයි. මාස 6 ක තක්සේරුවක් කරන්න වේවි. ජාතික එකඟතාවට නොයෙක් සාකච්ඡා ගියා. මේ මොහොතේ සර්වපාක්ෂික එකඟතාවක අපි ඉන්නවා. රජයේ කටයුතු ජාතික ප්‍රතිපත්ති වගේම ඇමැතිවරු පත් කිරීමේදී ද තිබිය යුතුයි. මේ ගැන ජනතාවගේ දැඩි විවේචනයක් තියෙනවා. ඒ ගැන කලින්ම තීරණයකට එන්න තිබුණා.

අවංකභාවයෙන් ක්‍රියා කරනවා නම් ප්‍රතිපත්ති තීරණයේදී ජාතික සභාව හරහා ක්‍රියා සිදුවිය යුතුයි. මුල්‍ය අරමුදලේ එකඟතාව ගැන හංගන්නෙ නැතිව හෙළි කළ යුතුයි. රජය අවංකව ක්‍රියා කරනවා නම් කෝප් හා කෝපා කමිටු සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්න.

මේ සභාව තවත් කාරක සභාවක් වගෙයි. වාර්තා නිකුත් කිරීමයි වන්නේ. නීතිමය ක්‍රියාදාමයක් නැහැ. කෝප් කෝපා වාර්තා කිසිවකට මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග නැහැ. ගන්න තීරණ ක්‍රියාත්මක කිරීමේ බලයක් ජාතික සභාවට තිබිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)

ශ්‍රීලනිපය යෝජනා කළ ජාතික සභාවත් අද පත් කරන ජාතික සභාවත් හාත්පසින් වෙනස්. එදා යෝජනා කරන විට ආණ්ඩුවක් නැහැ. අද ආණ්ඩුවක් හැදිලා. අගමැති, ඇමැතිවරු පත් කරන්නයි එදා යෝජනා වුණේ. අද පත් කරලා අවසන්. ජාතික සභාවේ මූලික හරය මෙහි ගැබ් වී නැහැ.

කෝප් හෝ කෝපා කමිටුවල සභාපති ධුරවත් විපක්ෂයට දෙන්නේ නැහැ. ආර්ථික අස්ථාවරභාවය සමනය කිරීම ජාතික සභාවෙන් සිදුවිය යුතුයි. නාස්තිය, දූෂණය, වරප්‍රසාද ඇති දේශපාලන සංස්කෘතිය මේ අර්බුදය ඇති කළේ. ඒ නිසා අර්බුදය විසඳීමට මේ සංස්කෘතිය ඉවත් කළ යුතුයි. එසේ අද සිදු වී නැහැ.

ආණ්ඩුවේ යෝජනාව තුළ අවංකතාවක් හා යථාර්ථවාදී බවක් නැහැ. අශ්වයා ගියාට පසු ස්තාලය වැසීමක් වැනි දෙයක් සිදුව තිබෙන්නේ. ජීනිවාවල රටේ ආර්ථික අපරාධ ගැන සාකච්ඡා වෙනවා. ජනපතිට ජනවරමකුත් නැහැ. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනවා පිටකවරයක් වැනි දෙයක්. ඊට අපේ සහායක් ලබාදිය යුතු නැහැ. මෙය කිසිදු පලක් නැති පල විරහිත යෝජනාවක්.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

අපට කතා කරන්න විනාඩියක් දෙන්නෙ නැති ආණ්ඩුවක් ජාතික සභාවක් ගැන කතා කරනවා.

මේ ජාතික සභාව පිරුවටයක් ලෙස යොදා ගන්න හදනවා. දේශපාලන කූට උපායක් ලෙස යොදා ගන්න එකක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික සභාව ගැන කිසිවක් නැහැ. මේ සභාවට කිසිම විධායක බලයක් නැහැ. බලය තියෙන්නෙ ජනාධිපතිට. 22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළට දාලා හරි මේ සභාවට බලයක් දෙන්න තිබුණා. මේක දේශපාලන කැටයමක් විතරයි. අපි මෙය ප්‍රතික්ෂේප කරනවා.

ජනතාව වැඩියෙන්ම පීඩනයට පත්වූ කාලය තමයි මේ. එයටයි ප්‍රමුඛස්ථාන දිය යුත්තේ. බඩගින්නේ ඉන්න දරුවන්ට සුරංගනා කතා කියනවා වගේ ක්‍රියා කරන්නේ. ආණ්ඩුව මීට වඩා අවංක විය යුතුයි. අපි මීට සහභාගි වන්නේ නැහැ. දේශපාලන කූට උපායමාර්ගවලට යටත් වෙන්න අපි සූදානම් නැහැ.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ

මේ පිහිටුවන ජාතික සභාව ජනතාවගේ අර්බුදයට පිහිට වෙනවා නම් සහාය දෙනවා. ඒත් අපිට ඒ ගැන සැකයක් තියෙනවා. අපිව කිසිම සාකච්ඡාවකට කැඳවන්නේ නැහැ.

අපි එදා මේ අර්බුදය ඇති වීමට පෙර ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුව ගණන් ගත්තෙ නැහැ. අපි සතුව විසඳුම් තිබෙනවා. ඊට කිසිම ඉඩක් ලැබුණෙ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ)

අපි සංකල්පයට විරුද්ධ නැහැ. ඒත් සද්භාවය පිළිබඳ ප්‍රශ්නයක් රටට තිබෙනවා. ජාතික සභාව හදන්න තිබුණේ ජනාධිපති පත්වූ විගසයි. නමුත් අගමැති, ඇමැතිවරු සියල්ල පත් කරලයි ජාතික සභාව ආවේ. අපි අපේ සහාය ජාතික සභාවට දෙනවා. නමුත් ආණ්ඩුව ක්‍රියා කරන්නේ ජාතික සභා තීරණයට පිටින්. කාරක සභාවල මුලසුන විපක්ෂයට දිය යුතුයි. එසේ වන්නේ නැහැ.

ජාතික සභාවට මුවාවෙලා තව අවුරුදු දෙකක් ගෙනියන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. නිශ්චිත කාලසීමාවකදී ආණ්ඩුව අවසන් විය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ

ජාතික සභාව ඇතුළත් සර්වපාක්ෂික එකඟතාවක යෝජනා අපි අප්‍රේල් මාසයේ එදා ජනපතිට භාර දුන්නා. තනි පුද්ගලයෙක් තීරණ ගත්තාම වරදිනවා එහි වැරැද්ද සියලු දෙනාටම විඳින්න වෙනවා. එය නැවැත්වීමටයි අපි මේ යෝජනාව ගෙනාවේ.

මේ ජාතික සභාවට පෙර දැක්මක් හෝ පෙර කියැවීමක් නැහැ. යම් තීරණයක් වැරදුනහම ඒ ගැන සමාලෝචනය කිරීම පමණයි කළ හැක්කේ.

අද ආනයනික භාණ්ඩ නිෂ්පාදන ගෙන්වීම නැවතිලා. ඒ නිසා කර්මාන්තකරුවන් අසරණයි. ආර්ථිකය ආතභූත වුණාම ආනයන අවශ්‍ය නැහැ. ඒ වහාම අපනයන කර්මාන්ත ඇති කරන්න.

රැජනගේ අවමඟුල ජනපතිට ලොකු වුණා. රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන උවමනාවක් රජයට නැහැ.

ඊළඟට මේ රටේ එළියට බහින්නෙ බඩගින්නට ඉන්න බැරි මිනිස්සු ඒක වළක්වා ගන්න සැලැස්මක් ඕන. එහෙම එකකක් නැහැ.

රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්

කුල ජාතීන් ආගම් වශයෙන් බෙදී කටයුතු කිරීමෙන් මෙතෙක් කලක් අපි හැමෝම කර ඇත්තේ වරදක්. කුල ජාති පදනමින් මැතිවරණ ජයගෙන බෙදීම ආරම්භ වුණා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ)

අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළා. එහි පක්ෂ නායකයන්ගේ ජාතික සභාවක් යෝජනා කළා. ඒ නිසා අද මගේ සහාය මේ සභාවට ලබා දෙනවා.

අවසාන මාස තුනේ ආර්ථික තත්ත්වය ඝෘණ 8.4 කින් අඩුවෙලා. කර්මාන්ත ක්‍ෂේත්‍රය ඝෘණ 10 ක් අඩුවෙලා. තුන්වන, හතරවන කාර්තු වනවිට ආයතන ප්‍රතිඵල ඇති වෙනවා.

ඉන්ධන භාවිතය අඩු වෙලා. විදුලිය පරිභෝජනය අඩුවෙලා. ඒ නිසා ආර්ථිකය තවත් සියයට 20 කින් අඩුවෙනවා. ලක්ෂ 60 කට අවම ආහාරවත් දැන් ලැබෙන්නේ නැහැ කියලා තොරතුරු තියෙනවා.

දේශීය ණය රුපියල් බිලියන 12500 ක් වෙනවා. රාජ්‍ය බැංකු ඉතා භයානක අනතුරකට දාලා. සේවක අර්ථ සාධක අරමුදල ගිණුම් තියෙනවා. මේ අරමුදල් රජය ණය ලෙස අරගෙන විනාශ කරලා ණය ප්‍රතිව්‍යුහගත කළොත් බැංකු ඉවරයි. සිය ගුණයක සමාජ පිපිරීමක් වීමේ අනතුරක් තියෙනවා. වහාම බැංකු ගලවා ගැනීමට නම් ආර්ථික අපරාධකරුවන්ට බැංකු භාර නොදී වෘත්තිය දැනුම ඇති අයට ලබා දෙන්න.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර – අද දේශපාලන පක්‍ෂ බේදයකින් තොරව රට බේරා ගැනීමට සාමූහික උත්සාහයක් ගත යුතු බව රටම කියනවා. එය 225 ටම පැවරෙනවා. සද්භාවයෙන් කළ යුතු දෙයක්. ආණ්ඩු පක්‍ෂයේ බහුතරය තියෙනවා කියා වෙනම තීරණ නොගත යුතුයි.

අඛණ්ඩව අපි හැමෝම එක්ව ක්‍රියා කළහොත් රට සංවර්ධිත බවට පත්කර ගන්න පුළුවන්.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර – ජාතික සභාව විවාදයේදී විපක්‍ෂය දක්වන උදාසීනභාවය සභාව ක්‍රියාත්මක වීමේදී දක්වන්න එපා. නිවැරැදි ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එක්ව තීරණ ගත යුතුයි.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් අර්බුදය විසඳීමට සක්‍රීය ක්‍රියාමාර්ග ජාතික සභාව විසින් ගනු ඇතැයි සිතනවා. ඒ ආයතන ප්‍රතිසංවිධානය කිරීමේ යෝජනා විපක්‍ෂය ලබා දෙනු ඇතැයි හිතනවා.

විදුලි බිල වැඩිවීම කාටත් දරාගන්න අපහසුයි, කාටත් බලපානවා. පසුගිය දශකයකට අධික කාලයක් විදුලි බිල වෙනස් කළේ නැහැ. ඒත් අර්බුදය විසඳීමට යම් වැඩිවීමක් කළ යුතු වුණා. මහජන උපයෝගිතා කොමිසම තමයි ඒ පිළිබඳ තීරණ ගන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (සජබ) – ප්‍රශ්න විසඳන්න 20 සශෝධනය ගෙනාවා. විවිධ යෝජනා ගෙනාවා. අද ජාතික සභාව කියන සුදු රෙද්දකින් වහපු එකක් ගෙනැල්ලා පාලන ක්‍රමයට යන්ත්‍රයක් දාගෙන විශ්වාසනීය ආයතනයක් බවට පත්කර ගන්න රජයට අවශ්‍ය වෙලා. අපි ජාතික සභාවක් යෝජනා කළේ ප්‍රශ්නය පටන් ගත්ත වෙලාවෙයි. දැන් ජනාධිපති ප්‍රමුඛ යාන්ත්‍රණයක් තියෙනවා. ආණ්ඩුවේ කුණු වහගන්න දැන් ජාතික සභාව යොදා ගන්න හදනවා.

අපි මේ සභාවට සහය දෙන්නේ මාර්තු දක්වා පමණයි. අද ආණ්ඩුව හා පාර්ලිමේන්තුව විකෘති ජන මතයක්. ජන මතය පරීක්‍ෂා කර බලා අලුත් ආණ්ඩුවකට යා යුතුයි.

අද තෙල් තිබුණත් ගහගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. මහා සංඝරත්නය පෙරටු කරගෙන ආපු ආණ්ඩුව බුදු සසුන ඕෆ් කරන්න හදනවා.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මීට වසර එකහමාරකට පෙරයි සර්ව පාක්‍ෂික හමුවක් යෝජනා කළේ. එදා ගෙනා යෝජනා ක්‍රියාත්මක කළානම් මේ තරම් අර්බුද අද එන්නේ නැහැ.

මුලින්ම ගෝඨාභය රාජපක්‍ෂට යෝජනා 15ක් ඉදිරිපත් කළා. පසුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙවුවා. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් හැදීමේ කටයුතු භාර දුන්නා. ඒ කාලය තුළ අරගලය පටන් ගත්තා. අපේ යෝජනා එතැනින් නැවතුණා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුවත් යෝජනා ඉදිරිපත් කළා. ජනතාවට අපි වැඩපිළිවෙළක් දිය යුතුයි ක්‍රියාත්මක කරවීමට. සියලු භේද අමතක කර වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ඇතිකර ගැනීමට එක්වෙමු.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර – මේ රටේ පුරවැසියන් හතරදෙනකුගෙන් තුන්දෙනෙක් එක වේලක් කන කතාව කනවැටිලා. එනිසා අපි හැමෝම එක තැනකට, අරමුණකට පැමිණිය යුතුයි.

ආණ්ඩුවේ හිටිය 43ක් විපක්‍ෂයේ ඉඳගෙන ඉන්නවා. මේ පිරිස සියල්ල එකතු කරගෙන වැඩ කරන්න හැමෝම සහභාගි කරවගන්න ජාතික සභාව හදල ඉන් අගමැති, ඇමැතිවරු පත්කරන්න තිබුණා. වැඩේ කරගෙන ඉවරවෙලා අපෙන් රබර් මුද්‍රාව ලබාගන්න හදනවා. විපක්‍ෂයේ ඉන්න කණ්ඩායම් මේ වැඩපිළිවෙළකට බද්ධ කරගන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) – ජාතික සභාව වැනි යෝජනා ආවේ රටේ එල්ල වූ විරෝධය වසා ගන්නයි. ආණ්ඩුවේ අය හොරකම් කරනවා කියා චෝදනා ආවා. එනිසා ජනාධිපතිට සිදු වුණා යම් ආවරණයක් ගන්න. ඒකට ජාතික සභාව ගෙනාවා. ආණ්ඩුවේ ජන මතය අද අහෝසියි. අද ලක්‍ෂ 69 ජනාධිපති අස්වුණා. ලක්‍ෂ 68 ක් ගත්ත අගමැති අස්වුණා. එනිසා ජන මතය අහෝසියි. එවැනි පිරිසකට ප්‍රතිපත්ති හදන්න බැහැ. මේ ආර්ථික විනාශයට වගකිව යුතු පිරිසක් ඉන්නවා. ජාත්‍යන්තරය අද චෝදනා එල්ල කරලා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ – ඉතිහාසයේ කවදාවත් නැති අර්බුදයක් ඇතිවූ අවස්ථාවක එකට ඉඳගෙන තීරණ ගත යුතුයි. ජාතික ප්‍රශ්නයකදී 225 එකතු වෙන්න බැරි නම් වැඩක් නැහැ. ජාතික එකඟතාව රටේ ප්‍රධාන කරුණුවලදීවත් එක්වෙන්න අවශ්‍යයි. ජාතික ප්‍රශ්නයේදී පොදු එකඟතාවයකට එමු.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ) – රටේ ජනතාවට ජීවත්වීමේ ප්‍රශ්නයට වඩා ජනාධිපති දැක්කේ රාජ්‍ය ඇමැතිවරු පත් කිරීමයි. රටේ ජනතාවට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා හිතුවා. ජාතික සභාවට ගේන මුල්ම යෝජනාව ලෙස සීනි වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරමු. එයයි කළ යුත්තේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ) – විපක්‍ෂයක් ලෙස අපි සහය දෙනවා. ඒත් අපට ආණ්ඩුව

ගැන විශ්වාසයක් නැහැ. නිශ්චිත කාලයකට අවසන් විය යුතුයි. මෙය ලෝකයට පෙන්වන්න කරන දෙයක් ද ප්‍රශ්න විසඳන්න කරන දෙයක් ද කියන සැකය රටටම තිබෙනවා. සාමුහිකව තීරණ අරන් රට ගොඩනැඟීමට ක්‍රියාකළ යුතුයි. ඒ වෙනුවෙන් අපේ සහය දෙනවා.

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර –

225 ම සද්භාවයෙන් වැඩ කළ යුතුයි. ඡන්ද බලාගෙන වැඩ නොකළ යුතුයි. බඩු මිල වැඩිවීමත් සමග ජනතාව දැඩි පීඩාවට පත්වෙලා. තෙල් මිලත් බලපානවා. ජාතික සභාවට ජනතා ප්‍රශ්න විසඳන්න හැකිවේවි. එළියට ඇවිත් කතා නොකර ඇතුළෙම කතාකර විසඳුම් ලබාදිය යුතුයි.

නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග

ජාතික සභාවේ සංයුතිය පිළිබඳ තීරණ ගන්නේ පක්‍ෂ නායකයන් විසින්. එහි අධිකාරී බලය ගැන කතා කළා. යම් වැඩපිළිවෙළක් සෑදීමේ බලය එම සභාවට තියෙනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජාතික සභාව යෝජනා වුණා. සද්භාවයෙන් දේශපාලන පක්‍ෂ ක්‍රියාකරයි ද යන්න සැකයක් පවතිනවා. අපි යෝජනාව ගෙනාවේ සද්භාවයෙන්. කවුරු විරුද්ධ වුවත් එකඟ වුවත් රට වෙනුවෙන් අපි මේ සභාව ක්‍රියාත්මක කරනවා. අපට ජනවරමක් නැහැ කියලා අසත්‍ය කියනවා. අපට 68 ලක්‍ෂයක ජනවරමක් තියෙනවා.

අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා එකට එකතුවී ඇමැතිකම් අරගෙන වැඩ කරමු කියලා. ඒත් ආවෙ නැහැ. ජාතික සභාව හදලා රට ගොඩනැඟීමට එක්වෙමු.

යෝජනාව සම්මත විය.

පාර්ලිමේන්තුව යළි අද (21දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment