අභිරහස් ලෙස මිය ගිය එක් දරු පියාගේ සිරුර හමුවේ

561

කහටගස්දිගිලිය දිවුල්වැව ව්‍යාපාරයේ පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල පිහිටි අනාරක්ෂිත වගා ළිඳක කැපුම් තුවාල සහිතව පාවෙමින් තිබූ අභිරහස් ලෙස මියගිය තිස් හැවිරිදි එක් දරු පියකුගේ මළ සිරුරක් (05 දා) සවස එම ප්‍රදේශවාසීන් සහ කහටගස්දිගිලිය පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

කහටගස්දිගිලිය දිවුල්වැව ව්‍යාපාරයේ පහළ කුඩාපට්ටිය ග්‍රාමයේ පදිංචිව සිටි වික්‍රමගේ අමිල ප්‍රියන්ත නැමති පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. ඔහුගේ බිරිඳ මීට මාස කීපයකට පමණ පෙර ගෘහ සේවය සඳහා මැද පෙරදිග රටකට ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉකුත් 03 වැනිදා රාත්‍රී දිවුල්වැව ප්‍රදේශයේ පිහිටි සමිති ශාලාවක පැවැති සල්පිල් වෙන්දේසියකට සහභාගිවී ඇති ඔහු පසුදින නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් ඒ බව ඉකුත් 04 දා කහටගස්දිගිලිය පොලිසියට පැමිණිලි කොට තිබිණි. ඒ අනුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී මියගිය පුද්ගලයාගේ මළ සිරුර අනාරක්ෂිත වගා ළිඳේ තිබියදී සොයා ගෙන තිබේ. එම මළ සිරුරේ සිරිම් තුවාල හා කැපුම් තුවාල තිබීම නිසා ඒ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට යවා ඇත. ඒ අනුව ඊයේ (06 දා) එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි. මේ පිළිබඳව කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්.අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් එම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් වැඩිදුර පොලිස් පරීක්ෂණ පවත්වති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment