අභීත කියන්නේ හරීම මෝඩයෙක් – සංජය මුරමුදලි

266

කපටිකමින් බොරුවෙන් වංචාවෙන් ජීවිතය ගතකරන අයට යන එන හැමතැනකින්ම බැණුම් අහන්න වෙන එක සාමාන්‍ය දෙයක් වුණාට අවංකව ජීවත්වෙන කෙනෙකුට එහෙම වෙනව නම් ඒක ඇත්තටම ලොකු අසාධාරණයක්. ඒත් ඒ ගැන හිතල හිත රිද්දගන්නෙ නැතුව අවංක කමේ උපරිමයට ගිය කෙනෙක් තමයි අභීත කියන්නෙ. මේ දවස්වල හැම කෙනෙකුගෙම කතාබහට ලක්වෙලා තියෙන බොනිකර තරු හරහා ඒ චරිතය හරහා අපි අතරට එන්නෙ සංජය මුරමුදලි. කාලෙකට පස්සෙ හමුවුණ සංජයගෙ රංගන ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැන අපි අහල බැලුවා.

● කොහොමද සංජය

මම හොඳින්…

● මේ දවස්වල බොනිකර තරුවෙන්ම නේද?

අනේ නැහැ. මම ඉතින් කවදත් සත්‍යයට ගරුකරල ජීවත්වෙන අහිංසකයෙක්නෙ. මේ දවස්වලත් ඒ විදියම තමයි.

● එහෙනම් මේ හැමෝම බණින්නෙ?

ආ… ඒ අවංක වැඩියි කියලනෙ. බණින්නෙ ඉතින් අභීතට මිසක් සංජයට නෙමෙයිනෙ

● බොනිකර තරු අතරෙ අවංකයෙක්ට ඉන්න පුළුවන්ද?

ඇයි බැරි, මේ මම ඉන්නෙ එහෙම ඉන්න හැකියාව ලැබුණෙ අභීත, සංජයගෙ පුද්ගලික ජීවිතේට සීයට සීයක් සමීප චරිතයක් වුණ නිසා කියලයි බොහෝ දෙනෙක් කියන්නෙ.

ඒ හැමෝටම වැරදිලා. ඇත්තම කිව්වොත් බොනිකර තරු නාට්‍යයේ අභීත තරම් සැබෑ ජීවිතේ සංජය මුරමුදලි කොහොමටවත් ඕනවට වඩා අවංක චරිතයක් නෙමෙයි.

● නාට්‍ය ගැන කතා කළොත්?

බොනිකර තරු කියන්නෙ සම්පූර්ණයෙන්ම මේ සමාජයේ ඉන්න මිනිස්සු එදිනෙදා ජීවත්වෙන්න කරන බොරුව විදහා දැක්වෙන අපූරු නිර්මාණයක්. නාට්‍යය පුරා විහිදී යන ඒ බොරුකාර චරිත අතරෙ ඉන්නෙ එකම එක කොල්ලයි, ඒ අභීත. අභීත කියන්නෙ හරිම මෝඩයෙක්. ආදරය අවංක කම වගේම වංචාවට තියෙන අකමැත්ත නිසාම ප්‍රශ්න ඇතිකරගන්න කෙනෙක්.

● සංජය කියන නම අමතක වෙලා දැන් හැමෝම අභීත කියනව කියන්නෙ ඇත්තද?

ඔය නම් දෙකම පාවිච්චි වෙන්නෙ නැහැ. බොනිකර තරු එකේ අවංකයා මෝඩයා කියල තමයි හැමෝම මාව හඳුන්වන්නෙ.

ඒ කියන්නෙ අවංක ආදරේ නිසා කොල්ලො මෝඩයෝ වෙනව. අභීත පෞද්ගලික විශ්වවිiාලයක ඉගෙනුම ලබන පොත්පත් කියවමින් දාර්ශනික පැත්තක ජීවත්වෙන කෙනෙක්. ඒ ගෙවන ජීවිතේ තුළ පෙම්වතිය අංජලී ඇතිකරන කිසිම ප්‍රශ්නයක් අභීතට තේරෙන්නෙ නෑ. කොටින්ම අංජලී අභීතට පෙම් කරන්න පටන් ගන්නෙ දේශපාලනඥයකු වූ තම අනාගත මාමණ්ඩියගේ වත්කම් වලට තියෙන ලෝභකම නිසා. එයාගෙ ෆැමිලි එක සම්පූර්ණයෙන්ම අභීතගෙ ෆැමිලි එක බොරුවෙන් අල්ලගෙන හිටියට එයාට ඒක තේරෙන්නෙ නෑ.

● සැබෑ ජීවිතේ පෙම්වතියො කී දෙනෙකුට රැවටිලා තියෙනවාද?

ඔන්න ඉතින් ලැජ්ජ හිතෙන දේවලුත් අහනවනෙ. සැබෑ ජීවිතේදී එහෙම දේවල් වලට අහුවෙලා නෑ. නාට්‍යයක චරිතය අනුව මෙහෙම හැසිරුණාට සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා හැරෙනකොට දන්නව මොකාටද එන්නෙ කියල.

● අද වෙනකොට සංජය පෙම්වතෙක්ද?

තවම ඒ තනතුරට එන්න ක්‍රමයක් නැතුවයි ඉන්නෙ.

● අම්ම තාත්ත කියන්නෙ නැද්ද පෙලවහක් කරගන්න කාලෙ හරි කියල?

තාත්ත කෙසේ වෙතත් අම්මට නම් දැන්ම එහෙම හිතෙන එකක් නෑ වගේ. කියන්නෙම කොළඹට වෙලා ඉඳගෙන ගෑනියෙක්ට කන්න දෙන්න පුළුවන්ද? තව ටිකක් දියුණු වෙලා ඒ ගැන හිතපන් කියලමයි.

● මේ දිනවල ඔබේ වෙනත් රඟපෑම්?

සියත ටීවී ඔස්සේ මම රංගනයෙන් දායක වුණ ගීතාංජන කොස්තා අයියගෙ විසේකාර හාදුවක් නාට්‍යය විකාශනය වෙනවා. ඊට අමතරව ඉරේෂ් ලොකුබණ්ඩාර අයියගෙ ටෙලි ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙලා එහි රූගත කිරීම් අතරෙ ඉන්නවා.

● අම්ම එහෙම කිව්වට විසේකාර හාදු දෙන්න කෙනෙක් ඉන්න ඕන කාලෙ නේද මේ?

මට නම් එහෙම හිතෙන වාර අනන්තයි. ලොවෙත් මට නම් තවම එහෙම නිදහසක් නැති එකයි ප්‍රශ්නෙ.

● රටේ තියෙන වාතාවරණයත් එක්ක නිර්මාණ කිහිපයක් එක්ක කාර්ය බහුල වුණාම ඒ තත්ත්වය සමබර කරගන්නෙ කොහොමද?

ඇත්තටම ඒක මම රංගනයට පය තියපු මුල් කාලෙ ඉඳලම යහපත් විදියට බලපාපු පසුබිමක්. මොකද පළමු ටෙලිනාට්‍යය වූ අමුතු රසිකයා නිර්මාණයේ වැඩකරන අතරතුර මම ටෙලිනාට්‍ය හතකට රංගනයෙන් දායක වුණා. කොච්චර කාර්ය බහුල වුණත් මම ඒ හැම නිර්මාණයකම චරිතයට උපරිම සාධාරණය ඉටුකරමින් එය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා. ඒ තුළ ඒ හැම නාට්‍ය කණ්ඩායමකම ආදරයට ලක්වෙමින් ලබපු පන්නරය නිසා ඒ ඒ අවස්ථාවට ධෛර්යයෙන් මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් මට තියෙනවා.

ධම්මික හේවාවසම්
ඡායාරූප – අමාල් රෝශ්

advertistmentadvertistment
advertistmentadvertistment